සාලි – හිබුල්ලා ගැන ජනපති තීරණයක් ගනී ? රිෂාඞ් ගැන එජාපය තුළ ප‍්‍රබල බෙදීමක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අසාත් සාලි මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සාලි මහතා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

එහෙත් දිගින් දිගටම එල්ල වන දැඩි දේශපාලන පීඩනය හමුවේ ඔහුට ද අද දිනය තුළ හදිසි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස එජාපය තුළින් දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගතහොත් ඊට පක්ෂව ඡුන්දය භාවිත කරන බවට එජාපයේ කිහිප දෙනකුම ආරම්භයේදී ප‍්‍රකාශ කර තිබුණි. මේ වන විට එම පිරිස තවත් පුළුල් වෙමින් තිබෙන බව ද වාර්තා වේ.

අසාත් සාලි, හිස්බුල්ලා සහ ඇමැති රිෂාඞ් බදුර්දීන් වහාම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමියන් පසුගිය 31 වැනිදා ශ‍්‍රී දළඳා මාළිඟය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය සිදුවන දිනටත් යෙදී ඇති අතර රතන හිමියන්ට සහයෝගය පළ කරමින් රට පුරා උපවාස රැසක් මේ වන විට ආරම්භ වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ එජාපය සහ ජනපතිවරයා දැඩි තීරණයක් නොගතහොත් එය ඔවුන් දෙදෙනාගේම දේශපාලන අනාගතය කෙරෙහි දැඩි බලපෑමක් කරනු ඇති බවයි.

Recommended For You

About the Author: Editor