මවගෙන් ආශිර්වාද ගෙන මෝදි දින 1000කින් ඉන්දියාව හදන්න යයි

රට සංවර්ධනය කරන සැලසුම් හා වැඩපිළිවෙළවත් ලංකාවේ අපට නම් ඒ තරම් අරුම පුදුම දේවල් නොවෙයි. දින 100 වැඩපිිළිවෙළ, මහින්ද චින්තනය, මෛත‍්‍රී යුගයක් ’’වාගේ බොහෝ දේවල් අපි පසුගිය කාලේ පසු කළා.

ලබන 30 වැනිදා තම දෙවැනි ඉණිම ආරම්භ කරන නරේන්ද්‍ර මෝදිත් පසුගිය වසර 05ට කළ නොහැකි වුණ දේවල් කඩිනමින් අවසන් කිරීමට දින 1000ක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇත්තම දවස් ගණනින් මේක ලොකු ඉලක්කමක් වුණාත් අවුරුදු ගණනින නම් අවුරුදු 03ටත් අඩුයි කියලයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ දශක ගණනාවකින් මෙපිට දැවැන්තම මැතිවරණ ජයග‍්‍රහණය වාර්තා කළ මෝදි මේ ආකාරයෙන් වැඩ කිරීමට යාම ගැන ඉන්දියාවේ තිබෙන්නේ මිශ‍්‍ර මතයක්. මෝදිගේ මැතිවරණ පොරොන්දුව වගේම සිහිනය වන්නේ ‘‘නව ඉන්දියාවක්’’ බිහි කිරීමයි. ඒ අනුව දින 1000 වැඩපිළිවෙළ තුළ ඒ සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමුව තිබෙන බවක් පේනවා.

විශේෂයෙන් නව ඉන්දියාවක් බිහි කිරීමට නම් ඉන්දිය කාන්තාවන්ගේ තත්ත්වය ඉහළට ඔසවා තැබීම අනිවාර්ය කරුණක්. ඒ අනුව කාන්තා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට තම ප‍්‍රමුඛ අවධානය යොමු කරන බව මෝදි කියනවා. ඒ වගේම ඉන්දීය ජාතික කාන්තාවක් අභ්‍යවකාශයට යැවීමටත් මෝදි සිහින දකිනවා.

මේ අතර ජනපතිවරයා හමුවී තම නව පාලන යුගයට අදාළ පත්වීම් ලිපිය ලබාගත් මෝදි ඉතාම වැදගත් ප‍්‍රකාශයක් කළා.

‘‘මගේ රජය කිසිම ආකාරයකින් ජනතාව වෙත සේවය කිරීමට තිබෙන එක මොහොතක් අපතේ හරින්නේ නැහැ. අද සිට මගේ රට, මගේ ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් වරයක් මට ලබාදී තිබෙනවා’’ මෝදි රාෂ්ට‍්‍රපති භවයන් හිදී මාධ්‍යවේදීන් හමුවේ කිව්වා.

මේ අතර ඉන්දීය මාධ්‍ය තවත් සුවිශේෂ කරුණක් ද වාර්තා කරනවා. ඒ මෝදි තම පණ මෙන් ආදරය කරන ගුජරාට ජනතාව සහ විශේෂයෙන් ‘වරනාසි’’ ජනතාව හමුවී ඔවුන්ට ස්තූති කිරීමට සූදානමින් සිටින බවයි.

ඒ වගේම තමයි මෝදි තම දෙවැනි ධුර කාලය ආරම්භ කරන්නේ තම මවගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඒ සුවිශේෂ කටයුත්ත ද ගුජරාට ගමන සමග සිදුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

Recommended For You

About the Author: Editor