හරි දත්ත නැති නිසා කෘෂි කර්මාන්තය ගැටලු ගොඩක – ඇමති හැරිසන්ගෙන් මැසිවිලි

කෘෂිකර්මාන්තය සම්බන්ධ නිවැරදි දත්ත නැති නිසා ගොවිජනතාව සහ රජය දැඩි අපහසුතාවකට පත්ව සිටින බව කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතා කියයි.

ගන්නෝරුව කෘෂි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති ”ජාතික ප්‍රතිකර්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය” සැකසීමේ වැඩමුළුවට එක්වෙමින් පි. හැරිසන්  මහතා මේ බව පැවසීය.

“මුං ඇට, කව්පි , උඳු, කුරක්කන් තවමත් පිට රටින් ගෙන්වනවා. අපි බිලියන සියයක් වියදම් කරනවා කෘෂිකර්මය නගා සිටුවීම වෙනුවෙන්.   වට්ටක්කා මෙට්ට්‍රික් ටොන් 10,000ක අවශ්‍යතාවයක් රටේ තියෙනවා. නමුත් 20,000ක් රටේ වගා කරනවා. මේ රටේ රට කජු අවශ්‍යතාවය 20,000ක් නම් වගා කරන්නේ 10,000 යි. ඉතිරිය පිට රටින් ගෙන්වනවා. ඇයි රටේ හරි දත්ත නැති නිසා. අවශ්‍ය ප්‍රමාණයට වගා කළා නම් ගොවියාත් රජයත් අපහසුතාවන්ට ලක් වෙන්නෑ.

වියළි කලාපීය ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හරිම අඩුයි. නමුත් අපි මාස තුනක් හතරක් වී වගා කරනවා. නමුත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා මාස දෙක හමාරකට අඩු කාලයක් අස්වැන්න ලබාගත හැකි වී වර්ග. නමුත් ගොවියා දන්නෑ.

ඇතැම් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා ජල ප‍්‍රමාණය වගේම පොහොර ප‍්‍රමාණය අපි යොදවන ප‍්‍රමාණය මෙන් හතරගුණයක් අඩුයි. සහනාධාරය සඳහා පොහොර ලබාදීම නතර කරලා මුදල් ආධාරය ගොවියාට ලබා දුන්නම රජය වියදම් කළ ප්‍රමාණය අඩුයි. ඇතැම් උදවිය රටේ වෙනත් නිෂ්පාදන සිදුකරන්න පොහොර සහනාධාරයට ලබාදෙන පොහොර කූඨ ලෙස භාවිත කරනවා.

අපි ආනයනය කරනු ලබන කෘෂිකාර්මික බෝග නිෂ්පාදන අපි මේ රට තුළදීම නිෂ්පාදනය කළ යුතුයි. කෘෂි කර්මාන්තය සඳහා කළමනාකාරිත්වයෙන් යුතුව වැඩි ඉඩම් ප්‍රමාණයක් යොදා ගත යුතුයි. කෘෂි ක්ෂේත්‍රයේ සෑම නිලධාරියෙකු ගෙන්ම  ප්‍රයෝජන ලබාගෙන ගොවියා ගේ සිට   අමාත්‍යාංශය  ලේකම් දක්වා සන්නිවේදනය වන ජාලයක් සෑදිය යුතුයි” යැයි අමාත්‍යවරයා පැවසීය.

Recommended For You

About the Author: Editor