Voice of දියවන්නා -SLPP: දරුවන් දිරිමත් කරන්න මහින්ද යළි පාසල් යයි

වෙසක් පොහෝ දිනය දා උදේ වරුවේ මහින්ද සිටියේ තංගල්ලේය. සිරිත් පරිදි තංගල්ල නිවසේ පැවැත්වෙන පොහෝ දින ධර්ම දේශනාවට සහභාගී වූ මහින්ද ගුවනින් මහනුවර බලා ගියේ මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණු විජයග්‍රහණයේ දස වර්ෂ පූර්ණ රණවිරු සැමරුමට සහභාගී වීම සඳහාය.

මෙවර රණවිරු සැමරුම සංවිධාන කර තිබුණේ දිලුම් අමුණුගම පදනමේ දායකත්වයෙනි. උළෙලට සහභාගී වී සිටි රණවිරු මාපිය, ඥාති මිත්‍රාදීන්ගෙන් මහින්දට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. බොහෝ රණවිරු මාපියන් මහින්දගේ අතින් අල්ලා ගනිමින් කතා බහ කරමින් සිටින අතරේ රණවිරු දූ දරුවෝ මහින්දගේ දෙපා වැඳ ආශිර්වාද ලබාගත්හ.

”කාටත් අන්තිමට ඕනේ වුණෙත් රණවිරුවන්වම තමයි” මහින්ද

“අද දවස හැමෝටම රණවිරුවන්ගේ අගය මතක් වෙන දවසක්. මේ අවුරුදු හතර ඇතුළේ අපේ රණවිරුවන් ගොඩක් දුක් වින්ඳා. සමහරු හිරේ දැම්මා. නිකරුණේ පොලීසි, උසාවි ගාණේ රස්තියාදු කෙරෙව්වා. හැබැයි කාටත් අන්තිමට ඕනේ වුණෙත් රණවිරුවන්වම තමයි” මහින්ද පැවසීය.

“ඔබතුමාට විතරයි අපේ දරුවන් කරපු සේවය මතක තියෙන්නේ. ආණ්ඩුවේ ලොකු ලොක්කෝ සේරටම ඒවා අමතක වෙලා” මාපියෝ චෝදනා කළහ.

“කාට අමතක වුණත් මේ රටේ ජනතාවට අපේ රණවිරුවන් අමතක වෙන්නේ නැහැ. මිනිස්සු හැමදාම රණවිරුවන් ගැන මතක් කරනවා” මහින්ද ඔවුන් අස්වසමින් කීවේය.

උත්සවය හමාර වීමෙන් පසුව මහින්ද හෙලිකොප්ටරයේ නැගී ආවේ කැළණි රජමහා විහාරස්ථානයටය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ මතුව ඇති අනාරක්ෂිත බව නිසා බොහෝ දෙනා වෙසක් පොහෝ දිනයේ පන්සලකටවත් නොගොස් නිවෙස් තුළට වී සිටින නිසා මහින්ද කැළණි විහාරයට ගියේ බිය නැතුව පන්සල් යන්නැයි පණිවිඩයක් ලබාදීම සදහාය.

ඒ වන විටත් 20,000ක පමණ ජනකායක් කැලණි විහාරයට පැමිණ සිටි අතර කැලණි රජමහා විහාරාධිපති හිමියන් ද බැහැ දුටු මහින්ද විහාරයෙන් පිටත්ව ගියේ බෙලිමල් සංග්‍රහයක් ද විඳීමෙන් අනතුරුවය. ඒ යන අතරතුර ශ්‍රී සම්බෝධි මහා විහාරය ආශ්‍රිතව ඉදිකර තිබුණු වෙසක් කලාපයට ගොඩවැදුණු මහින්ද විජේරාම නිවස දක්වා පයින් ගියේ අවට වෙසක් සිරිද නරඹමිනි.

දරුවන් දිරිමත් කරන්න මහින්ද යළි පාසල් යයි

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු පාසල් නැවත විවෘත කර සති දෙකක් පමණ ගතව තිබුණත් දරුවන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය තිබුණේ අඩු මට්ටමකය. එබැවින් මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට පසුගිය සතියේ උපදෙස් දී තිබුණේ සඳුදා දිනයේ තම තමන්ගේ දිස්ත්‍රික්කවල පාසල් වෙත ගොස් ආරක්ෂාව සොයා බලා පාසල් පැමිණීම සඳහා ළමයින් ධෛර්යමත් කරන ලෙසටය.

ඒ අනුව සඳුදා උදෑසන 6ට පමණ මහින්ද කොළඹ තර්ස්ටන් විදුහල අසළට ගියේය. උදෑසනම පාසල අසළට ආ අමුත්තා දුටු ළමයින් මෙන්ම ගුරුවරුන් සහ  මවුපියන් ද පුදුමයට පත් ව සිටිනු දක්නට ලැබුණි. ‍”මේක ඉතින් මගෙත් ඉස්කෝලෙනේ” කියමින් මහින්ද මවුපිය, ගුරුවරුන් සමඟ කතාබහ කරන අතරේ දරුවෝ මහින්දගේ පා වැඳ ආශිර්වාද ලබාගත්හ.

“මොන දේ වුණත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඉඩ තියන්න අපට බැහැ. ඒ නිසයි විපක්ෂයක් විදියට අද පාසල් ළඟට ඇවිත් මේ දරුවන්ට ශක්තියක් වෙන්න අපි තීරණය කළේ. ත්‍රස්තවාදයට බයවෙලා ගෙවල්වලට වෙලා හිටියොත් ඒක ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් වෙනවා. අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ රට ගැන මිසක් පක්ෂ ගැන නෙමෙයි” මහින්ද පැවසීය.

අනතුරුව මහින්ද රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, ගෝතමී සහ හින්දු විද්‍යාල වෙතද ගොස් දරුවන් සමඟ කතා බහ කරමින් සිටියේය. මහින්ද පැමිණෙන බව දරුවන් තබා විදුහල්පතිවරුන් ද දැන සිටියේ නැත. බොහෝ දෙනා පුදුමයට පත්ව සිටින අතරතුරේ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය හදි‍සියේම පැමිණි මේ අමුත්තාට තේ පැන් පිරිනැමුවාය.

රට සිට පැමිණි ප‍්‍රසන්න වහාම මිනුවන්ගොඩට

සති දෙකක පමණ කාලයක් යුරෝපා සංචාරයක නිරත වූ ප්‍රසන්න යළි මෙරටට ආවේ අඟහරුවාදා අලුයමය. ප්‍රසන්නගේ ගම වන මිනුවන්ගොඩ නගරයේ  කලබලකාරී තත්ත්වයක් පසුගිය සතියේ උදා වන විටත් ඔහු සිටියේ යුරෝපයේය. එහි සිටම සිය ආධාරකරුවන් දැනුවත් කරමින් කලබලකාරී වාතාවරණය සංසිඳුවීමට මැදිහත් වූ ප්‍රසන්න මෙරටට පැමිණි වහාම මිනුවන්ගොඩ බලා ගියේය.

ප්‍රසන්න ප්‍රථමයෙන් ගියේ මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙතය. එහි විහාරාධිකාරී හැවැන්තැන්නේ සීලරතන හිමියන් බැහැ දුටු ප්‍රසන්න සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ඇසුවේය. විහාරාධිකාරී හිමියන් කියා සිටියේ මෙම සිදුවීමට වගකිව යුත්තේ ආණ්ඩුව බවය. සිද්ධිය සමතයකට පත් කිරීමට කඩිනම් පියවර නොගැනීම නිසා මෙම සිදුවීම දුරදිග ගිය බවත් උන්වහන්සේ කියා සිටියහ.

ඒ අතරේ ප්‍රසන්න ආ ආරංචියට එහි පැමිණ සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තරුණ පිරිසකගේ මාපිය ඥාතීන් පිරිසකි. ඔවුන් කියා සිටියේ කිසිදු වරදක් නොකළ පිරිසකුත් මිනුවන්ගොඩ පොලීසිය විසින් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇති බවය.

සියලු දෙනාට සවන් දුන් ප්‍රසන්න කීවේ වරදක් නොකළ අය වහා නිදහස් කර ගැනීමට කටයුතු කරන බවය. ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව පැවසූ ප්‍රසන්න මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතා කරන බවත් කීවේය. අනතුරුව ප්‍රසන්න ගියේ හීනටියන ධම්මාලෝක පොත්ගුල් විහාරස්ථානය වෙතය.

එම විහාරස්ථානයේ රැස්ව සිටි පිරිසකුත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අතර ඒ අතර දායක සභාවේ පිරිසක්, වෙසක් දිනයේ පන්සල සැරසීමට ආ තරුණ පිරිසක්, චෛත්‍යයේ හුණු පිරියම් කරන බාස් සහ ඔහුගේ ගෝලයා ද, පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ සොහොයුරාද විය. විහාරාධිකාරී හිමියන් හමු වූ ප්‍රසන්න යළි මිනුවන්ගොඩ බලා ආවේය.

මිනුවන්ගොඩ මුස්ලිම් ජනතාවට ප‍්‍රශ්න කී දේ

අනතුරුව ප්‍රසන්න මිනුවන්ගොඩ මුස්ලිම් දේවස්ථානය වෙත ගියේය. එහිදී ප්‍රසන්න කියා සිටියේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ නැතැයි විශ්වාස කරන නමුත් තමන් අතර සිටින ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමේ වගකීමකුත් සියලුම දෙනා හට තිබෙන බවය.

එදින ප්‍රසන්න අලාභහානියට පත් වෙළෙඳසැල් නිරීක්ෂනයට එක් වූ අතර ඒවායේ හිමිකරුවන් ද මුණගැසී සාකච්ඡා කළේය. අවසානයේ දී ප්‍රසන්න මීගමු බන්ධනාගාරය වෙත ගියේ නිරපරාදේ සිරගතව සිටින පිරිසගේ දුකසැප බැලීම සඳහාය. බන්දනාගාරයේ සිටින චොදනාවට ලක්වූවන් සමග කථා කළ ප්‍රසන්නට එහි සිටි ඇතැමුන් නිරපරාදේ අත්අඩගවට ගෙන ඇති බව තහවුරැ විය බන්ධනාගාරයෙන් පිටතට පැමිනි ප්‍රසන්න ගම්පහ නියෝජ්‍ය පොලිස්පති ඇමතුවේය.

තත්වය පැහැදිලි කළ මන්ත්‍රීවරයා මේ පිලිබද හැකි සහනයක් ලබාදෙන්නැයි කිවේය. කෙසේ වෙතත් රිමාන්ඩ් භාරයේ සිටි පිරිස අතරින් ‍32 දෙනකුට මිනුවන්ගොඩ දිසා අධිකරණය පසුදිනම ඇප ලබා දුන්නේය.

ප‍්‍රසන්නගේ නිරීක්ෂණ චාරිකාවෙන් රිදුණේ කාටද ?

ප්‍රසන්නගේ මෙම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණු අතර ඒ ගැන අසතුටට පත් අයකු ද සිටියේය. ඒ නියෝජ්‍ය ඇමැතිවරයකු වන එඩ්වඩ් ගුණසේකරය. එඩ්වඩ් මුල සිටම චෝදනා කරමින් සිටියේ මෙම ප්‍රහාරය පිටුපස සිටිනුයේ පොහොට්ටුවේ පිරිසක් බවය.

එහෙත් සිද්ධිය පිළිබඳ නිරීක්ෂණය කළ සහ සිද්ධිය ‍දුටු බොහෝදෙනාගේ මතවාදය වී තිබෙන්නේ මේ පසුපස රාජ්‍ය අනුග්‍රහයක් ලැබූ අදෘෂ්‍යමාන හස්තයක් ඇති බවය. කෙසේ වෙතත් බදාදා රාත්‍රියේ සිය හිතවත් මාධ්‍යවේදියකුට එඩ්වඩ් කියා ඇත්තේ මෙල්බන් නුවර සිට ප්‍රහාරය සැලසුම් කළ තැනැත්තා ලංකාවට පැමිණ ප්‍රහාරයේ ප්‍රතිඵල නැරැඹීමට ගොස් ඇති බවයි.

නිමල් ලන්සාට ප‍්‍රශ්නයක්

එම ප්‍රකාශය දැනගන්නට ලැබුණු නිමල් ලන්සා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්නගෙන් ඇසුවේ මොකද මන්ත්‍රීතුමා අර ප්‍රහාරයක් සැලසුම් කළා කියලා චෝදනාවක් තියෙන්නේ යනුවෙනි.

“එඩ්වඩ් නියෝජ්‍ය ඇමැතිතුමා හැමදාම ලනු කනවා. මේ පාරත් ලනුවක් කාලා. එතුමා කියලා තියෙනවා මම මෙල්බන් නුවර ඉඳන් ප්‍රහාරය සැලසුම් කළා කියලා. හැබැයි මම ගියේ ඔස්ට්‍රේලියාවේ නෙමෙයි යුරෝපයටයි. මම නම් ලංකාවේ හිටියෙත් නැහැ. හැබැයි එයයි චමින්ද සිල්වයි සිද්ධිය මුල ඉඳන්ම එතැන හිටියා. ඉතින් ඒ දෙන්නට මොකද මේක පාලනය කරගන්න බැරි වුණේ? අපි හිටියා නම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ” ප්‍රසන්න පැවසීය.

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ඡා

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදි පැවැත්විණි. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

“අපි විශ්වාසභංග යෝජනාව දෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා. කොහොම වුණත් අපි භාර දීපු යෝජනාව තමයි මුලින් විවාදයට ගන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ අපේ විශ්වාසභංග යෝජනාව පස්සට දාගන්නයි” විමල් පැවසීය.

“ආණ්ඩුවේ වුවමනාව තමයි ජේ. වී. පී එක ඉෂ්ඨ කරන්නේ. ආණ්ඩුවටත් ඕනේ කොහොම හරි රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව කල්දාගන්නයි. අපි කොහොම හරි මේක ඉක්මන් කරගන්න ඕනේ” මහින්දානන්ද කීවේය.

“අපි කතානායකතුමා හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරමු. ආණ්ඩුවට ඕනේ විදියට මේවා කල්දාන්න ඉ‍ඩදෙන්න බැහැ” ප්‍රසන්න පැවසීය.

මහින්දානන්ද රහසක් හෙළි කරයි

“මේ විශ්වාසභංග යෝජනාව නිසා එක්සත් ජාතික පක්ෂයත් දැන් දෙපැත්ත බෙදිලා. සමහරු ප්‍රසිද්ධියේම කියනවා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනවා කියලා. රිෂාඩ් ආණ්ඩු පක්ෂයට දැනුම් දීලා තියෙනවා එයාට විරුද්ධව ඡන්දය දෙන්න හැදුවොත් ආණ්ඩුව පරද්දනවා කියලා. ඒ වෙලාවේ රනිල් රිෂාඩ්ට පොරොන්දු වෙලා තියෙනවා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා” මහින්දානන්ද හෙළි කළේය.

“අපි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන්. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ විශ්වාසභංග යොජනාව විවාදයට ගනියි කියලා. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා කොහොම හරි බල කරලා මේ විවාදයට කඩිනමින් ලබාගන්න” මහින්ද පෙන්වා දුන්නේය.

“මේවා එක්කම ආණ්ඩුව අත්සන් කරන්න යන මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැනත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒක අත්සන් කළොත් ලොකු ගැටලුවක් වෙනවා” විමල් පැවසීය.

මහින්දගෙන් ජනපතිට ඉල්ලීමක්

“මම ජනාධිපතිවරයා එක්කත් මේ ගැන කතා කළා. එතුමාගෙන් මම ඉල්ලුවා මේක අත්සන් කරන්න ඉඩ තියන්න එපා කියලා” මහින්ද පැවසීය.

“ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා” විමල් කීවේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කතානායක කාර්යාලයේ දී අඟහරුවාදා පැවැත්විණි. ඊට සහභාගී වන්නැයි මහින්ද ප්‍රසන්නට විශේෂයෙන් දැනුම් දී තිබුණි. එහිදී ප්‍රථමයෙන් සාකච්ඡාවට ලක් කෙරුණේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙනි. අනතුරුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු අතර මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක්‍රමය යටතේද එසේත් නැත්නම් පැරැණි ක්‍රමය යටතේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විවාද කෙරිණි.

අනතුරුව මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට රනිල් සතියක කාලයක් ඉල්ලා සිටියේය. මැතිවරණය ගැන කතා කර අවසන් වූ වහාම රනිල් පක්ෂ නායක රැස්වීමෙන් ඉවත්ව ගියේය. අනතුරුව සාකච්ඡාවට ගන්නට නියමිතව තිබුණේ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

දිනේ වැරදී සිදු වුණ ජරමරේ

“අපි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යොජනාවක් භාර දීලා තියෙනවා. කරුණාකරලා ඒකට දිනයක් ලබා දෙන්න” දිනේෂ් ඉල්ලා සිටියේය.

“ඒ විශ්වාසභංග යෝජනාවේ දිනය වැරැදියි. එකේ තියෙන්නේ 2018 කියලා” කිරිඇල්ල පැවසීය.

“අපි දිනය හරිගස්සලා දුන්නා. කතානායකතුමා ඒක භාර ගත්තා” දිනේෂ් කීවේය.

“ඒක හරි. මම ඒ යෝජනාව භාරගෙන තියෙන්නේ” කතානායක පිළිතුරු දුන්නේය.

“ඒකනේ කියන්නේ. අපිට දිනයක් දෙන්න” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.

“අපි මේ යෝජනාවට විරුද්ධයි. මේ සම්බන්ධයෙන් හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ” කිරිඇල්ල පෙන්වා දුන්නේය.

විශ්වාසභංගයේ සහ කාරක සභාවේ අරමුණු වෙනස්

“විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. තේරීම් කාරක සභාව පත් කරන්නේ 21 වැනි දා ප්‍රහාරය ගැන හොයන්න” විමල් පැවසීය.

“මේක පටල ගන්න එපා” දිනේෂ් කීවේය.

“ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ විශ්වාසභංග යෝජනාව කල්දාගන්නයි. ඒවට ඉඩ දෙන්න බැහැ” විමල් පැවසීය.

“මේක ජනතාවගේ ඉල්ලීමක්. ජනතාවගෙන් ලොකු චෝදනාවක් ඇමැතිවරයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපට දිනයක් ලබා දෙන්න ඕනේ” ප්‍රසන්න පැවසීය.

“මගේ මතයත් මේක විවාදයට ගත යුතුයි කියන එකයි” ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් නිහඬව සිටින විට කතානායකරවරයා පැවසීය.

“නැහැ මේක විවාදයට ගන්න ඕනේ නැහැ. තේරීම් කාරක සභාවක් පත් කරනවානේ” කිරිඇල්ල යළිත් කීවේය.

“ආණ්ඩු පක්ෂය විරුද්ධ නම් කරන්න දෙයක් නැහැ. අපි මේ ගැන පස්සේ සාකච්ඡා කරමු” කතානායකවරයා පැවසීය.

දිනයක් ගැනීමට මහ සටනක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගෙම අදහස වූයේ ආණ්ඩුව රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කල්දමා ගැනීමේ උප්පරවැට්ටියක නිරත වන බවය. ඒ අනුව කෙසේ හෝ විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා ගැනීමට ඔවුන් තීරණය කර තිබුණි. බදාදා දිනයේ මේ සම්බන්ධයෙන් ඇති වූ විවාදය නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයාට සිදුවිය.

පසුව බ්‍රහස්පතින්දා දිනයේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයා විසින් කැඳවා තිබුණේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

“ජූනි මාසයේ 04, 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. ඒ නිසා අපි 06, 07 දිනවල විශ්වාසභංග යෝජනාව විවාදයට ගමු” දිනේෂ් පැවසීය.

“ඒක කරන්න බැහැ. අපි ඒ දවස් වෙන් කරලා තියෙන්නේ රජයේ කටයුතුවලට” කිරිඇල්ල විරෝධය පළ කළේය.

“සභානායකතුමා 04 වැනි දා රජයේ කටයුතු දාගන්න .අපි ඒකට අපේ ස‍හයෝගයත් දෙන්නම්. හැබැයි 06 07 දින දෙක විවාදයට දෙන්න” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.

බදුර්දීන් විමල් සමග පැටලෙයි

පක්ෂ නායක රැස්වීමට රිෂාඩ් බදියුදීන් පැමිණියේ මේ අතරය. රැස්වීමේ සිටි විමල් දුටු රිෂාඩ් අවේශයෙන් මෙන් විමල්ට බැණ වදින්නට ගත්තේ ජාතිවාදය ද ඈඳා ගනිමිනි.

“මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා. රට ගිනි තියන්නේ මෙයා තමයි. අපට බොරු චෝදනා කරන්නේ මෙයා තමයි” රිෂාඩ් බැනවැදුණේය.

“මම නෙමේ ඇමැතිතුමා ඔබතුමා තමයි වහාබ්වාදය බදාගෙන රට විනාශ කරන්නේ. ඔබතුමාලා තමයි ත්‍රස්තවාදය පෝෂණය කරන්නේ” විමල් පැවසීය.

“අද අපිට ආගම අදහන්න විදියක් නැහැ. පල්ලියකට යන්න විදයක් නැහැ. මෙයලා කරන වැඩ නිසා අපි අමාරුවේ වැටිලා ඉන්නේ” රිෂාඩ් කීවේය.

“ඔබතුමාලාම තමයි මේක ආරම්භ කළේ” විමල් ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.

“නැහැ නැහැ තමුන්නාන්සේ තමයි රට ගිනි තියන්නේ” රිෂාඩ් යළි යළි කීවේය.

“එහෙම කතා කරන්න එපා ඇමැතිතුමා. තමුන්නාන්සේලා මේ සිද්ධිවලට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ. ත්‍රස්තවාදීන් තුරුලේ දාගෙන, ඒ අයට බිස්නස් කරන්න රජයේ උපකාර දීලා ත්‍රස්තවාදය පෝෂණය කළේ ඔබතුමාලයි” ප්‍රසන්න විවාදයට මැදිහත් වුණේ එසේ කියමිනි.

“අපි වරදක් කරලා නැහැ. ඔයාලා ජාතිවාදීන්” රිෂාඩ් පැවසීය.

“අපි කතා කරන්නේ එක ජාතියක් ගැන නෙමෙයි. මේ ත්‍රස්තවාදය නිසා රටේ සියලු ජාතීන් දැන් අනතුරට පත් වෙලා. තමුන්නාන්සේ කියනවා පල්ලිවලට යන්න බැහැ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා කතෝලිකයන්ට සති දෙකක් පල්ලි යන්න බැරි වුණා. අපේ බෞද්ධයන්ට වෙසක් එකටවත් පල්ලි යන්න බැරි වුණා. මේවා බොරුද? තමුන්නාන්සේ වරදක් කරලා නැත්නම් බය නැතිව විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්න. තමුන්නාන්සේ බය වෙලා ඇත්තේ වරදක් කරපු නිසා වෙන්න ඇති” ප්‍රසන්න දැඩිව පැවසීය.

“නැහැ එහෙම කරන්න ඕනේ නැහැ.  ඔයාලට ඕනේ විදියට අපි වැඩ කරන්නේ නැහැ. හොඳට මතක තියා ගන්න මේ ආණ්ඩුව වට්ටවන්නත් බැහැ. වට්ටවන්න මම ඉඩ තියන්නෙත් නැහැ” රිෂාඩ් පැවසීය.

විමල්ගේ සහායට ප‍්‍රසන්නත්

“ආණ්ඩුව වට්ටවන එක ගැන නෙමේනේ ඇමැතිතුමා අපි කතා කරන්නේ. අනික් එක ආණ්ඩු වට්ටවන්න දෙන්න නැහැ කියන්න ඔබතුමා කවුද? ඒක තීරණය කරන්නේ ජනතාව” ප්‍රසන්න ද අතහැරියේ නැත.

“ඒක හරි. ආණ්ඩු වට්ටවන කතාවක් නැහැ. අපිට ඕනේ නම් අපි ආණ්ඩු වට්ටවනවා. අපිට ඒක පැත්තක තියලා මේ විශ්වාසභංගයට ‍දිනයක් දෙන්නකො” දිනේෂ් ද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රිෂාඩ්   අතර ඇති වූ මෙම කලකෝලාහලය සන්සිදුවීමට අවසානයේ කතානායකවරයා මැදිහත් විය.

“දැන් මොකක්ද කරන්නේ කියන්නකො? කතානායකවරයා විමසුවේය.

“04 වෙනිදාට ආණ්ඩුවේ කටයුතු යොදාගෙන 06, 07 විවාදයට දෙන්න” දිනේෂ් ඉල්ලා සිටියේය.

මුරණ්ඩු කිරිඇල්ලගේ සහායට කතානායකත් එයි

“එහෙම දෙන්න බැහැ. ඕනේ නම් 18, 19 දෙන්නම්” කිරිඇල්ල පැවසීය.

“ඇයි කල්දාන්නේ? ‍අපි මේක කලින් ගමු” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.

“ඔයාලට ඕනේ දවස දෙන්න බැහැ. අපි දෙන්නේ අපිට ඕනේ දවස” කිරිඇල්ල පැවසීය.

“සභානායකවරයා විරුද්ධ නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ ගැන සාකච්ඡාව කරන්න පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාවට භාර දෙනවා” කතානායකවරයා අවසන් වශයෙන් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීම් මාලාවක් පසුගිය 22 දා සිට නෙළුම් පෙදෙස කර්යාලයේදි පැවැත් වුනේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට මුහුණ දීම සදහා පක්ෂය සංවිධානය කිරීමේ අරමුණින් මේ රැස්වීම් මාලාව සංවිධානය කර තිබුනේ බැසිල් රාජපෂ මහතාය.

ප‍්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් මහින්ද සමග සෙල්ෆි ගසයි

බදාදා (22) නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අවසානයේ ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් එතැන සිටි පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරියෙක්‍ගන් ඉල්ලීමක් කලාය.

”මට සර් එක්ක සෙල්පියක් ගන්න ඔනෑ” ඇය කිවාය.

මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ඇයව මහින්දගේ කාමරය අසල වාඩි කලේ ඒ වන විටත් ඔහුගේ කාමරයේ සාකච්ඡාවක් පැවති නිසාය. මහින්ද සමග සෙල්පි ගැනීමට කැමැත්තෙන් සිටි තවත් කිහිප දෙනෙක එහි සිටියහ. ටික වෙලාවක් යන විට මහින්ද සමග සෙල්පි ගැනීමට සිටි කිහිප දෙනා අර නිවේදිකාව සමග සෙල්පි ගසනු දක්නට ලැබුනි.

බස්නාහිර පළාත් සංවිධායකවරුන්ගේ සාකච්ඡාවේදී අපූරු සිද්ධියක්

බස්නාහිර පළාත් සංවිධායකවරුන්ගේ සාකච්ඡාවේදී අපූරු සිද්ධියක් ඇති විය. .

හිටපු පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මුලින්ම කථා කලේය. පැය භාගයකට ආසන්න කාලයක් උපාලි කරනු පැහැදිලි කළ අතර ඔහුගේ කථාව අවසන් වන විටම නැගී සිටියේ ඔහුගේ බිරිද වන කාන්ති කොඩිකාරය.

”මහත්තයා පැය භාගයක් කථා කලා නෝනා කොච්චර වෙලා ගන්නවාද ” මහින්ද විහිලුවට මෙන් ඇසුවේය.

කාන්තිගේ කථාව අතර උපාලි අතර මගින් පැන කථා කරන්නට උත්සහ කළහ.

”ඔයා ඉන්නකෝ මම නේ දැන් කථා කරන්නේ. සද්ද නොකර වාඩි වෙන්න” බැරිම තැන කාන්ති සැරෙන් කිවේය. උපාලි සද්ද නොකර වාඩි විය.

”හරි හරි දැන් මට තේරැනා ඔයා මෙච්චර මේ කථාකරන්නේ මොකද කියලා. ගෙදර කථා කරන්න බැරි නිසා මෙහෙදිවත් කථා කරන්නයි බලන්නේ නේද ” මහින්ද උපාලිට කිවේ සියලුදෙනා සිනා ගන්වමිනි.  

මහින්ද රහසක් හෙළි කරයි

මේ රැස්වීමේදි මහින්ද ඇමරිකානු හිටපු තානාපති රොබටෝ බ්ලේක්  මැතදි මහින්ද හමුවූ අවස්ථාවක කිවූ දෙයක් සිහිපත් විය.

”හිටපු ඇමරිකානු තානාපතිවරයා කියා තිබුනේ අසියාවේ හොදම සංවිධාන ව්‍යුහය තිබෙන්නේ පොහොට්ටුව පක්ෂයට බවය. ඊලග මැතිවරණයේදි පොහොට්ටුව ඉහලම ජයග්‍රහණයක් වාර්ථා කරන බව”’ ඔහු කිවේ යැයි මහින්ද හෙලි කලේය.

මහින්දගෙන් බැසිල්ට ප‍්‍රශංසා

”මට කවදාවත් අවස්ථාවක් ලැබුනේ නැහැ මල්ලිට ස්තුති කරන්න. 70 වේ ඉදලම බැසිල් මල්ලි තමයි මගේ මැතිවරණ මෙහෙයුවේ. මේ හොදම සංවිධාන ව්‍යුහය ගැන අද ප්‍රසංසා ලැබෙන්නෙත් බැසිල් මල්ලි නිසයි. ඒ නිසා මම මල්ලිට ඒ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා” මහින්ද කියන විට රැස්ව සිටි සියල්ලෝ අත්පොලසන් දුන්හ.

”පාර්ලිමේන්තු  මන්ත්‍රීවරැන් 225 එපා කියලා දැන් සමහරු කැම්පේන් කරනවා” රෑස්වීමට පැමිණ සිටි නියෝජිතයෙකු කිවේය.

”ඔව් මමත් ඒක දැක්කා. හැබැයි ඒකත් දේශපාලන න්‍යාය පත්‍රියකට අනුවයි. වෙන්නේ ජනතාව ඒක තේරැම් ගනීවි” මහින්ද උත්තර දුන්නේය. 

බ්‍රහස්පතින්දා (23)  උතර හා නැගෙනහිර සංවිධායක වරැන් සමග මහින්ද ඉදිරි කටයුත සාකච්චා කළහ. පසුගිදා ඇතිවු සිද්ධී පිලිබදව දැඩි කනස්සල්ලෙන් කථා කළ නැගෙනහිර මුස්ලිම් සංවිධායක වරැ මේ පිළිබදව තමන් මුලු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව කිවෝය. රට නැවත බේරගත හැක්කේ මහින්දට බව පෙන්වා දුන් මේ නියෝජිතයින් ඉදිරි ඔනෑම මැතිවරණයකදි මහින්දගේ පාර්ෂවය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවද පැවසූවේය

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor