ඒ කඳුළු අදත් වියළී ගොස් නෑ – නීටා ප‍්‍රනාන්දු

‘‘නීටා ප‍්‍රනාන්දු’’ කියන්නේ හෙළ රිදී තිරය ඒකාලෝක කළ තවත් ප‍්‍රතිභා පූර්ණ නිළියක්. ඇය ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑ ‘‘පවුරු වළලූ’’ චිත‍්‍රපටය වෙනුවෙන් ඇය 1998 වසරේදී (ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ) සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළලේදී ‘‘හොඳම නිළියට’’ හිමි සම්මානය දිනාගත්තා.

මේ අතර ඇය රංගනයෙන් දායක වූ ‘‘පාංශු’’ චිත‍්‍රපටය වෙනුවෙන් පසුගිය දා ප‍්‍රංශයේ‘‘නීස්’’ චිත‍්‍රපට උළලේදී Nice International Film Festival ‘‘හොඳම විදෙස් නිළියට’’ හිමි සම්මාන හිමි වුණා.

මේ අප ‘‘නීස්’’ සම්මානය ගැන ද ඇතුළුව තව බොහෝ දේ ගැන නීටා සමග කළ කතාබහක්.

ඔබ පවුරු වළලූ චිත‍්‍රපයට වෙනුවෙන් 1998දී සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. දැන් හරියටම දශක දෙකක් ගත වෙලා. ඔබ යළිත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙලා. මොකද හිතෙන්නේ ? දශක දෙකක් කියන්නේ සෑහෙන කාලයක් :

ඇත්ත, දශක දෙකක්, එහෙම නැතිනම් අවුරුදු 20ක් කියන්නේ නිළියකට පමණක් නොවෙයි ඕනෑම අයෙකුට විශාල කාලයක්. ඒත් එදා – අද කියලා අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ. එදා, 1998 කාලේ වගේම මිනිස්සු බියෙන් – සැකෙන් ඉන්න වේලාවක තමයි මට ‘‘නීස්’’ ජාත්‍යන්තර සම්මානය ලැබෙන්නේ. ත‍්‍රස්ත ප‍්‍රහාර හා අනෙකුත් හිංසන ක‍්‍රියා නිසා තාමත් මිනිස්සු දුක් විඳිනවා. ඒ නිසා මට ලැබුණු සම්මානය ඔස්සේ හෝ ඒ පීඩිත මිනිස්සුන්ට සැනසීමක් ලැබෙනවා නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට.

ඒ වගේම තමයි මට නීස් සම්මානය හිමිවීම ගැන බොහොම අහිංසක ආඩම්බරයකුත් තියෙනවා. මං කියන්නේ මගේ මේ සම්මානය දරුවෝ වෙනුවෙන් අඬන ඒ අම්මලාට උපහාරයක් වේවා කියලයි. ඒකයි මගේ ප‍්‍රාර්ථනාව.

‘‘පාංශූ’’ නිර්මාණය ගැන මොකද හිතෙන්නේ ?

මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ‘‘විසාකේස චන්ද්‍රසේකරන් මහත්මයා. නීස් සම්මාන උළලේදී ‘‘හොඳම විදෙස් තිර රචනයට’’ හිමි සම්මානයට ද පාංශූ නිර්දේශ වුණා. ඒ වගේම ‘‘හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියාට’’ හිමි සම්මානය දිනාගත්තේ එහි ඇඳුම් නිර්මාණ ශිල්පී ‘‘කුමාර කරව්දෙණිය’’ විසිනුයි.

ඔබ එහි රංගනයෙන් දායක වන චරිතය ගැන කතා කරමුද ?

1988-89 භීෂණ සමයේ පැරාමිලිටරි කණ්ඩායම් විසින් පැහැර ගෙන ගිය තම පුතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ධෛර්යවන්ත අම්මා කෙනෙකුගේ චරිතයක් තමයි මම එහි නිරූපණය කරන්නේ. ඒක අභියෝගාත්මක චරිතයක්. එය තමයි මගේ ජීවිතයේ නිරූපණය කළ අසීරුතම චරිතය.

ඔබ ඒ අභියෝගය ජය ගත්තා ?

ඔව්, සෑහෙන්න කැප කිරීමක් කළා. මේ චරිතයට පණ පෙවීමට අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් ලොකු මගපෙන්වීමක් ලබා දුන්නා.

මේ චරිතය වෙනුවෙන්ම ඔබ පීනන්න ඉගෙන ගත් බවත් ආරංචියි. ඒක ඇත්තක්ද ?

ඔව්. මම වතුරට හුඟක් බය කෙනෙක්. මම මාස හයක් තිස්සේ පීනන්න ඉගෙන ගත්තා. ඒක හරිම අමාරුයි. බැරිම තැන මම කිව්වා වෙන කෙනෙක් ගන්න කියලා. ඒත් අන්තිමට මම ඒ අභියෝගයත් ජය ගත්තා.

ඇයි පිහිනීම එතරම්ම වැදගත් වුණේ ?

ගඟක් අසල ජීවත් වන ගැහැනියකගේ චරිතයක් තමයි එහි තිබුණේ. දර්ශන කිහිපයකම පීනන්න තියෙනවා.

ඔබ තවත් අලූත් අත්දැකීමකට මුහුණ දුන් බවයි කියන්නේ. ඒ කුමක්ද ?

ඔව්, ඒක ඇත්තටම අලූත් අත්දැකීමක්. චිත‍්‍රපයේ සෑම දර්ශනයක්ම රූගත කිරීමට පෙර සිතුම්වම් කරන ලද රූප මගින් මට ලබාදුන්නා. ඒ හරහා අධ්‍යක්ෂවරයා මගෙන් උපරිමය බලාපොරොත්තු වන බව මට වැටහුණා. අනික තමයි දර්ශන තලයේදී පවා අපිට විසාකේස කිව්වේ ‘රඟපාන්න නම් එපා – චරිතය හිතට අරන් වැඩ කරමු’’ කියලයි. ඒ හින්දා චිත‍්‍රපටයේ රූගත කිරීම් කරන්න කලින් පැවැත්වූ වැඩමුළු හරහා අපි අපේ චරිත ගොඩනගා ගත්තා. ඒ හරහයි අපි අපේ අදහස් බෙදාහදා ගත්තේ. මේ චරිතයට මම ආදරය කරන්නේ ඒ කැප කිරීම නිසයි.

එදා, 1988-89 වගේම අදත් සමාජය තුළ භීතියක් තිබෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද ?

ඒ දෙක දෙකක්. ඒත් එදා හෙළු කඳුළු අදත් වියළී ගිහින් නැහැ. අදත් ඒ අම්මලා – තාත්තලා සොහොන් කොත් ළඟට ගිහින් හඬා වැටෙනවා. ඒ නිසයි සදාකාලික දරු දුකින් පෙළෙන අම්මලාට තාත්තලාට මම මගේ සම්මානය පුදකරන්න හිතුවේ.

සටහන – තුෂාධවි

Recommended For You

About the Author: Editor