ගුජරාටයේ ටියුෂන් කඩයේ ගින්නට සිසුන් 16ක් බිලි

‘‘මෙච්චර අනාරක්ෂිත උපකාරක පන්තිවලට එන ළමයි අර තරම් ආරක්ෂිත පාසල්වලට නොඑන්නේ ඇයි ? පාසලක ළමුන් දහස් ගාණක් ඉන්නේ අක්කර ගාණක. ඒත් උපකාරක පන්තියක ළමුන් දහස් ගණනක් ඉන්නේ ඉතාම සීමිත ඉඩක’’

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු පාසල්වලට සිසුන් නොපැමිණීම සහ ඔවුන් උපකාරක පන්තිවලට සහභාගී වීම ගැන තම මවිතය පළ කළ යුද්ධ හමුදාපතිවරයා මේ ප‍්‍රකාශය කළා.

මෙම ප‍්‍රකාශය මගින් යුද්ධ හමුදාපතිවරයා උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවල පවතින, කිසිවෙකුගේ අවධානය මේ දක්වා යොමු නොවූ උපකාරක පන්තිවල පවතින ආරක්ෂක විධිවිධාන ගැන යම් අදහසක් මතු කළා. ඒත් ඒ ගැන මේ දක්වා කිසිවෙකුගේ අවධානය යොමු වුණේ නැහැ.

ඒත් සිසුන් දහස් ගණනක් එක ගොඩනැගිල්ලක් තුළ අධ්‍යාපනය ලබන (ගාල්කර ඇති) උපකාරක පන්තිවල ආරක්ෂාව දැඩිව ප‍්‍රශ්න කෙරෙන ඛේදවාචකයක් පසුගිය දා බටහිර ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයෙන් වාර්තා වුණා.

ඒ, ‘‘සුරාට්’’ Surat නම් නගරයේ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානය ඇති වූ ගින්නකින් සිසුසිසුවියන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්වීමයි. ඉන්දීය මාධ්‍ය වාර්තා අතර බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සිසු සිසුවියන් 20 දෙනකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

මෝදිගේ ජයග‍්‍රහණයෙන් කුල්මත් වෙමින් සිටි ගුජරාට් වැසියන්ගේ නෙත් මොහොතකින් කඳුලෙන් තෙත් කළ මෙම සිදුවීම සමග ඉන්දියාව පුරා දස දහස් ගණනින් පැවැත්වෙන උපකාරක පන්තිවල ආරක්ෂාව ගැන මේ වන විට දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.

මේ ගැන AFP පුවත් සේවය නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා.

“පන්තිකාමර තුළ සිටිය සිසුන් ගින්නෙන් පිලිස්සීමෙනුත්, තවත් අය ගොඩනැගිල්ලෙන් පැනීමේදී වැටීමෙනුත් ජීවිතක්ෂයට පත් වුණා” ගුජරාට් ප්‍රාන්තයේ ගිනි නිවන හමුදාවේ දීපක් සප්තලේ AFP පුවත් සේවයට තමා දුටු ඒ බිහිසුණු දසුන විස්තර කළා.

ගුජරාටය කියන්නේ අගමැති මෝදිගේ ජයබිම. ඔහු තම විජයග‍්‍රහණය අතරතුර මේ ඛේදවාචකය ගැන දැඩිව කම්පාවට පත් වුණා. වහාම ට්වීටර් පණිවිඩයක් නිකුත් කළ මෝද් මෙසේ ප‍්‍රකාශ කළා.

“සුරාට් නගරයේ ඇති වූ ඛේදවාචකය ගන ඉතාම කනගාටුයි. මම විපතට පත් අයගේ පවුල් සමග මේ ශෝකය බෙදා ගැනීමට එකතු වෙනවා. පිලිස්සී ජීවිත බේරුණ සිසුන් ඉක්මනින් සුවපත් වේවි. මෙම විපතට ගොදුරු වූ අයට උදව් වෙන මෙන් ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවට සහ ප්‍රදේශයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා”

මේ ගින්න ගැන පරීක්ෂා කොට තෙදිනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ගුජරාට් මහ ඇමතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කළා.

ගින්නට හේතුව වායුසමීකරණ පද්ධතියේ විදුලි කාන්දුවක් බවත්, අදාළ ගොඩනැගිල්ලේ වහළය ගින්නක් ඉතා වේගයෙන් පැතිර යා හැකි ද්‍රව්‍යවලින් නිමවා තිබූ බවත් මේ ගැන පරීක්ෂණ කරන නිලධාරීන් පවසනවා. මේ ගැන සැකපිට අදාළ පන්තියේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ගින්න ගැන පුවත ලැබුණු වහාම මෙම ලියුම්කරුගේ මතකයට ආවේ ලංකාවේ තිබෙන අනාරක්ෂිත උපකාර පන්ති. ඒවායේ ප‍්‍රමිතිය ගැන සේම ගොඩනැගිලි ගැනත් කිසිදු අයෙකුගේ පරීක්ෂාවක් නැහැ. දෛනිකව කෝටි ගණන් උපයන එහි කළමනාකරුවන් වගේම ගුරුවරුන් ද ඒ ගැන කිසිදු සංවේදීභාවයක් නැති බව ලියුම්කරු අත්දැකීමෙන් දන්නවා.

ඒ නිසා ගුජරාටයේ මේ ගින්න අපේ ඇස් ඇරීමට සමත් වේවි ද කියලා හිතෙනවා.

Recommended For You

About the Author: Editor