අධිකරණ නියෝගයක් ලැබුණොත් පළාත් ඡන්දයට සීමා නිර්ණය අදාළ නෑ

අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් සීමා නිර්ණය කටයුතු නොතකා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කාර හිටපු ප්‍රධාන අමාත්‍යවරු කියා සිටියහ. එම නිසා පළාත් සභා මැතිවරණය වහාම පත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස දෙවන දා විභාගයට ගැනීමට නියම කළේය.

Recommended For You

About the Author: Editor