සංචාරක කර්මාන්තය රැක ගන්න ඔබටත් හැකි අත දෙන්න

‘‘තරු හෝටලයකට ගිහින් නවාතැන් ගෙන හොඳ කෑම වේලක් කන්න අපි කවුරුත් දකින සිහිනයක්. ඒත් අතේ කොතරම් මුදල් තිබුණත් සල්ලිබාගේ තිබෙන අයත් කොළඹ තරු පහේ හෝටලයකට යන්න දෙපාරක් හිතුවා. ඒ සල්ලි නිසාම නොවෙයි තවත් හේතු තිබුණා. විශේෂයෙන් අති බහුතරයක් විදේශ සංචාරකයෝ ගැවසෙන ලොකු ලොකු හෝටල් ඉංග‍්‍රීසිම කතා නොකරන, ඒත් යමක් යමක් ඇති ස්වදේශිකයින් තුළ කිසියම් තිගැස්මක් ඇති කළා. ඒ නිසා අදත් ලංකාවේ සුපිරි හෝටවල්වලට අපේ ස්වදේශිකයින්ගේ පැමිණීම සියයට 10ක් පමණයි.

ඒත පාස්කු ඉරිදාට පෙර නම් මේක ඒ හැටි ගැටලූවක් වුණේ නැහැ. මොකද කාමර පිරෙන්න විදේශිකයයෝ හිටියා. කොච්චර ධනවත් විදේශිකයෝ හිටියද කියනවා නම් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවෝ පවා (අභාග්‍ය සම්පන්න ලෙස ඔවුන් තිදෙනාම පාස්කු ප‍්‍රහාරයෙන් මියගියා) සංචාරයට ඇවිත් හිටියේ ලංකාවට.

ඒත් දැන් තාවකාලිකව අපිට ඒ ස්වර්ණය අවස්ථාව අහිමි වෙලා. ඒ නිසා බොහෝ තරු හෝටල් පවා දැන් දේශීය සංචාරකයින්ට අත වනනවා. ඔවුන්ට ආයාචනා කරනවා. ඒ වෙන මොනවත් නිසා නොවෙයි තවත් කෙටි කාලයකින් යළි පණ ලබන මේ කර්මාන්තය රැුක ගන්න අතහිත දෙන්න කියලා. ඒ නිකම්ම නිකං නොවෙයි දේශීය සංචාරකයින්ට දැවැන්ත සහන පැකේජයක් ද පිරිනමින්. ඒ සියයට 60ක වට්ටමක්.

අද සංචාරක කර්මාන්තය පුහුණ දී සිටින තත්ත්වය ගැන lankaepress ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ උපසභාපති සහ කොළඹ නගරයේ සංචාරක හෝටල් සංගමයේ සභාපති, ඇම්. ශාන්තිකුමාර් මහතා සමග කතාබහ කළා. මේ ඒ මහතා දක්වන අදහස්.

“ තරු එකේ සිට තරු පහ දක්වා කණ්ඩායමට අයත් වන එවැනි සංචාරක හෝටල් 250කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන අතර, ඒ හැම හෝටලයකම පාහේ මෙම සුපිරි වට්ටම් ක්‍රමය ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ නගරයේ තරු හෝටල්වල 30% දක්වාත් කොළඹින් පිට තරු හෝටල්වල 60% දක්වාත් වට්ටම් ක්‍රියාත්මකයි. හුඟක් අය හිතනවා, මේ විදියට ලොකු වට්ටමක් දෙනකොට, දෙන ආහාරවල හෝ හෝටලයෙන් සපයන අනෙකුත් සේවා පහසුකම්වල යම් අඩුවක් තිබෙනවා කියා. ඒක වැරැදි මතයක්. එහෙම දෙයක් නැහැ. වෙනදා වගේම, පැකේජයට අදාළ සියලු පහසුකම් එම තරු හෝටල් මඟින් ලබා දෙනවා.

නමුත් දේශීය සංචාරකයන් කොළඹ තරු හෝටල්වලට යන්නෙ නැහැ. ඔවුන් යන්නෙ කොළඹින් පිටට. දැන් මෙය, වියදම් පියවා ගැනීමට කරන දෙයක් පමණයි. මොකද, පවතින තත්ත්වය පහව යන තුරු හෝටල් සේවකයන්ගේ රස්සා අහිමි කරන්න බැහැ. ඔවුනුත් දරු පවුල් රකින අය. අනෙක් අතට, හෝටල් වසා දමලා, ඒවා නාස්ති වෙන්න දෙන්නත් බැහැ. ඒවා නාස්ති වුණාම යළි ගොඩ නඟන්න තව විශාල මුදලක් යට කරන්න වෙනවා. ඉස්සර නම් තරු හෝටල්වල කාමරවලින් 20-25 ක් පිරුණාම ඔවුන් ලාභය උපයාගෙන ඉවරයි. දැන්නම් ඒ තත්ත්වයට එන්න කාමර 60-70 ක් වත් පිරී යන්න ඕනේ.

දේශීය සංචාරකයන් මොන තරම් ආවා කිව්වත්, තවමත් ලංකාවේ සමස්ත තරු හෝටල් ජාලයේ කාමර 90% ක් හිස්. 10% යි දේශීය සංචාරකයන්ගේ පැමිණීම. නමුත් මේ දේ දිගින් දිගටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි.

තවමත් අපි ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ ඉන්නේ රතු එළියට හසුවෙලා. ඒ තත්ත්වයෙන් ඉවත් වෙන්නේ අපේ රටේ ආරක්ෂාව සියයට සීයක් තහවුරු කළොත් විතරයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කතා දෙකක් කියන නිසා මේ තත්ත්වය තවත් බරපතළයි. දෙන්නම එක වචනයක් ප්‍රකාශ කළ යුතුයි. ඒ ස්ථීරසාර වචනය තමයි, තානාපති කාර්යාල හරහා අපි ලෝකෙට යවන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා. රජයෙන් මීට වඩා සහනයක් දෙයි කියලා.

දැනට අවුරුද්දක් යන තුරු ණය සහ පොලිය ගෙවිය යුතු නැතත්, 2020 ජුනි ම‍ාසෙ ඉඳලා හෝටල් ක්ෂේත්‍රයේ සියලුම දෙනා ඒ ණය සහ පොලිය ගෙවන්න ඕනේ. ඉතින්, මේ තත්ත්වය සුළුවට ගන්න බැහැ” ශාන්තිකුමාර් මහතා

කතාවට සමු දෙමින් කිව්වා.

ඇත්ත, අපි හැමෝටම සුපිරි හෝටල්වලට තියා සාමන්‍ය හෝටලයකට පවා යන්න වත්කමක් නැහැ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා ත‍්‍රිරෝද රථ රියැදුරාගේ සිට අපි හැමෝටම දැඩි ආර්ථික බලපෑමක් එල්ල වෙලා තිබෙනවා.
ඒත් අපිට රටේ ආරක්ෂාව ගැන ලෝකයට සහතිකයන් දෙන්න පුළුවන්. ඒ අවස්ථාවාදීන්ගේ ගොදුරු නොවී සිටීම තුළින්. ඒකත් සංචාරක ව්‍යාපාරයට දෙන සහායක් තමයි.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor