හෙළගොවි අභිමානය ලොවට කියන ‘‘වී බිස්ස’’

ජීවත්වීමේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර එක් මූලික සාධකයකි. මිනිසා මෙන්ම සතා සිව්පාවුන්ද එම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා මිහිමත එළියදුටු මොහොතේ සිට අවසන් සුසුම්පොද මිහිමත මුදාහරින තුරු යුහුසුළුව වෙහෙසේ.

මනසින් උසස්ම සත්වයා මිනිසාය. එනමුදු මිනිසාටද ඉතා අගනා ගුරුහරුකම් ලබාදෙන සතා සිව්පාවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් මනුසත් පරපුරට ගෙන එන්නේ අපූරු ආදර්ශයකි. කුහුඹුවෝ පිළිබද සිහි වනවිට අපහට නිරතුරු සිහිවන්නේ ඔවුන්ගේ එකමුතුකම,  කඩිසරකම‍ මෙන්ම අනාගතය උදෙසා වූ  විශේෂ ප්‍රාගුණ්‍ය ක්‍රියාකාරකම් සමුදායයි. අදට පමණක් නොව හෙටට ද තම කුසගින්න නිවාගැනීමට අවශ්‍ය ආහාර පාන ඔවුන් රැස්කරනුයේ මුළුමහත් සත්ව වර්ගයාටම ආදර්ශයක් සපයමිනි.

රැස් කළ ධනය නිසි අයුරින් පරිහරණය කිරීමට බුදුන් ලබාදුන් ඔවදන් අතරද ඉතිරි කිරීමට හුරුවීම එක් මූලික කරුණකි. මේ සියලු ඔවදන්, ආoර්ශයන් ඉතා මනාව උකහාගත් අපේ අතීත මුතුන් තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූ කෘෂිකර්මාන්තයේ නියැලීමේදී එය නිසි ලෙස ක්‍රියාවට නැංවීය. ඊට කදිම නිදසුන වූයේ රැස් කළ බීජ ගබඩා කර තිබූ වී බිස්සයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ අනන්‍යතාවය ලෝකයට විදහා දැක්වීමට අප සතු ප්‍රබල මෙවලම අපගේ සංස්කෘතියයි. අපගේ සදාචාරයයි. එමෙන්ම ඒ තුළින් ගොඩනැගී ඇති අපටම අනන්‍ය වූ සිරිත් විරිත් සමුදායයි. මේ සියල්ල කාලයාගේ ඇවෑමෙන් ”බිස්ස” අප අතරින් වියැකී යන ආකාරය ඉතා ශෝචනීයවේ. ස්වයංපෝෂිත යැපුම් ආර්ථිකයකට හුරුව සිටි අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ වත්කම් ප්‍රකාශනයේ ප්‍රධාන සාධකය වූයේ වී බිස්සයි. තම නිවස ඉදිරිපිට වී බිස්සක් නොමැති වූ නිවසක් එකළ සොයා ගැනීම ඉතා අපහසු විය. එම වී බිස්සෙහි ප්‍රමාණය තුළින් එම පුද්ගලයාගේ ආර්ථික තත්වය සංඛේතාත්මකව ප්‍රකාශ විය. එබැවින් වී බිස්සට සිංහල සංස්කෘතිය තුළ ඉතා විශාල වටිනාකමක් හිමි විය. වී බිස්සක් තම නිවස තුළ නොමැති පවුලක් එම සමාජය තුළ පිළිගනු ලැබූයේ ඉතා අනාරක්ෂිත දුබල පිරිසක් ලෙසයි. විවාහයක දී මෙය ඉතා විශේෂයෙන් සලකා බලා ඇත. තම නිවසෙහි පෙනුම මෙන්ම තමා සතු වී බිස්සෙහි පෙනුම පිළිබදවද ඔවුහු වැඩි අවධානයක් යොමු කළහ.

කෘෂිකර්මාන්තයෙහි පසු අස්වනු සංරක්ෂණය කරනු ලබන ප්‍රධාන කේන්ද්‍රස්ථානය වූ වී බිස්ස අපගේ විද්‍යාත්මක සංස්කෘතික ලක්ෂණ මනාව විදහා දක්වන නිර්මාණයකි. බාහිර ස්වරූපයෙන් විවිධාකරයේ වී බිසි තිබී ඇත. මැටි බිස්ස ඒ අතරින් ප්‍රධාන විය. බොහෝ නිවෙස් ඉදිරිපිට ඉදිකරන ලද මෙම මැටි බිස්ස ඉතා සුන්දර නිර්මාණයක් විය. ඊට අමතරව පිදුරු බිස්ස, මෝස්තර රටා සහිත බිස්ස, රතුමැටි ගෑ බිස්ස, තිත්රේඛා සහිත බිස්ස, බන්ඩි ගැටි වැලෙන් පළල් බිස්ස, දියරැළි රේඛා සහිත බිස්ස, කටුමැටි බිස්ස, දිගැති හැඩැති බිස්ස, කමත් බිස්ස, ගෝනි බිස්ස, දැව බිස්ස, බිත්තර වී බිස්ස ආදී විවිධාකාරයේ වී බිසි එකළ ගමක් තුළ දැක ගත හැකි විය.

බිත්තර වී බිස්ස

මෙම බිස්ස සකසනු ලබන්නේ ද මැටියෙන්මය. ඊළග කන්නයේ වැපිරීම සදහා අවශ්‍ය බීජ එහි ජීව ගුණය සුරැකෙන පරිදි නිවැරදිව ආරක්ෂාකර තබා ගැනීමට හැකිවන පරිදි මෙම බිස්ස සකසා ඇත. මෙය ප්‍රමාණයෙන් කුඩාවේ. නිරතුරු පරීක්ෂාකර බැලිය යුතුය. උස අඩි පහක් හයක් පමණවේ.

දැව බිස්ස

මෙය බහුලව දැකිය නොහැක. ඇතැම් රූස්ස ගස්වල විශාල බෙන පිහිටා ඇත. ඇතුළතින් ප්‍රමාණය විශාල වනසේ සකසා ගනිමින් මෙම බිස්ස සකසාගෙන ඇත. කෘෂි කර්මාන්තයට හුරුවීමට පෙර ආදිවාසීන් තම ආහාරය වූ දඩමස් ගබඩාකර තැබීමට මෙය භාවිතකර ඇත. ඉතා හොදින් වේලා ගත් දඩ මස් මී පැණි ගා ආවරණය කර මෙහි තබා ඇත.

ගෝනි බිස්ස

තම අවට පරිසරයෙන් සොයාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් පං මලු, පැස් පෙට්ටි, ගල්ලැහැ මලු සකසා පාවිච්චි කළ අපේ මුතුන් මිත්තන් යටත් විජිත පාලන යුගයේදී ගෝනි භාවිතයට හුරු විය. මෙම ඇසුරුම ගබඩාකරණයට ප්‍රමාණවත් නොවන හෙයින් ගෝනි කිහිපයක් එකට එක්කොට ගෝනි බිස්ස සකස්කර තිබේ.

පොත පතෙහි දැනුමකින් තොර වුවද අපේ පැරැන්නන්ගේ මහා ප්‍රඥා ප්‍රාගුණ්‍ය 21 වන සියවසෙහි අදට ද සම කළ නොහැක. ඔවුන් ඕනෑම කටයුත්තක් සිදුකර ඇත්තේ කිසියම් විද්‍යාත්මක පසුබිමකට අනුව යැයි අද වනවිට සාක්ෂාත් වෙමින් පවතී. බිස්සක් ඉදිකිරීමේදී ද ඔවුන් ඉතා අපූරු ක්‍රමෝපායන් පදනම් සහිතව යොදාගෙන තිබේ. ඒ සියල්ල ඔවුන් සොයාගනු ලැබුවේ සොබාව දහම තුළිනි.

නැකැත් ශාස්ත්‍රය ප්‍රබලව විශ්වාස කළ ඔවුන් ගෘහමූලිකයාගේ වේලාපත්කඩ බලවා සුදුසු නැකතක් මේ සදහා යොදාගනී. බිස්ස බැදීම, බිස්සට වී එකතුකිරීම, බිස්ස ඉදුල් කිරීම සුභ මුහුර්තියකට අනුවම සිදුවිය.

මුලින්ම නිවස ඉදිරිපිට ඉතා සුදුසු ස්ථානයක් තෝරාගෙන එම බිම පිරිසිදුකොට සකසාගනු ලබයි. ඉන් අනතුරුව බිස්සේ ප්‍රධාන අංගය වන බිහිකූඩය, බිහි තට්ටුව හෙවත් බිස්සෙහි ආකෘතිය සකසා ගනී. එය විවීම සදහා අවට පරිසරයෙන් සොයාගන්නා ශක්තිමත් වැල් කෝටු මඩෙහි දමා පදම්කර ගනී. එමගින් කෘමි සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට හැකිවිය. අනතුරුව බිස්සෙහි බද කොටස මැටියෙන් ආවරණය කරගනී.  මේ සදහා ඔවුන් යොදාගනු ලැබුවේ රතු හුඹහේ මැටිය. මෙම මැටි ඉතා සියුම් වන අතර පතුරු නොගැලවේ. වේලීම ඉතා වේගවත්ය. එමෙන්ම ඇලෙන සුළු ගතියෙන් යුක්තය. කූඩය ඇතුළතින් හා පිටතින් මැටි තට්ටු දෙකක් යොදා අති බැවින් ඉපියන් වැනි කිසිම කෘමි සතෙකුට බිස්ස තුළට ඇතුළුවීමට ඉඩ කඩක් නොවීය.  වී බිස්ස සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක පසුබිමකට අනුව සකසා ඇති බවට වූ කදිම නිදසුනක් ලෙස එහි බද කොටසේ නිමැවුම දැක්විය හැක. බිස්ස කවාකාර හැඩයෙන් නිමවා ඇති නිසාවෙන් වී ඇටවල ජීව ගුණය ආරක්ෂා වන ලෙස ඒකාකාරීව වාතාශ්‍රය බිස්ස පුරාවටම ලැබේ. තවද කිසිදු අවස්ථාවක බිස්ස මතින් ජලය ඇතුළට එකතු නොවේ. එබැවින් අස්වනු කිසිදු හානියකින් තොරව ආරක්ෂා වේ.

වසර සියගණනක් වුවද එය ශක්තිමත්ව ඇත. වී බිස්සෙහි වහළය සෙවිලිකර ඇත්තේ පිදුරු වලිනි. එයද ඉතා නිර්මාණශීලීව සකසා ඇත. මන්ද වී එකතු කිරීමට මෙන්ම ඉවත්කිරීමට පහසු වන ලෙස යතුරු පලය සකසා ඇත. මෙම සොදුරු නිමැවුම කන්න කිහිපයක අස්වැන්න ගබඩාකරගත හැකි ඉතා ආරක්ෂිත මෙවලමක් විය. වී බිස්ස ගොඩනගනුයේ පොළවෙහි සිටවන ලද ඉතාමත් ශක්තිමත් ලී කණු හෝ ගල් කණු  හතරක් මතය. පොළොව මතින් ගලා යන ජලයෙන් හෝ සතුන්ගෙන් සිදුවන හානිය වළක්වාගත හැකි ලෙස එය බිම් මට්ටමේ සිට අඩි කිහිපයක් උසින් නිමවා ඇත. කොහොඹ, කදුරු ගෙඩියා, නික හෝ දෙහි වැනි ශාකපත්‍ර දමා කෘමි උවදුර වළක්වා ගැනීමටද ඔවුන් කටයුතු කොට ඇත‍. මේ සියල්ල තුළින් විද්‍යාමාන වූ එකම දර්ශනය ඔවුන් සතු වූ  අපරිමිත දැනුමයි.

කිසිවෙකුටත් අත නොපා අරපිරිමැස්මෙන් තම ජීවන රටාව ගොඩනගාගත් අපේ මුතුන්මිත්තන් තම දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කළ සංඛේතයක් ලෙස වී බිස්ස යොදාගනු ලැබීය. අදට පමණක් නොව තව වසර ගණනාවක අනාගතයකට ධනයෙන්, ශ්‍රමයෙන් ණය වී ඇති ආර්ථික ක්‍රමයකට හුරුව ඇති වත්මන් සමාජයට එදා අපේ ගැමි නිවසේ තිබූ වී බිස්සෙන් මනා ආදර්ශයක් ගෙන එනු ලබයි. ලෝකය මොහොතින් මොහොත වෙනස්වේ. අප මොහොතින් මොහොත වියපත්වේ. නමුත් හෙට උදෙසා අපෙන් විය යුතු මෙහෙවරට අද සිටම ඉතිරිකිරීමේ හුරුකම අපේ ජීවිත තුළට ළංකර ගනිමු. අතීතයෙන් අප උකහාගත යුත්තේ එම මහගු උපදේශාත්මක ඔවදනමය.

ප‍්‍රියන්ති කුමාරි තිලකසිරි
සංවර්ධන නිලධාරී
ගොවි බැංකුව
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

Recommended For You

About the Author: Editor