කරල් කපන දළඹුවා කලින්ම ඇවිත් පැළ ගොයමත් අනතුරේ

බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට ලැබුණු තොරතුරකට අනුව ක‍්‍රියාත්මක වූ එහි ප‍්‍රධාන කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන ඇතුළු නිලධාරී කණ්ඩායමක් පසුගිය සතියේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හක්වටුනාව සහ ගල්ටැන්වැව යන කෘෂිකර්ම උපදේශක බල ප‍්‍රදේශයන්හි පිහිටි කුඹුරු යාය කිහිපයක් පරීක්‍ෂා කරන ලදි.

මේ වනවිට පදුරු දැමීමට ආසන්න තත්වයේ පිහිටි ළපටි ගොයම ”ගොඩවෙල්ලා” නමින් ගොවීන් හදුන්වන දළඹුවාගේ හානියට පාත‍්‍රවී ඇතැයි යන්න එම ආරංචියයි.

හක්වටුනාව කෘෂිකර්ම උපදේශක බල ප‍්‍රදේශයට අයත් පාලගම ගම් ප‍්‍රදේශයේ ඇති පාලගම යාය සහ ඉහල යාය යන ගොවි ක්‍ෂේත‍්‍රත්, ගල්ටැන්වැව ගොවි ක්‍ෂේත‍්‍රත් පරීක්‍ෂා කිරීමට බල ප‍්‍රදේශ භාර කෘෂිකර්ම උපදේශකවරුන් ද, ගොවි මහතුන් ද සහභාගි වී ඇත.

මෙම හානියට හේතුව ”ගොඩවෙල්ලා” නමින් හදුන්වන සත්වයා නොවන බව මූලිකව හදුනාගෙන තිබේ. දළඹු විශේෂ දෙකකින් ගොයම ආසාදනය වී තිබුණි. ඉන් 95‍්‍% ක්ම කරල් කපන දළඹුවා Swarming caterpillar/Oriental armywarm යන පොදු නමකින් ද, ”මයිතිම්නා” Mythimna separata යන විද්‍යාත්මක නාමයෙන් ද හදුන්වන සත්වයෙක් බව දළඹු රූපාකාරය පදනම්ව තීරණය කර තිබේ. ස්ථිර නිගමනයකට පැමිණීම සදහා සුහුඹුලා නොහොත් සලබයා නිරීක්‍ෂණය කළයුතු බැවින් විද්‍යාගාර පරීක්‍ෂණ වෙනුවෙන් දළඹු සාම්පල ද රැගෙනවිත් ඇත.

පාලගම යාය සහ ඉහල යාය යන ප‍්‍රදේශය අක්කර 40 ක් පමණය. ගොයමට වයස සති 4-6 ක් පමණ වූ අතර නිරීක්‍ෂණය කර ඇත්තේ අක්කර 10 ක් පමණ ප‍්‍රදේශයකි. එම මුළු ප‍්‍රදේශයම දරුණු ලෙස දළඹු හානියට ලක්වී තිබුණු අතර ඇතැම් ගොවි මහතුන් කිසිදු මර්දන ක‍්‍රමවේදයකට නොගොස් මුළු කුඹුරම දළඹුවන්ට කෑමට වෙන්කර දී තිබීම පැහැදිලි කරගත නොහැකි තත්වයක් වේ. ඇතැමුන් ටෙ‍්‍රබෝන්, වර්ටැකෝ වැනි කෘෂි රසායන ද්‍රව්‍යයන් භාවිතා කර තත්වය මර්දනය කරගෙන තිබුනත්, රෝගී ලියැදිවල සිටිනා දළඹුවන් ලහි ලහියේ නිරෝගී ගොයම වෙත ගමන් කරන අයුරු ද විද්වත් කණ්ඩායම නිරීක්‍ෂණය කර ඇත. පත‍්‍ර සියල්ල සිදී යනතෙක් ගොයම කා දැමූ පසුව ද ඉතිරිව ඇති පාදස්ථ කොටස් සෑම එකකම පාහේ දළඹුවන් 3-4 ක් පමණ රැදී සිටිනා අයුරු සේයා රූ තුළින් පවා දැකගත හැකිය.

මේ පළිබෝධකයා ආගන්තුකයෙකු නොවේ. එසේම මෙවන් වසංගත සාදන්නෙකු ද නොවේ. පරිසරයත් සමග සමතුලිතව ජීවත් වූවෙකි. එහෙත් පාරිසරික තත්වයන් හිතකර වූ විට වසංගත තත්වයට පැමිණිය හැකිය. සාමාන්‍යයෙන් හානි කරන්නේ කරල් වලට වුවද පැළ ගොයමත් ආක‍්‍රමණය කිරීමේ හැකියාව තිබේ. මේ අනුව අද ඔහු කෙලින්ම පැමිණ ළපටි ගොයමට හානි කරමින් සිටී. ගොවීන්ගේ අනවධානය නිසාම මෙවන් මට්ටමකට හානිය වර්ධනය වී ඇති බව පැහැදිලිය. කුමක් වුවත් දැන් කළ යුත්තේ කෙටිකාලීන හදිසි ප‍්‍රතිකර්මයක් ලෙස පළිබෝධනාශක යොදමින් තත්වය සමනය කර ගැනීමයි. ”සේනා” ගේ අත්දැකීම් මත මේ සදහා ද පළිබෝධනාශක වර්ග 4 ක් වී පර්යේෂණායතනය නිර්දේශ කරයි.

  1. එමමෙක්ටින් බෙන්සොඒට් 5‍%SG (ප්‍රොක්ලේම් 5‍% SGහෙක්ටයාරයකට ග‍්‍රෑම් 130)
  2. තයෝමෙතොක්සාම් 20‍% + ක්ලෝරැන්ට‍්‍රැනිලිප්‍රෝල් 20‍්‍% (වර්ටැකෝ 40 WG හෙක්ටයාරයකට ග‍්‍රෑම් 100)
  3. එතොෆෙන්ෆ්රොක්ස් 10 ෑක්‍ (ටෙ‍්‍රබෝන් 10EC හෙක්ටයාරයකට මිලි ලීටර් 480
  4. ක්ලෝරැන්ට‍්‍රැනිලිප්‍රෝල් 20 SC (කොරැජන් 20SC) හෙක්ටයාරයකට මිලි ලීටර් 100

නිරෝගී වගාවකට පැමිණ සලබයින් බිත්තර දමනවාට අමතරව මෙතනදී දළඹුවන් නියර ඔස්සේ පවා පොළොව මතුපිටින් වගාවකට සංක‍්‍රමණය වීම සුවිශේෂය.

නිරෝගී ගොයමට බෙහෙත් යෙදිය යුතු නැත. කළ යුත්තේ බිම දිගේ එන දළඹුවන් වැළැක්වීමයි. නියරවල් මතට අළු දැමීම, ක්‍ෂේත‍්‍රය වටා කුඩා කාණු කපා ඒවාට අළු යෙදීම ගමන අවහිර කිරීමට සුදුසු ක‍්‍රමයන් වනු ඇත. වගාබිම හොදින් වල් මර්දන තත්වයේ තබාගන්නේ නම් ගොයමට අමතරව පරීක්‍ෂා කරමින් බිත්තර කැදලි හා දළඹුවන් අතින් ඉවත් කළහැකි වේ.

කොකා හා මයිනා මෙම දළඹුවන් ආහාරයට ගනී. ඔවුන්ව කුඹුරට ආකර්ශණය කොට තබාගත හැකි ක‍්‍රමවේදයකට යන්නේ නම් එයද පළිබෝධ පාලනයට උපකාර වනු ඇත. තම වගාව දෙස සුපරික්‍ෂාකාරීව බලමින් රැකබලා ගැනීමේ සිරිත ගොවිතැනෙන් බැහැරවීමට ඉඩ නොදිය යුතු බව මෙම පළිබෝධ ආක‍්‍රමණයේදී නැවතත් සනාථ වේ.

දුඹුරු පැළ කීඩෑ හානියේදී ද, වියලූනු ගොයම් සමූහයක් පිටතට පෙනෙන තුරු තම වගාවේ පාදීයව කීඩෑවා සිටිනා බව බොහෝ ගොවියන් දන්නේ නැත. මෙහිදී ද මුළු වගාවම කා දැමුවත්, සතුරා මර්දන අදහසක් ඇතැමුන්ට ජනිත වී නැත. අවසානයේ පළිබෝධනාශක විසදුම කරා යන්නට හෝ වගකීම වෙනත් පාර්ශවයකට බැර කිරීමට හෝ කටයුතු නොකොට ඒකාබද්ධ පාලන ක‍්‍රමවේදයන් ඔස්සේ වසංගත මග හැරීම අප කාගේත් යුතුකම වන්නේය.

පිටපත – සනත් එම්. බණ්ඩාර, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්‍ෂණික කරුණු – සුසන්ති චන්ද්‍රසේන – ප‍්‍රධාන කීට විද්‍යාඥ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ

Recommended For You

About the Author: Editor