News in Brief: රාජ්‍ය සේවක ඇඳුම් සඳහා චක්‍ර ලේඛයක්

ඥානසාර හිමිට එරෙහි අභියාචනා ජූනි 22 වනදා යළි සලකා බලයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන මස 22 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මහබැංකු පොලී අනුපාත පහතට

ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙළා තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බවයි

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වා ද, ණය ලබා ගැනීමේ පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 8. 5ක් දක්වා ද අඩුවනු ඇත. මීට සමගාමීව වාණිජ බැංකුවල පොලී අනුපාත ද පහත හෙලනු ඇතැයි අපේක්ෂිතය.

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 83 හැවිරිදි වියේ පසු විය. දේශය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

අද සිට බන්ධනාගාර බුද්ධි අංශය යළි බලාත්මකයි

අඩපණව තිබූ බන්ධනාගාර බුද්ධි අංශය අද සිට යළි බලාත්මක බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. බන්ධනාගාර බුද්ධි අංශ අඩපණව තිබුණේ ඊට අනියුක්ති නිලධාරීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව සේවා අවශ්‍යතා මත සාමාන්‍ය රාජකාරිවලට අනියුක්ත කර තිබීම හේතුවෙනි. මෙම නිලධාරීන් අද සිට ඔවුන්ගේ නියමිත රාජකාරිය සඳහා අනියුක්ත කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ. ඒ අනුව බන්ධනාගාර බුද්ධි නිලධාරීන් අද සිට ඔවුන්ගේ වැටලීම්ද ආරම්භ කරනු ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට සිතාසී

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදලින් නඩත්තු කිරීම පිළිබදව සාක්ෂි ලබාදීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත අතපත්තුට අද සිතාසි යොමු කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන මස 12 වන දින කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබාදිය යුතුය.

පූජිත්ට සහ හේමසිරිට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක්

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුත්තක් බවයි නීතිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ. එබැවින් ඒවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනුකර තිබෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජාමිල් මහත්මිය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙම පෙත්සම් ලබන මස 6 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි 

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමග නතරකර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ආරම්භ කෙරෙනවා. දුම්රියේ ආරක්ෂාව සහතික කිරීම සදහායි පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණේ. පාර්සල් භාරගන්නා දුම්රිය ස්ථානවලදී ඒවා පරීක්ෂා කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මගීන් ඒ පිළිබද සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර පැවති ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පොල හෙට සිට කාර්යාල දුම්රියන් සදහා පමණක් විවෘත කෙරෙනවා.

රාජ්‍ය සේවක ඇඳුම් සඳහා චක්‍ර ලේඛයක්

‘රජයට අයත් කාර්යාවල ආරක්ෂාව තහවුරු කිරීම’ යන මාතෘකාව යටතේ සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ වන පරිදි ඇඳුම් සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව පිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව වසර අවසානයට

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. විගණනයන් අප්‍රේල් මාසයේදි ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor