ඉල්ලා අස් වුණොත් තානාපතිකමක් දෙන බව ජනපති කිව්වා – පූජිත් ජයසුන්දර

පොලිපති ධුරය යළි ඉල්ලා පූජිත් ජයසුන්දර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ අන්තර්ගතය

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුතු බවට චෝදනා කරමින් ජනපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

එහිදී පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී බැවින් ජනාධිපතිවරයාගේ එම නියෝගය බල රහිත කරන ලෙසයි.

විදානපතිරණ නීතිඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය, එහි සාමාජිකයින් වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන්, ජාවේඞ් යූසුෆ්, සෙල්වකුමාරන්, බිමල් රත්නායක, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, ජාතික රහස් ඔත්තු සේවයේ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා ඇතුළු හය දෙනකු නම් කර තිබෙනවා. මෙහිදී පූජිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත්තේ තමන් වසර 34ක කාලයක් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු කර ඇති බවයි.

මූලික අයිතිවාසිකම් පෙත්සමේ අන්තර්ගතය

තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පූජිත් ජයසුන්දර මහතා පහත සඳහන් කරුණු ඉදිරිපත් කර / හෙළිකර තිබෙනවා.

ජනපති – අගමැති මතභේදයේ දී මම අපක්ෂපාතීව සිටියා

2018 වසරේ මැදභාගයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ තමන් වගකිව යුතු සිවිල් සේවකයෙකු වශයෙන් එම අවස්ථාවේදී කිසිඳු පක්ෂයක් නොගෙන සිටි බවත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තුළ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජනාධිපතිවරයා විසින් තමන් ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී කර නොගත් බව සඳහන් කරන පූජිත් ජයසුන්දර මහතා, ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් ඇති බවට ජාතික තොරතුරු අධ්‍යක්ෂවරයා විසින් පසුගිය අපේ‍්‍රල් 09 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශ රැුස්වීමේදී අනාවරණය කළ ද, ඒ පිළිබඳ හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවක් ඔහු විසින් සඳහන් නොකළ බව ද සඳහන් කර ඇත.

පළාත් 09ම භාර නි. පොලිස්පතිවරුන් දැනුවත් කළා

මෙහිදී පොලිස්පතිවරයා ලෙස තමන් ගත් පියවර පිළිබඳව ජයසුන්දර මහතා පෙත්සමේ කරුණු සඳහන් කර ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳ ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ට තමන් ලිපි මගින් දැනුම් දුන් බව ද සඳහන් කරනන පූජිත් ජයසුන්දර මහතා, ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ ඇති බව පළාත් 09ම භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අපේ‍්‍රල් 09 වැනිදා දැනුම් දුන් බව ද තම පෙත්සමේ සඳහන් කර ඇත.

මෙහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තමන් මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කරන පූජිත් ජයසුන්දර මහතා තම පෙත්සමේ සඳහන් කර ඇත්තේ, පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් මස 23 වැනිදා ජනපතිවරයා විසින් තමන් ජනපති නිල නිවසට කැඳවන ලද බවත් එහිදී ජනපතිවරයා මේ පිළිබඳව තමන් දැනුවත් කිරීමට පියවර නොගත් බවයි.

ඉල්ලා අස් වුණොත් තානාපතිකමක් දෙන බවට යෝජනා කළා

මෙහිදී පූජිත් ජයසුන්දර මහතා තම පෙත්සම මගින් වැඩි දුරටත් දක්වා ඇත්තේ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනපති කොමිසමක් පත් කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව ප‍්‍රහාරයේ වගකීම භාර ගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් විය යුතු බව තමන්ට දැනුම් දුන් බවයි. තමන් පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස් නොවුණහොත් පරීක්ෂණ කොමිසමට එය අහිතකර බව ජනපතිවරයා දැනුම් දුන් බව පවසන පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් තමන්ට තානාපති ධූරයක් ලබා දෙන බව ජනපතිවරයා පැවසූ බව ද තම පෙත්සමේ සඳහන් කර ඇත.

මෙහිදී පූජිත් ජයසුන්දර මහතා පවසන්නේ, එසේ තිබියදී, ජනපතිවරයාගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා තමන් ලැබුණු බවත්, තමා අනිවාර්ය නිවාඩු යැවූ බව එහි සඳහන් කර තිබූ බවත්ය.

මේ ඉවත් කිරීම නීතියට පටහැනියි

මෙහිදී පූජිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත්තේ, ජනපතිවරයාගේ එම තීරණය නීති විරෝධී බවත්, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි.

එසේම මෙම අනිවාර්ය නිවාඩු ගැන්වීම නිලධාරීන් ඉවත් කිරීමේ පනතට පටහැනි බව ද සඳහන් කරන පෙත්කම්කාර පූජිත් ජයසුන්දර මහතා, එබැවින් තම පෙත්සම විභාගයට ගෙන ජනපතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ප‍්‍රකාශ කරන ලෙසත්, තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනපතිවරයා ගත් තීරණය අවලංගු කිරීමට නියම කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙහිදී පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ, දෙවැනි වගඋත්තරකාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න වැඩබලන පොලිස්පති ධූරයට පත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙසත්, තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම, මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වළකාලමින් ජනාධිපතිවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Recommended For You

About the Author: Editor