මෝදිගේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනය 58/ 01යි: ලංකාවේ පළාත් 09ට ආණ්ඩුකාර පදවි 2යි

ඉන්දියාවේ මුස්ලිම් ජනගහණය මිලියන 1200/180යි: පාර්ලිමේන්තු නියෝජනය 542/26යි

ලෝකයේ බොහෝ රටවල සුළුජනතාවගේ ජනගහන වර්ධනය සහ ඔවුන් දේශපාලනය තුළ උසුලන භූමිකාව සම්බන්ධයෙන් දැඩි විවාදයක් පවතිනවා. ලංකාවේ තත්ත්වය ගතහොත් මිලියන 22ක් වන සමස්ත ජනගහනයෙන් මිලියන 2ක් පමණ වන මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව පාර්ලිමේන්තු නියෝජනය / කැබිනට් මණ්ඩල නියෝජන ඉහළ බවයි පෙනී යන්නේ.

ඒ තත්ත්වය තව දුරටත් පැහැදිලි කළහොත් මේ වන විට දැඩි දේශපාලන ආන්දෝලනයකට ලක්ව ඇති බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනාම උදාහරණයට ගත හැකියි.

ශ‍්‍රී ලංකාවේ ගණනින් 9ක් වන පළාත් සභාවලින් 02ක ම ආණ්ඩුකාර ධුරය දරන්නේ මුස්ලිම් ජාතිකයින්. ඒ අති බහුතරය සිංහල බෞද්ධයින් ජීවත් වන බස්නාහිර (අසාත් සාලි) සහ ප‍්‍රධාන ජන වර්ග තුනේම සම ප‍්‍රතිශතයක් ඇති නැගෙනහිර පළාත (එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා) තුළයි.

කැබිනට් මණඩලය ගත් විටත් ප‍්‍රධාන කැබිනට් අමාත්‍යධුර කිහිපයක් මුස්ලිම් ජාතිකයින්ට ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. එහෙත් මෙය වත්මන් ආණ්ඩුව තුළ පමණක් සිදුවූ තනි සිදුවීමක් නොවෙයි. 1947 සිටම පැහැදිලිවම මේ තත්ත්වය දැකගත හැකියි.

ඉන්දියාවේ තත්ත්වය

ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ව්‍යාප්තිය සහ වර්ධනය සිදුවන්නේ ව්‍යාපාරිකයින් ලෙස සංක‍්‍රමණය වූ ජනවර්ගයක් වශයෙන් පමණක් බවයි පැහැදිලිව පෙනී යන්නේ. ඒ නිසා මීට සියවස් ගණනාවකට පෙර ‘‘වෙළෙන්ඳන්’’ වශයෙන් සංක‍්‍රමණය වූ පසුව රට පුරා විසිරී ජීවත් වන මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සිංහල බෞද්ධ ජනතාව තුළ ඇත්තේම නැති තරම්.
එහෙත් ඉන්දියා තුළ මුස්ලිම් ආගමේ ව්‍යාප්තිය සිදුවන්නේ සම්පූර්ණයෙන්ම ‘‘ආක‍්‍රමණශීලී’’ මුහුණුවරකින් බවයි ඉතිහාඥයෝ පෙන්වා දෙන්නේ. 14 වැනි සියවස වන විට වේගයෙන් සිදු වූ ඉස්ලාම් ආක‍්‍රමණ අවසානයේ දැවැන්ත අධිරාජ්‍යයක් (මහා අක්බාර්) බවට පත්වන අතර සියවස් ගණනක් පුරා, බි‍්‍රතාන්‍යයට සම්පූර්ණයෙන් යටත් වන කාලය දක්වා ඉස්ලාම් ආධිපත්‍ය ඉන්දියාව තුළ ප‍්‍රබල ආකාරයෙන් ක‍්‍රියාත්මක වුණා.

මේ තත්ත්වය බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදයෙන් මිදීම සමග තවත් තීව‍්‍රර වුණේ සමස්ත ඉන්දියාව ප‍්‍රධාන වශයෙන් ආගමික වශයෙන් කොටස් තුනකට කැඞීම සමගයි. බටහිර දෙසින් පාකිස්ථානයත්, නැගෙනහිර දෙසින් බංග්ලාදේශයත් බිහි වූ අතර උතුරේ කාශ්මීරය ද යටත් විජිතවාදීන් විසින් නිර්මාණය කළ බරපතළ ගැටලූවක්.

මේ තත්ත්වය තුළ ඉන්දියාවේ වර්තමානය දක්වාම ‘‘හින්දු – ඉස්ලාම්’’ ආගමික ගැටුම දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

ඒත් ප‍්‍රශ්නය වන්නේ ඉස්ලාම් භක්තිකයින් යනු ඉන්දියාව සැමදා මුහුණ දුන් යථාර්ථයක් වීමයි. මිලියන 1200ක් පමණ වන ඉන්දීය ජනගහණයෙන් මිලියන 190ක් මුස්ලිම් ජාතිකයින්. ඒ නිසා ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් ඇති රාජ්‍ය අතරින් ඉන්දියාව පසුපසින් සිටින්නේ ඉන්දුනීසියාවට සහ අසල්වැසි පාකිස්ථානයට පමණයි.

දේශපාලන ආධිපත්‍ය

ඒත් මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට ලංකාව තුළ මුස්ලිම් ජනතාව උසුලන සුහද පිළිගැනීම හෝ අවම පීඩනය ඉන්දියාව තුළ ඔවුන්ට නැහැ. විශේෂයෙන් දේශපාලනයේදී මුස්ලිම් ජනතාවට සැලකිය යුතු නියෝජනයක් හිමි නොවන බවයි පැහැදිලිව පෙනී යන්නේ.

මේ තත්ත්වය 2019 මහ මැතිවරණයෙන් දැවැන්ත ජයග‍්‍රහණයක් ලැබූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය තුළ මෙන්ම ලෝක් සභාව තුළ ද කැපී පෙනෙන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

2019 මහ මැතිවරණයෙන් මිලියන 180ක් පමණ නියෝජනය කරන මුස්ලිම් ජනතාව වෙනුවෙන් තේරී පත්ව ඇත්තේ මන්ත‍්‍රීවරු 26 දෙනකු බවයි ඉන්දිය වාර්තා සඳහන් කරන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මුස්ලිම් අපේක්ෂකයින් 07 දෙනාම පරාජයට පත්වීමයි. භාරතීය ජනතා පක්ෂය රට පුරා දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිද්දී මෙවැනි තත්ත්වයක් සිදුවීම සුවිශේෂයි.

මේ තත්ත්වය හින්දුවාදී භාරතීය ජනතා පක්ෂයට පමණක් සීමා වූ තත්ත්වයක් නොවෙයි. කොන්ග‍්‍රස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මුස්ලිම් අපේක්ෂකයින් 30 දෙනාගෙන් ජයග‍්‍රහණය කළේ 04 දෙනෙක් පමණයි.

මෙම මැතිවරණ ප‍්‍රතිඵල සහ පසුගිය 40 වසරක මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරන දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ පසුගිය දශක 04 තුළ ඉන්දිය දේශපාලනයේ (ලෝක් සභාවේ) මුස්ලිම් නියෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

ඔවුන්ට අනුව 1981දී මිලියන 68ක් වූ මුස්ලිම් ජනතාව මේ වන විට මිලියන 180 දක්වා විශාල ලෙස වර්ධනය වෙලා තිබුණත් ලෝක් සභා නියෝජනය 49 සිට 26 දක්වා අඩු වෙලා තිබෙනවා. 2014 වසරේදී ලෝක් සභාවට පත්වූ මුස්ලිම් නියෝජිතයින් සංඛ්‍යාව වූ 22 2019 දී 26 දක්වා සුළු වර්ධනයක් ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. එහෙත් එය කිසිසේත් නොසැලකිය යුතු තරමේ වර්ධනයක් බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

කැබිනට් මණ්ඩලයට තුළ

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය 58ක් වෙනවා. ඒ තුළ කැබිනට් ඇමැති ධූරයකට හිමිකම් කියන්නේ එකම එක මුස්ලිම් ජාතිකයෙක් පමණක් වීම සුවිශේෂ තත්ත්වයක්.

භාරතීය ජනතා පක්ෂයේ දීර්ඝ කාලීන ක‍්‍රියාකාරිකයෙකු වන ‘‘මුක්තාර් අබිබාස් නාක්වි’’ ට ‘‘සුළුජන කොටස් පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය’’ හිමිව තිබෙනවා. ඔහු මෝදිගේ පසුගිය රජයේ ද කැබිනට් නොවන අමාත්‍යවරයෙක් වීම විශේෂත්වයක්.

කාන්තාවන්ට හිමි තැන

මේ සමග ඉන්දීය පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට හිමි තැන ගැනත් සාකච්ඡුාවක් ඉන්දියාව තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. ඉන්දිරා ගාන්ධි, සෝනියා ගාන්ධි, ජයලලිතා, මායාවතී ආදි දැවැන්ත දේශපාලන චරිතවලට ඉන්දියාව හිමිකම් කීවත් දේශපාලන භූමිකාව තුළ කාන්තා භූමිකාව තවමත් පවතින්නේ නොසැලකිය යුතු අගයක බවයි ඉන්දීය කාන්තාවන් පෙන්වා දෙන්නේ.

2019 මහ මැතිවරණයේදී ඉන්දිය ලෝක් සභාවට කාන්තාවන් 77 දෙනෙක් තේරී පත්ව සිටිනවා. එම අගය 2014ට වඩා ඉහළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෝදිගේ නව කැබිනට් මණ්ඩලය තුළ කාන්තාවන් 03කට නියෝජනය හිමිව ඇති අතර අමාත්‍යධූරවලින් පිදුම් ලැබූ කාන්තාවන් ගණන තිදෙනෙක්.

ඉන්දිය කාන්තා ක‍්‍රියාකාරිනියන් පවසන්නේ මෙය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන ප‍්‍රතිශතයක් බවයි.

ඉන්දීය කැබිනට් මණ්ඩලය ගැන සඳහනේදී තවත් සුවිශේෂ කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ පසුගිය මෝදි රජයේ බලවත් කැබිනට් අමාත්‍ය ධුරයක් වූ විදේශ අමාත්‍යවරිය වූ සුෂ්මා ස්වරාජ්ට මෙවර අමාත්‍ය ධුරයක් හිමි නොවූ අතර කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය වූ මේනකා ගාන්ධිට ද මෙවර ඇමැතිකමක් හිමි නොවීම විශේෂත්වයක්.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor