Fast Food හරහා කඩිනමින් කනත්තට: වහාම Slow Foodවලට ළං වෙමු

ෆාස්ට් ෆුඩ් වල තෙල්, සීනි, ලුණු හානිකර මට්ටමෙන්: ගොවිතැනේදී දානවාට වඩා වසවිස කුස්සියේදී දමනවා : කඩේ විකුණන ‘ගෙදර හැදූ කෑම’ වෙළඳ ගැටයක්!

නින්දේ පසුවෙන පැය කීපය පමණක් කාර්ය බහුලත්වයෙන් අත්මිදී සිටිනා නාගරික පොහොසත් පවුලක දරුවෙක් මීට මාස කීපයකට පෙර පාසැල් ගොසින් ගෙදර එද්දී අපූරු පණිවිඩයක් රැගෙනවිත් තිබිණ.

කොළඹ ප්‍රසිද්ධ පාසලකට යන ඔහු ඇතුළු කණ්ඩායමක් පංති කාලසටහනට පරිබාහිරව පැවත්වෙන දේශනයක් සඳහා යොමුකිරීමට පංති භාර ආචාර්යවරයා කටයුතු යොදන ලද්දේ, අද සමාජයේ පවතින වැරදි ආහාර පුරුදු ගැන ළපැටියන් දැනුවත්කිරීමේ පින්බර සිතුවිල්ලට අවනත වෙමිනි. ආරංචියේ හැටියට දේශනය පවත්වා ඇත්තේ එදින පාසැලට පැමිණි පෝෂණ විශේෂඥයෙක්ය. දරුවා ඉන් උකහාගෙන ගෙදර ගෙනා පණිවිඩය වන්නේ, කෑම මේසයේදී සිදුකල යුතු හැඳි මාරුවකි.

තවත් පැහැදිලි කරනවානම්, බත් බෙදාගන්නා හැන්දෙන් ව්‍යංජන බෙදාගන්නා ලෙසත්, ව්‍යංජන සඳහා තබා ඇති කුඩා හැන්දෙන් බත් බෙදාගන්නා ලෙසත් පෝෂණවේදියාගෙන් උපදෙස් ලැබී තිබිණ. මේ උපක්‍රමය හරහා පිටි ආහාර ශරීර ගතවීම අඩුකිරීමටත්, ඊට සම්පාතව ව්‍යංජනයන්හි ඇති තන්තු, විටමින් ආදී දෑවලට වැඩිපුර ඉඩ සලසන්නටත් දේශකයා උත්සාහ දරා ඇති බවට සැකයක් නැත. කනවා මිස එහි ඇති දෑ එතරම් නොවිමසන, ප්‍රභූ පැලැන්තියේ දෙමාපිය යුවලටද පුත්‍රයා ගෙනා පණිවිඩය හොඳින්ම තේරුම් ගොස් ඔවුන්ද පසුවූයේ සතුටිනි, ආඩම්බරෙනි. උපදෙස එදින රාත්‍රී කෑම මේසයේ සිටම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවින.

            පෝෂණවේදියා නිවැරදිය. යුරෝපීය රටක ලියූ පොතක් ඔහු විසින් මැනෙවින් හදාරා ඇති නමුත්, ලාංකික බහුතරයකගේ කෑම මේසයට එම මූලධර්මයේ යෝග්‍යතාවය ගැනනම් මට ඇත්තේ කණස්සල්ලකි. බත් බෙදන ලොකු හැන්දෙන් පිඟානට වැටෙන කරවල හොද්දේ තිබෙන ලුණු ප්‍රමාණය නම් ඇඟට අහිතකරය. අපේ ව්‍යංජනවල යහමින් ඇති මිරිස් තුනපහ ආදියද බත් බෙදන හැන්දකින් බෙදාගෙන කෑ හැකි මට්ටමකට වඩා ඉහලය.

මා මෙසේ කියන්නේ ‘කඩිනම් ආහාර (Fast Food) සංස්කෘතිය’ හරහාද සමාජය මේ වනවිටත් නොගැලපෙන තරමට ඉදිරියට ගමන් කර ඇති බැවිනි. නිවසින් පිටතදී අනිවාර්යයෙන්ම පාහේ බොහෝ දෙනෙකු හඹා යන කඩිනම් ආහාර හරහාද සිරුරට අහිතකර ප්‍රමාණයකින් ඇතුළුවන ලුණු. සීනි, තෙල් පමණක් නොව අනවශ්‍ය තරමට වන කැලරි වලටත් තවත් උඩගෙඩි දීමක්, මෙම හැඳි මාරුව නිසා ගෙදරදීද  සිදුවෙන බැවින්ය.

ෆාස්ට් ෆුඩ් බිහිවූයේ මිනිසාවම සැනසීමටය. නිවසේ කෑම කාමරයේ වාඩිවී, ආහාරය නිමකිරීමට ඉස්පාසුවක් නැති ජනතාවක් වෙනුවෙන් මෙම සිරිත් බිහිවී තිබේ. කාර්ය බහුලත්වය, කෑම පිසීමට ප්‍රමාණවත් ඉඩක් නොතිබීම, ආහාර පිසීමට වැයවෙන අධික ඉන්ධන පිරිවැය, සියල්ලන්ටම එහා ගිය කම්මැලිකම හමුවේ නගරයේ ජනතාවට අමතරව ගමේ ඇත්තෝ පවා දැන් දැන් ෆාස්ට් ෆුඩ් සිරිත්විරිත් වැළඳ ගනිමින් සිටිති.

‘වේගය’ යනු පසුගිය සියවස තුල නවීන ලෝකයාගේ සිත්තුල තදින්ම පැලපදියම් වූ වචනය යයි කීවාට වරදක් නැත. මහමගට බැස්සත්, අන්තර්ජාලයට පිවිසුනත් අප සොයන්නේ වේගයයි. ආපන ශාලාවකදී වේගය මනින්නේ ආහාරය ඇනවුම් කල පසු එය සැපයීමට ගන්නා කාලයෙන්ය. කලින් පිසූ ආහාර දෙන්නට සූදානමින් ප්‍රදර්ශනයේ තබා තිබෙන නිසා ඇතැම්විට මෙම කාලය තත්පර ගණනක්ය. තවත් ‘ෆාස්ට් ෆුඩ්’ ප්‍රභේදයක් නම්, යම් තරමකට කලින් පිස අවසන් කර ඇති ආහාර, ඇනවුමෙන් පසු විනාඩි කීපයක් තුල මිශ්‍රකර, රත්කර පිලිගන්වීමයි. මෙරට ජනප්‍රිය වෙමින් පවතින කොත්තු හා  එවේලේම සාදන ෆ්‍රයිඩ් රයිස් මීට උදාහරණ වේ.

”හැම තැනකටම වේගය ආදේශකර කටයුතු කඩිනම් කරගැනීම නිසා මිනිසා ඉතිරිකරගත් හෝ උපයාගත් කාලය, අනතුරුව පලදායී ලෙස වැය කෙරුවාද? නැතහොත් වැඩකට නැති විරාමයක් හරහා එම කාලය නාස්ති වී ගියාද? ”

හැම තැනකටම වේගය ආදේශකර කටයුතු කඩිනම් කරගැනීම නිසා මිනිසා ඉතිරිකරගත් හෝ උපයාගත් කාලය, අනතුරුව පලදායී ලෙස වැය කෙරුවාද? නැතහොත් වැඩකට නැති විරාමයක් හරහා එම කාලය නාස්ති වී ගියාද? තමාට අවැසි ආහාරය යම් කාලයක් වැයකරමින් නිවසේදීම පිළියෙළ කර ගැනීම කාලය කා දැමීමක්ද? මේ ගැන පුළුල් සංවාදයක් ඇරඹීමට හොඳම පරිසරය උදාවෙමින් තිබේ.

කොත්තුව හරහා සිරුරට ඇතුළු නොවන්නා දහ ජරාවක් නැති තරම්ය. මුලින්ම බිත්තරයක් අතින් පොඩිකර රත්වූ තැටියට දමනු ලබයි. විවේක පාඩුවේ ගෙදර කෑම පිසීමේදී මෙන් බිත්තර කටුවට හෙමින් තට්ටුකර පිළිවෙලකට එය කඩා ඇතුලත දෑ තාච්චියට දමනවා මෙන් නොව, මෙම හදිස්සිය නිසා කටුව පොඩිකිරීමෙදී පිටත තැවරී ඇති අපද්‍රව්‍ය, බැක්ටීරියා ආදී සියල්ලමත් දැන් කොත්තු තැටිය මතය. විෂබීජ නසන මට්ටමකට එය රත්වේදැයි සැක සහිතය. එයද හදිස්සිය නිසාමය. ගොඩගසා ඇති එළවලු කැබලි ටිකක්ද, ලුනුකුඩු, රසකාරක, සෝයාසෝස් ද දැන් එකතු කෙරේ. මින් පළමු දෙක තනිකරම සෝඩියම් ලවනය. සෝයාසෝස් වලද සෝඩියම් බහුලය. වයස 20 පසුකල පිරිමියෙකුගේ දෛනික සෝඩියම් ලවන සීමාව ග්රෑම් 4 කි. වයස 50 පැන්න විට එය ග්‍රෑම් එක හමාරකි. එක කොත්තුවෙන්ම මේ සීමාව සුනුවිසුනු වෙනවිට දවසේ අනෙකුත් කෑම වේල් වලින් එකතුවෙන ලුණු වලට සිරුර තුල නම් ඉන්නට හිටින්නට තැනක් ඉතිරි නොවේ. රුධිර ගතවෙන මෙම ලුණු වැඩිපුර ජලය උරාගෙන රුධිර පීඩනය වැඩි කරවයි. හෘද්‍යාබාධ දැන් අත ළඟය. මේ මොනවා සිදුවුවත් කාර්ය බහුල මිනිසාට ඇනවුම් කල සැනින් ලැබෙනා කඩිනම් කොත්තුව තම ජීවිතයටත් වඩා වටින්නේය.

      වයස 45 පැනපු ඇමරිකානු වැසියන් 45000 ක් යොදාගෙන කරන ලද සමීක්‍ෂණයකදී, වසර දෙකක් තිස්සේ ඔවුන්ට ලබාදුන් ආහාරයේ 15% ක ප්‍රමාණයක් අන්තර්ගත කරනු ලැබුවේ ‘ෆාස්ට් ෆුඩ්’ නමින් හැඳින්වෙන මෙවැනි සැකසූ ආහාරයන්ය. එයිනුත් වසර නමයක් ඇවෑමෙන් පර්යේෂකයින් දුටුවේ එම නියැදියේ සාමාජිකයින් බොහෝ දෙනෙකුට  පිළිකා හෝ හදවත් රෝග  හා බැඳුනු ආබාධ වැළඳී අතරමගදී මරුමුවට පත්වන බවයි.

අන් බොහොමයක් විලාසිතා සේම ‘ෆාස්ට් ෆුඩ්’ සංකල්පයද අප පැළඳගන්නේ විදෙස් රටකින් ලද ආභරණයක් වශයෙනි. නමුත් මේ වන විට එය එතරදීම කල් ඉකුත්වී ඇතිබව මෙරටුන් නොදනී. අධික මාංශ පරිභෝජනය හා බැඳුනු පෞද්ගලික හා සමාජයීය ආදීනව තේරුම් ගත් සැලකිය යුතු ප්‍රතිශතයකින් යුත් විදෙස් ජනතාවක් මේ වනවිටත් ‘ෆාස්ට් ෆුඩ්’ මග හරිමින් සිටිති. කඩිනම් ආහාර වෙනුවට ‘සුනංගු ආහාර’ (Slow Food) සංකල්පය බිහිවන්නේ මෙහි ප්‍රතිපලය වශයෙන්ය.

දේශීය ආහාර හා කෑම පිසීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ‘සුනංගු ආහාර ව්‍යාපාරය’ (Slow food movement) බිහිවන්නේ 1986 දී ඉතාලියේදීය. මෙය බිහිකළ කාලෝ පෙට්‍රිනී හට ‘මිහිතලයේ වීරයා’ යනුවෙන් එක්සත් ජාතීන් විසින් පිරිනමන පරිසර සම්මානය 2013 සැප්තැම්බර් මස 18 වෙනි දින ඇමරිකාවේදී පිරිනමනු ලැබුවේද, මෙම ව්‍යාපාරය ලොවට හඳුන්වා දීම වෙනුවෙනි. අද වනවිට ලොව පුරා මේ යටතේ ව්‍යාපෘති දහස් ගණනක් ක්‍රියාත්මක වේ. රටවල් 160 කට වැඩි ගණනක මිලියන ගණනින් ජනතාව මේ වටා රොද බඳිමින් සිටී. ලොවටම අවබෝධ වෙමින් පවතින මෙම දහම, ලාංකික ජනතාවට අවබෝධ කරලීමට වගකිව යුත්තන් වහ වහා පියවර ගතයුතු බව අප පෙන්වාදෙමු.

“හොඳ, පිරිසිදු, සාධාරණ” යන්න ‘සුනංගු ආහාර’ කණ්ඩායම තම තේමාව වශයෙන් තෝරාගෙන තිබේ. සෑම පුද්ගලයෙකුටම හොඳ, පිරිසිදු හා සාධාරණ ආහාර වේලකට අයිතියක් ඇතැයි යන්න ඔවුන්ගේ පිළිගැනීම නිසා මෙම තේමාව තෝරාගන්නට ඇත. හොඳ ආහාරයක් වන්නේ උසස් ගුනාත්මයක් සහිතව, ප්‍රනීත රසයද රැකගත් ආහාරයකි. පිරිසිදු යන්නෙන් අදහස් කර ඇත්තේ පරිසරයට කරදරක් සිදු නොවන බව වන අතර සාධාරණ යනු, මෙම ආහාරය දැරිය හැකි මිලකට වෙළඳපොලේ පැවතීම හා නිෂ්පාදකයාද එම මිල සීමාව තුල සතුටින් සිටීමය. මෙරට වෙළඳපොලේ කාබණික ආහාර ලේබලය යටතේ අලෙවි කෙරෙන දෑ තුන් හතර ගුණයකින් මිල වැඩි නිසා, සාමාන්‍ය පාරිභෝගිකයා ඒ වෙතට කිට්ටු නොවන බව දැනටත් අප සතු අත්දැකීමකි. මේ නිසා සාධාරණ මිල ගැන සැලකිලිමත්වීම ඉතා කාලෝචිත පියවරක් බව පෙනේ.

අපූරු ලාංඡනයක්ද ඔවුන් තෝරාගෙන ඇත. හෙමින් යන සතෙකු නිසාම සුනංගු ආහාර ව්‍යාපාරයට ගොලුබෙලි ලාංඡනය තෝරාගත්තා යයි කෙනෙකුට බැලූ බැල්මට සිතුනත් එම තීරණයෙහි ඉන් ඔබ්බට විහිදුනු විචිත්‍රත්වයක් තිබේ. ගොලුබෙල්ලා වෙනුවෙන් ලියවී ඇති පොතපත අතර ඉතාලියේ ෆ්රැන්සිස්කෝ ඇන්ජෙලීටා 1607 වැනි ඈත අතීතයකදී කල සඳහනක් වෙත ‘සුනංගු ආහාර’ කණ්ඩායම මෙහිදී මතකය යොමුකර ඇති බවක් පෙනේ. ඇන්ජෙලීටාගේ විශ්වාසයට අනුව දෙවියන්ගේ තීන්දුව පරිදි මෙහි එවන ලද සියලුම සතුන් යම්කිසි දිව්‍යමය පණිවිඩයක් රැගෙනවිත් ඇත. ගොලුබෙල්ලා රැගෙන ආ පණිවිඩය වන්නේ සියලු කටයුතු කලබලයකින් තොරව සිදුකිරීමයි. මීට අමතරව යන යන තැන තම නිවසද රැගෙනයන නිසා කොතැනකට ගියත් ඌ ඉන්නේ ගෙදරය. ‘සුනංගු ආහාර’ කණ්ඩායම ගෙදර පාදක කරගත් ආහාරයක අගය ඉස්මතු කිරීම සඳහා සුදුසුම ලාංඡනය තෝරාගෙන ඇත්තේ එලෙසිනි.

හරියට තේරුම් බේරුම් කරගත නොහැකි සිතිවිලි සමුදායක් නිසා ‘ගෙදර හැදූ කෑම’ යන යෙදුමට අප බෙහෙවින් ලෙන්ගතුවී සිටිමු. යමෙක් මෙවැනි පුවරුවක් සහිතව කෑම අලෙවි කරන ස්ථානයකට යන්නේ මහා පරිමාණයෙන් කෑම පිසින හෝටල් මුළුතැන්ගෙයට සාපේක්ෂව, ගෙදරක සුළුවෙන් පිසෙන ආහාරයකට ඇති කැමැත්ත නිසාය. එහෙත් එම සිතුවිල්ලෙහි එතරම් ගත යුත්තක් නැත. කෑමෙහි ගුණාගුණ රඳා ඇත්තේ ඒවා පිසින කුස්සියේ දිග පළල මත නොව, උයන්නේ කවුරුන් විසින්ද, කා සඳහාද වැනි කරුණු මත බව නූතන විද්වතුන් පවා පිළිගත් සත්‍යයකි.

 අතීතයේ ලියවී ඇති ඉන්දීය ආයුර්වේද ග්‍රන්ථයක සඳහන් වන්නේ, ආහාරය පිළියෙළ කරන්නාගේ හැඟීම් වල ස්පන්දනය, ආහාරයේ ගුණාත්මක තත්වයට බලපාන බවත්, එසේ වීම සඳහා ආහාරය යම් පුද්ගලයෙකු අරමුණු කරගෙන පිසිය යුතු බවත්ය.

දරුවන් ඇතුළු තම පවුල උදෙසා මව විසින් සතුටු සිතින් යුතුව ගෙදර උයන කෑමවේලට ආරෝපණය වී ඇති ජීව ගුණය එයයි. එසේ නොමැතිව ‘ගෙදර හැදූ කෑම’ ලේබලය යටතේ හෝටලයක හෝ ජංගම කරත්තයක තබාගෙන විකිණීම පිණිස ගෙදරක වුවද සාදන ආහාරයට පෙරකී ගුණාත්මය ආරෝපණය වන්නේ නැත.  එය යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක නොකොට හුදෙක්ම වාණිජ පදනම පෙරදැරිව කෙරෙන නිෂ්පාදනයක් නොහොත් තවත් හෝටල් කෑම පාර්සලයක්ම වේ. ‘සුනංගු ආහාර ව්‍යාපාරය’ විසින් තමන්ගේ පවුලේ ආහාර, තරමක් කාලය වැයකර හෝ ගෙදරදීම පිළියෙළ කරගන්නා ලෙසට උපදෙස් දෙන්නේ, මෙම අතාත්වික පෝෂණ ගුණයේ වාසිය මිනිස් සිරුරට නොඅඩුව සමීප කරලීමේ බලාපොරොත්තු පෙරදැරිවය.

රැකියාව නිමවා ගෙදර එනවිට ජංගම රෑ කඩයකින් කෑම මුල් කීපයක් රැගෙන යන ෆාස්ට් ෆුඩ් සංස්කෘතිය යම් පමණකට වත් ආපසු හැරවිය හැක්කේ මෙම සත්‍යය හැකි පමණින් හෝ ජනතාවට තේරුම්කර දීමෙන් පමණි. ඇමරිකානු යුවලක් තම දෛනික ආහාර පිළියෙළ කිරීම වෙනුවෙන් ගතකරන දළ කාලය විනාඩි 45 ක් පමණ යයි ගණන් බලා ඇත.

ෆාස්ට් ෆුඩ් හරහා අපද ලහිලහියේ එවැනි අගයක් කරා ලංවෙමින් සිටින්නෙමු. ගෙවල් සාදන විට දැන් කුස්සියක් නොහොත් මුළුතැන්ගෙයක් හදන්නේ නැත. ඒ වෙනුවට සාදන්නේ පෑන්ට්‍රියකි. එහි සැලසුම වැඩිපුර සුදුසු වන්නේ කෑම පිසීමට නොව, කොතනකින් හෝ රැගෙන එන පිසූ කෑම රත්කිරීමට හා ගබඩා කිරීමටයි. මෙම ව්‍යසනකාරී තත්වය විදෙස් ඇත්තෝ නම් දැන් බොහෝ දුරට තේරුම් ගෙන තිබේ. එවැනි අවබෝධයකට මග පෑදෙන තොරතුරුද, සමාජ ආර්ථිකයට හා පුද්ගල සෞඛ්‍යයට මෙවැනි සිරිත් වලින් වන බලපෑමද, දැන් නිතර නිතර ඔවුනට අසන්නට දකින්නට ලැබේ. එ

හෙත් අප තවමත්, විනාශකාරී පහන් සිළුව වෙත පියාඹන පළඟැටියන් සේ ‘ෆාස්ට් ෆුඩ්’ සංස්කෘතියට ආවඩමින් එය හඹා යමු. දියුණු යයි සම්මත ජාතීන් අත්විඳි අවාසනාවන්ත අත්දැකීම් විඳගැනීමට අපද මේ අනුව සූදානම් වියයුතු වන්නෙමු.

ඇමරිකානුවන් කඩිනම් ආහාර වෙනුවෙන් ඩොලර් බිලියන 100 කට වැඩි මුදලක් වසරකට වැයකරනු ලැබේ. ඔවුන් තම උසස් අධ්‍යාපනයට වත් එතරම් මුදලක් වාර්ෂිකව වෙන් කරන්නේ නැත. එහි රසකාරක කර්මාන්තයේ ව්‍යාපාරික පිරිවැය ඩොලර් බිලියන 1.4 කි.

දිනකට ඇමරිකානුවන්ගෙන් 25% ක්, එක වරකට හෝ ‘ෆාස්ට් ෆුඩ්’ අවන්හලකට ගොඩවේ. මුළු ජනගහනයෙන් 25% ක් තරබාරුකමේ සීමා පසුකර ඇත. 1980 තිබුන ප්‍රමාණය මෙන් මෙය දෙගුණයකි. එංගලන්තයේ දරුවෙක් වසරකට පැණිරස සිසිල්බීම ලීටර් 200 ක් පානය කරන අතර, අප අතරද සුලභව භාවිතා වෙන ස්ට්‍රෝබෙරි කෘතිම වර්ණකය සෑදීම සඳහා රසායන ද්‍රව්‍ය 49 ක් භාවිතා කරනු ලබයි. ඔය අතරවාරයේ හින්දූන්ට හා නිර්මාංශිකයින්ට හරක් තෙල් වලින් බදිනලද අලපෙති අලෙවිකිරීමේ වරදට හසුවූ සුප්‍රසිද්ධ ‘ෆාස්ට් ෆුඩ්’ ජාලයක් විසින් පසුගිය වසරේදී ඇමරිකානුවන්ට ඩොලර් කෝටියක් වන්දි වශයෙන්ද ගෙවා තිබේ.

‘සුනංගු ආහාර’ කණ්ඩායම පවසන ආකාරයට වඳවීමේ අවදානම් කලාපයේ සිටින සත්වයෙක් බවට මිනිසා පත්වීමට පෙර ඔහුගේ මෙම වේගය අඩුකරගත යුතුවේ. ‘සුනංගු ආහාර’ වලට නැඹුරුවීම හරහා පාරිභෝගිකයාට තම ආහාරය එන්නේ කොහි සිටද, කුමන ක්‍රමවේදයක් හරහා මේ ආහාරය පිළියෙළ කරනු ලැබුවේද, යන්න පමණක් නොව පිළියෙළ කල ක්‍රමයේ ආචාරශීලී බව විමසීමටද ඔහුට අවස්ථාව සැලසේ. මේ හරහා ශක්තිමත්ව ගොඩනැගෙන්නේ සමාජයේ පාරම්පරික කෘෂිකාර්මික උරුමයයි. වගාකරුවන්, ආහාර නිෂ්පාදකයින්, සූපවේදීන් හා පාරිභෝජකයින් යන කොටස් සියල්ල එක දම්වැලක පුරුක් සේ අමුණමින් මෙම උරුමය ගොඩනැගීම ‘සුනංගු ආහාර’ කණ්ඩායමේ අභිලාශය වේ.

සතියකට සෑහෙන්නට තුනපහ, මිරිස්, කහ යනාදිය මිරිස් ගලේ අඹරා, සාදාගත් කුළුබඩු ‘මිශ්‍රණ ගුලි’ වෙන වෙනම තැබූ දීසියක් පැරණි සිරිතේ මුළුතැන්ගෙය තුල තිබුනාට ‘කඩිනම් ආහාර’ රටාවේදී ඒ වෙනුවට ඇත්තේ කුඩු වර්ග පිරවූ බෝතල්ය. කුඩුවල ඩයි වර්ග ඇතැයිද සැකයකි. පුස් කෑම වැලක්වීමට ලුණු එකතුකර ඇතැයිද කියවේ. ඇඹරීමේදී ගෙවෙන දැතිරෝද වලින් පිටවෙන යකඩ කුඩුද යම් තරමකට මිශ්‍රවී ඇති බවටද සැක නැත. ලෙඩා මලත් බඩ සුද්දයි කීවා සේ යකඩ කුඩු ගිල්ලත් කාලය නම් ඉතිරිය.

වසවිස නැති ගොවිතැනක් බිහිකිරීම උදෙසා පසුගිය වකවානුවේදී විශාල කතිකාවක් සමාජය තුල ගොඩනැගුණි. යම් පමණකින් සමාජය දැනුවත්වී, සාධාරණ ගොවිතැනකට ගොවියා තල්ලු වූ බවට අප විශ්වාස කරමු. දැන් සීරුමාරු කරගත යුත්තේ එතැන් සිට අනුභවය දක්වා ඇති කොටසයි. එයද අතිශයින් වසවිසෙන් දූෂිතය. එහෙත් ලාංකික සමාජය තුල වැඩිදෙනෙක් තවමත් ඒ ගැන කතා නොකරයි. අහවල් පළාතේ අහවල් ගණනක් උදෑසන ආහාරය විෂ වීමෙන් රෝහල් ගතකල බවට පුවත්පතක පලවෙන ප්‍රවෘත්තියක් වැනි දෙයකට මෙම කොටස ලඝුවී තිබේ.

 ගොවිතැනේදී භාවිතාවෙන කෘෂිරසායන හරහා මිනිස් සිරුරට ඇතුල්වෙන වසවිස වලට වඩා කීප ගුණයකින් වැඩි අවදානමක් ‘කඩිනම් ආහාර’ සංස්කෘතිය හරහා උදාවී ඇති දැන් ලොවම පිළිගෙන හමාරය.

අවාසනාවට අපේ ඇත්තන්ට තවමත් ගොවියාගේ කරේ බැඳී බෙහෙත් ටැංකියට වඩා දෙයක් නැත. ඔවුන් සිතා සිටින්නේ සියලු පව්කාරකම් ඇත්තේ එය තුල කියාය.

2006 වසරේදී ඇමරිකාවේ නිව්ජර්සි, පෙන්සිල්වීනියා, නිව්යෝර්ක් වැනි ප්‍රදේශ වල ජනප්‍රිය ‘ෆාස්ට් ෆුඩ්’ ජාලයකින් බර්ගර් කෑ 71 දෙනෙක් වමනය හා පාචනය හමුවේ රෝහල් ගත කෙරෙද්දී 8 දෙනෙකුගේ වකුගඩු ඒ වනවිටත් අකර්මන්‍යව තිබිණ. සොයා බැලීමේදී අනාවරණය වුයේ බර්ගර් තුල වූ සලාද කොළ, කඩිනම නිසා හරියට සෝදා නොතිබීමෙන් එය ‘ඊ කෝලයි’ නම් බැක්ටීරියාවෙන් දූෂණය වී තිබු බවයි. අයර්ලන්තයේ ආහාර ආරක්ෂණ අධිකාරිය විසින් තවත් ‘කඩිනම් ආහාර’ ජාලයක අවන්හලක් වටලා (මෙහි ශාඛා මෙරටෙහිද තිබේ) බර්ගර් වලට දැමූ මස් වල අශ්වයින්ගේ ජාන සොයාගත් බවක් වාර්තා වුනි. අශ්ව මස් යොදාගන්නට ඇත්තේ තවත් වේගය අත්කර ගැන්මටදැයි අප නොදනිමු!! කුමක් සඳහා කඩිනම් වුවත්, ආහාර වෙනුවෙන් නම් ‘සුනංගුව’ නුවනට හුරුය. එය අපේ සම්ප්‍රදායික උරුමයද වේ.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor