හැඳුනුම්පතේ වංචා වැසුවොත් ජාතික ආරක්ෂාව සහතිකයි

උප්පැන්න සහතිකය ලියාපදිංචි කරන අවස්ථාවේදීම ජාතික හැඳුනුම්පත් අංකයත් ලබාදීමේ වැඩසටහන කඩිනමින් ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

දඹුල්ල මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනය විවෘත කිරීමට ඊයේ පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නිසියාකාර හැඳුනුම්පතක් හදා ගැනීමට නොහැකි රටක් බවට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා බෝම්බ පිපුරූ සිද්ධියේ මියගිය අයට එකම අංකයට නම් දෙකකට හැඳුනුම්පත් නිකුත් කර තිබුණා. නිසියාකාර හැඳුනුම්පතක් සකස් කර ගතහොත් ජාතියක් හැටියට ආරක්ෂාවක් සපයා ගත හැකියි.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පුද්ගලයකුට උපතේදීම හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහන යටතේ උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීම කඩිනමින් ක‍්‍රියාත්මක කරනවා. එසේ ලබා ගන්නා හැඳුනුම්පත හරහා ගමන් බලපත්‍රයල රියදුරු බලපත්‍රය ආදී රජයේ ලියකියවිලි බලපත්‍ර විවිධ අවහිර වීමකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මට රටේ ආරක්ෂාව මාස තුනකින් තහවුරු කළ හැකියි. ඒ සඳහා මට අවශ්‍ය කරන්නේ රුපියල් බිලියන හතලිහක් පමණයි. එය රජය විසින් ලබා දෙන්නේ නම් මාස තුනක් ඇතුළත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී සිදුවන වංචා සියල්ල නවතා නව තාක්ෂණය යටතේ පුද්ගල හඳුනා ගැනීම් සියල්ල අවසන් කිරීමට හැකිව තිබෙනවා’’ යැයි ද සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor