හින්දු ස්වෝත්තමවාදය, ඔව් එයට මුහුණ දෙන්න වේවි. වෙන මොනවා කරන්නද ? ඇත්ත ඒක තමයි

‘හින්දු ස්වෝත්තමවාදය… ඔව්, එයට මුහුණ දෙන්න වේවි. ඒත් වෙන මොනවා කරන්නද ? ඇත්ත ඒක තමයි. යථාර්ථයත් එයම තමයි. එහෙම කාල ඉදහිට නොවෙයි නිතරම ලෝකයේ ඇති වෙනවා. එය නතර කළ නොහැකියි’’

පසුගිය මහ මැතිවරණයෙන් තම පාරම්පරික මැතිවරණ අසුන ‘‘අමති’’ පවා අහිමිකර ගත් රාහුල් ගාන්ධි කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ හිටපු අගමැති මන්මෝහන් සිංහ සහ සෝනියා ගාන්ධිගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ කොන්ග‍්‍රසයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මේ බව රාහුල්ට දැනුම් දී තිබෙනවා.

ඔවුන් රැස් වුණේ මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂනය කිරීමට බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොන්ග‍්‍රසයේ ප‍්‍රාන්ත නායකයින් කිහිප දෙනකු ද මේ වන විටත් ඉල්ලා අස්වීමේ ලිපි යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.

‘‘ඔවුන් මොනවට ප‍්‍රතිඵල විශ්ලේෂණය කරන්න ද ? කොන්ග‍්‍රසයට දිනාගන්න පුළුවන් වුණේ යාන්තමින් ආසන 91ක් පමණයි. මෝදි ආසන 352ක් ම දිනා ගත්තා. මුළු ඉන්දියාවම මෝදි අතට පත් වුණා. කොන්ග‍්‍රසයේ පාරම්පරික බලකොටු, අමති අසුන පවා අහිමි වුණ. නැගෙනහිර ඉන්දියාව, මධ්‍යම ඉන්දියාව ගැන ඔවුන්ට සිතා ගන්නවත් බැහැ. ’’ කොන්ග‍්‍රස් රැස්වීම විවෙචනය කරන දේශපාලන විචාරකයින් කියනවා.

කොන්ග‍්‍රසය ලැබූ පරාජය අනපේක්ෂිත එකක් නොවුණත් මෝදි ලැබූ දැවැන්ත ඓතිහාසික ජයග‍්‍රහණය හමුවේ කොන්ග‍්‍රසය පමණක් නොව සෙසු සියලූම දේශපාලන පක්ෂත් දැඩි කම්පනයට පත්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

ඔවුන්ට අනුව ඉන්දීයාව දීර්ඝ කාලීන බී.ජේ.පී පාලනයකට මුහුණදීමට සූදානම් විය යුතුයි. බොහෝ විට නොවන එය තවත් වරක් හෝ ඇතැම් විට දෙවරක් ම ‘‘මෝදි පාලනයක් ’’ විය හැකි බවයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.

‘‘මෝදිට තරගයක් ලබාදිය හැකි තරගකරුවෙක් පෙනෙන තෙක් මානයක නැහැ. රාහුල් ගාන්ධි තව දුරටත් බලාපොරොත්තුවක් නොවෙයි. ගාන්ධි පවුලේ පවුල් ආධිපත්‍ය ජනතාව විසින් තව දුරටත් ඉවසන්නේ නැති බව රාහුල්ට අමති අසුනත් අහිමි වීමෙන් පැහැදිලි වෙනවා. ඔහු පරාජයට වුණේ නිළියකට’’ ඉන්දීය දේශපාලන විචාරකයෙක් කියා තිබුණා.

තරුණ පරම්පරාව පවුල් පාලනය, නිදහස දිනා ගැනීමට කළ දායකත්වය ආදිය නොඉවසන බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් කියන්නේ.

‘‘නිදහස… ඒක හැමදාම අලෙවි කළ නොහැකියි. එය දිනාගෙන වසර 70ක් ගත වෙලා තිබෙනවා. අද තරුණයින්ට අවශ්‍ය රැකියා, ආර්ථික අවස්ථා, නවීනත්වය. ඒකට පවුල් පාලනයක් අවශ්‍ය නැහැ. මෝදි ඔවුන්ගේ තෝරා ගැනීම වී තිබෙනවා. රාහුල් තරුණයෙක් වුණත් ඔහුට වඩා මෝදි ආකර්ෂණීයයි. විශ්වාසදායකයි. ඔහු බින්දුවෙන් පටන් ගෙන මුදුනටම ආ කෙනෙක්. තරුණයින් කැමැති මේ වාගේ චරිතවලට. වැඩක් කළ, වැඩක් කළ හැකි චරිතවලට’’ මෙවර මැතිවරණයේ තරුණ ඡන්ද, සුළුජන ඡන්ද හැසිරුණු ආකාරය ගැන දේශපාලන විශ්ලේෂකයෙක් පහදා දෙනවා.

‘‘හින්දු ස්වෝත්තමවාදය… ඔව් එයට මුහුණ දෙන්න වේවි. ඒත් වෙන මොනවා කරන්නද ? ඇත්ත ඒක තමයි. යථාර්ථයත් එයම තමයි. එහෙම කාල ඉදහිට නොවෙයි නිතරම ලෝකයේ ඇති වෙනවා. එය නතර කළ නොහැකියි’’ ඔවුන් වැඩි දුරටත් පවසනවා.

සටහන – තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor