ඥානසාර හිමියන්ට අද සවස නිදහස

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතළ වැඩ ඇතිව වසර හයක සිරදඬුවම් විඳිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇතැයි ද ඒ අනුව අද සවස 03.00 ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි ද බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පවසති.

ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමේ වැඩකටයුතු පසුගිය 21 වැනිදා ආරම්භ වී ඇති අතර ජනපති ලේකම්වරයා විසින් පසුගිය 21 වැනිදා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක් ද කැඳවා තිබුණි.

මේ අතර පසුගිය වෙසක් පොහෝ දින සිරකරුවන් නිදහස් කිරීමේ ජාතික වැඩසටහනට සහභාගී වීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනපතිවරයා ඥානසාර හිමියන් හමුවූ බව මාධ්‍ය වාර්තා කළ අතර ඊයේ රවී කරුණානායක මහතා ද ඥානසාර හිමියන් බැහැ දැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ ද පසුගිය ජනපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨයක් වූ ද මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව විභාග වූ හෝමාගම අධිකරණයේදී කළහකාරී ලෙස හැසිරී අධිකරණයට අපහාස කළ බවට චෝදනා ඥානසාර හිමියන්ට චෝදනා එල්ල කර තිබූ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවම් නියම විය. පසුව එය වසර 06 දක්වා අඩු කිරීමට අධිකරණය පියවර ගත්තේය.

2018 අගෝස්තු මස 18 වැනි දින ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම විය.

පසුගිය අපේ‍්‍රල් 21 වැනි දා සිදු වූ ඉස්ලාම් අන්තවාදී ප‍්‍රහාරයේ පසුව රට තුළ ආගමික සංහිඳියව යළි ගොඩනැගීම සඳහා ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදිය යුතුය යන ඉල්ලීම ප‍්‍රබල ලෙස ඉදිරිපත් විය. ඊට පෙර ද ඥානසාර හිමියන් සිරගත කළ දිනයේ සිටම මෙම ඉල්ලීම ඉදිරිපත් වුවත් ජනපතිවරයා ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූ බවට විවේචන එල්ල විය.

Recommended For You

About the Author: Editor