පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පීඩාවට පත් අංශ රැසකට දැවැන්ත සහන දෙන ‘‘රජයේ සහන පැකේජය’’

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පීඩාවට පත් විවිධ ආර්ථික ක්ෂේත‍්‍රවලට සහන ලබාදීම සඳහා එම අංශ වලින් ඉදිරිපත් වූ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක වන ‘‘රජයේ සහන පැකේජය’’ මේ වන විට ක‍්‍රියාත්මක වීම ආරම්භ වී ඇත.

මේ යටතේ සංචාරක, ප‍්‍රවාහන, නිවාස, සමාජ සුභසාධන, අධ්‍යාපන, කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත‍්‍ර සඳහා සහන ලබාදීම සිදුවේ.

මෙහිදී වැඩි අවධානයක් පාස්කු ඉරිදා ප‍්‍රහාර හේතුවෙන් බිඳ වැටීමට ලක් වූ සුළු සංචාරක, පොදු ප‍්‍රවාහන සහ සංගීත සංදර්ශන යන උප අංශ වෙත ලබා දීමට නියමිතය.

සංචාරක පොඞ්ඩෝ

සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ රැුකියාවන්හි නියුතු ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්, ස්වයං රැකියා නියුක්තිකයින් හා අනෙකුත් අනියම් ව්‍යාපාරිකයින්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා මැයි මස 27 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ‘‘සංචාරක පොඞ්ඩෝ’’ නමින් ණය ක‍්‍රමයක් හඳුන්වාදී ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් නියාමනය කරන මෙම ණය ක‍්‍රමය යටතේ වසර 03ක ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව රුපියල් 500,000ක උපරිමයක් දක්වා පොලී රහිත හා වසරක සහන කාලයක් සහිත ණය යෝජනා ක‍්‍රමය හඳුන්වාදී සඳහා ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු වෙත නව මාර්ගෝපදේශ සංග‍්‍රහයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. මෙම ණය ක‍්‍රමයේ ඇති සුවිශේෂත්වය වන්නේ එහි පොලියෙන් සියයට 100ක්ම රජය මගින් දැරීමයි.

පෞද්ගලික බස් හිමියන්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් පෞද්ගලික බස් හිමියන් ද පීඩාවට පත්ව ඇති හෙයින් ඔවුන් වෙනුවෙන් ‘පමා සහන කාලසීමාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩපිළිවෙළ ද මැයි මස 27 වැනිදා සිට ක‍්‍රියාත්මක වේ. ඒ අනුව 2019 අපේ‍්‍රල් සහ මැයි මසයන්හි වාරිකයන් සඳහා පමා සහන කාලයක් ලබා දෙන ලෙස අදාළ බැංකු /කල්බදු සමාගම් වෙත මුදල් අමාත්‍යාංශය මගින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

එළිමහන් සංගීත සංදර්ශන

එළිමහන් සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සාමාජිකයින් විසින් ලබාගත් ණය සහ ලීසිං පහසුකම් සඳහා සහන කාලයක් ප‍්‍රකාශ කිරීම හා සහනදායී පොලී අනුපාතයක් යටතේ නව කාරක ප‍්‍රාග්ධන ණය ක‍්‍රමයක් ජූනි මස 01 වැනිදා සිට හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව 2019 ජූනි 01 වැනිදා සිට වසර 02ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව සියයට 3.46ක පොලී අනුපාතිකයක් යටතේ සහ උපරිම රුපියල් 500,000 දක්වා නව කාරක ප‍්‍රාග්ධන ණය මුදලක් ලබාදීම සඳහා ලංකා බැංකුව වෙත මුදල් අමාත්‍යාංශය මගින් මාර්ගෝපදේශ සංග‍්‍රයක් නිකුත් කර ඇත. මෙහිදී සියයට 75ක පොලී සහනාධාරය රජය විසින් දරනු ලැබේ.

මෙම නව සහන පැකේජය ක‍්‍රියාත්මක වීම සමග පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පීඩාවට පත් ක්ෂේත‍්‍රවලට යළි නැගී සිටීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඇමැති මංගල සමරවීර මහතා විශ්වාසය පළ කළේය.

Recommended For You

About the Author: Editor