බෝසත් ළමා කතා 03 – චුල්ලසෙට්ඨි ජාතකය

කතාව : තුෂාල් විතානගේ / චිත‍්‍ර :

අප සම්මා සම්බුදු බුදුරාජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කළ සමයක ‘‘නිසා’’ නම් ජීවකයින්ගේ අඹ වනයේදී ‘‘චුල්ලපන්ථක’’ ස්ථවීරයන් වහන්සේ අරභයා මෙම ජාතික කතාව දේශනා කළ සේක…

බුදු රජාණන් වහන්සේ දස පාරමිතා පුරන එක්තරා බෝධිසත්ව ආත්මයක බරණැස් නුවර සිටු කුලයක උපත ලැබුවා. මාපියන් විසින් මේ පුංචි කුමාරයාට ‘‘චුල්ලසෙට්ඨි’’ යන නම තැබුවා. චුල්ලසෙට්ටි සිටු කුමාරයා නිසි පරිදි ශිල්ප ශාස්ත‍්‍ර හදාරා නිසි වයසට පැමිණ බ‍්‍රහ්මදත්ත රජුගේ රාජ සභාවේ සේවයට එක් වුණා.
චුල්ලසෙට්ඨි සිටුතුමා මහා නුවණැතියෙක් ලෙස මුළු බරණැස් නුවරම ප‍්‍රසිද්ධියට පත්ව සිටියා. ඒ වගේම මහා නුවණක්කාරයෙක් වූ චුල්ලසෙට්ඨි සිටුතුමා නැකැත් ශාස්ත‍්‍රය සහ නිමිති ශාස්ත‍්‍රය ගැන කෙළ පැමිණ සිටියා. මේ නිසා එතුමාගේ කීර්තිය මුළු දඹදිව පුරාම ප‍්‍රචලිත වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ.
දවසක් උදෑසන චුල්ලසෙට්ඨි සිටුතුමා රාජ්‍ය සේවය සඳහා රජ මාළිඟාවට යමින් සිටියා. මෙහෙම යන අතර මගදී පාර අසල මැරී වැටී සිටි මී කුණක් දැක්කා. මී කුණ දුටු සිටුතුමා නැකැත් ශාස්ත‍්‍රය හා නිමිති ශාස්ත‍්‍රය පිිළිබඳ තම දැනුම අනුව අනාවැකියක් කිව්වා.
‘‘නුවණින් කටයුතු කරන උත්සාහවන්ත පුද්ගලයෙක් මේ මීකුණ ගෙන ගොස් වෙළෙඳාම් කළේ නම් ඔහුට එමගින් විශාල ධනයක් උපයා ගෙන බරණැස් පුරයේ මහා සිටුවරයා බවට පත්වීමට වාසනාව තිබෙනවා’’
සිටුතුමා කී අනාවැකිය ඒ අසල බිම කොටමින් සිටි දුගී මිනිසෙකුට ඇසුණා. සිටුතුමා ගැන හොඳින් දැන සිටි මේ මිනිසා වහාම තමා කරමින් සිටි කටයුත්ත නතර කර පාරට පැමිණ මීකුණ දෙස බැලූවා.
‘‘අද උදෑසන කපුටන්ගේ ප‍්‍රහාරයට ලක් වූ මීයෙක්නේ මේ මැරී වැටී සිටින්නේ. ඒත් පණ ගිහින් තිබෙන්නේ නම් මේ දැන් වාගේ. ඇයි සිටුතුමා අර වගේ කතාවක් කිව්වේ. කාටද පුළුවන් මේ මීකුණ විකුණන්න. එහෙම කළොත් නගර වැසියෝ, හිත මිතුරෝ මොනවා නොකියයිද? විලිලැජ්ඡුාවේ බැහැ’’
ඔහු මීකුණ දෙස බලමින් කල්පනා කළා. ඒත් කළ යුතු කිසිවක් සිහිපත් වුණේ නැහැ.
‘‘ඒත් සිටුතුමා කී දෙය කිසිසේත් බොරුවක් විය නොහැකියි. එතුමා කී අනාවැකි සියල්ල කිරි ගහට ඇන්නා වාගේ හරි ගිය බව නගර වැසියෝ කියනවා. මහ රජුත් එතුමට බොහොම කැමැති ඒ නිසා බවයි කියන්නේ’’
දුගී මිනිසා මීකුණ දෙස බලාගෙන තමාටම කියා ගත්තා. එහෙත් එය අතට ගැනීමට පවා ඔහුට සිත එකඟ කර ගැනීමට අසීරු වුණා.
මෙසේ කල්පනා කරමින් බොහෝ වෙලාවක් මීකුණ ලෙස බලා සිටි ඔහු අවසානයේදී අසල තිබූ කුඩා රෙදි කඩක් ගෙන මීකුණ එහි ඔතා ගත්තා. ඒ සමග තමා කළ දේ කිසිවෙකු දුටුවා දැයි වටපිට බලමින් විමසා බැලූවා.
‘‘කිසිවෙක් මා කළ දේ දැක්කේ නැහැ. එනිසා මෙයින් මට අගතියක් වෙන්නේ නැහැ. බලමු සිටුතුමා කී අනාවැකිය සැබෑවක් ද කියලා’’
තමාටම කියාගත් මේ දුගී මිනිසා කරමින් සිටි කටයුත්ත කඩිනමින් අවසන් කර නිවස බලා යාමට පිටත් වුණා.
ඔහු මීකුණත් ඔතාගෙන නිවස බලා යමින් සිටියදී කඩපොළ අසලට පැමිණියා. එහිදී තම වෙළෙඳසැල ඉදිරිපිටට වී පාර දෙස බලා සිටින මිනිසෙක් ඔහුට දකින්නට ලැබුණා. ඔහු ඒ වෙළෙඳසැලේ හිමිකරුයි.
‘‘ඒයි යාළුවා, ටිකකට මෙහාට එන්න පුළුවන් ද ?’’ ඒ වෙළෙන්ඳා දුගී මිනිසාට කතා කළා.
‘‘ඇයි, ඔබට කුමක් හෝ උපකාරයක් අවශ්‍යද ?’’ ඔහු විමසුවා.
‘‘ඔව්, මම බොහෝ වෙලාවක සිට පාර බලා සිටින්නේ දකුණු වාසල අසල මස් කඩයට ගිය මගේ සේවකයා එනතෙක්. නමුත් බොහෝ වෙලාවක් ගත වුණත් ඔහු පැමිණියේ නැහැ’’ වෙළෙන්ඳා කිව්වා.
‘‘ඉතිං ඔබ මගෙන් බලාපොරොත්තු වන උපකාරය කුමක්ද ? කළ හැකි යමක් තිබෙනවා නම් මම එය ඉටුකර දෙන්නම්. අද දිනය පුරා මට කිසිවක් උපයා ගැනීමට නොහැකි වුණා’’ දුගී මිනිසා කිව්වා.
‘‘මගේ කුඩා දියණියට ගන්ධාරයෙන් ගෙන සුරතල් බළලෙක් සිටිනවා. ඊයේ රාත‍්‍රියේ සිට ඌ කුසගින්නේ. ඒ සතා මස් හැර අන් දෙයක් කෑමට ගන්නේ නැහැ’’
‘‘ඉතිං’’
‘‘ඔබට හැකිද මස් වෙළෙඳසැලට ගොස් මට මස් ස්වල්පයක් රැුගෙන එන්න ? ඒ සඳහා ගාස්තුව මා ගෙවන්නම්’’
ඔහු එසේ කියමින් යළිත් පාර දෙස බැලූවා. එවිට ඔහු හතිදමමින් පැමිණෙන තම සේවකයාව දුටුවා.
‘‘ආ, අන්න ඔහු පැමිණෙනවා. එසේ නම් මට ඔබගේ සේවය අවශ්‍ය වන්නේ නැහැ. කරදර කළාට කනගාටුයි. මට සමාවෙන්න’’ වෙළෙන්ඳා කිව්වා.
තමා අසලටම පැමිණි වාසනාව අහිමි වීම ගැන කනගාටුවට පත් දුගී මිනිසා කණස්සල්ලෙන් එතැනින් පිට වුණා.
ඒත් ඔහුට වැඩි දුරක් යාමට හැකි වුණේ නැහැ. වෙළෙන්ඳා ඔහු පසු පස දුවගෙන ආවා.
‘‘යාළුවා, ටිකක් නතර වෙන්න පුළුවන්ද ?’’ වෙළෙන්ඳා කෑ ගසා ඇසුවා.
‘‘ඇයි ඔබට යළිත් කුමක්ද වුවමනා කරන්නේ ? ඇයි මා වැනි දුගී මිනිසෙක්ට මේ තරම් කරදර කරන්නේ ? මා ඔබට කළ වරද කුමක්ද ?’’ දුගී මිනිසා සිටි තැනම සිටිමින් ප‍්‍රශ්න කළා.
ඔහු ළඟට පැමිණි වෙළෙන්ඳා බොහොම හිතවත් ආකාරයෙන් කතා කළා.
‘‘යාළුවා මාව පත්වෙලා තිබෙන්නේ එසේ මෙසේ කරදරයකට නොවෙයි. මගේ සේවකයා පැමිණ තිබෙන්නේ හිස් අතින්. ඔහුට නගරයේ කිසිම තැනකින් මස් ස්වල්පයක් හෝ සොයා ගැනීමට හැකි වෙලා නැහැ. ඉතිං මම කොහොමද හිස් අතින් ගෙදර යන්නේ ? මගේ කුඩා දියණිය බොහොම දුකට පත් වෙයි’’ වෙළෙන්ඳා මැසිවිලි ස්වරයෙන් කිව්වා.
දුගී මිනිසා කිසිවක් නොකියා කල්පනාකාරීව වෙළෙන්ඳා දෙස බලා සිටියා.
‘‘අනේ යාළුවා, මට මොනවා හරි මස් ටිකක් හොයලා දෙන්න පුළුවන් ද ? මම ඔබට වැඩියෙන් වුණත් ගෙවන්නම්. මට හිස් අතින් නිවසට යා නොහැකියි. අනේ කරුණාකරලා මට උපකාර කරන්න. එය ඔබට කළ හැකි බව මට විශ්වාසයි’’ වෙළෙන්ඳා බැගෑපත් වුණා.
‘‘හොඳයි, මට ස්වල්ප වේලාවක් දෙන්න. ඔබගේ දියණියගේ ගන්ධාර බළලට ලොව රසවත්ම ආහාරය මම සොයා ගෙනත් දෙන්නම්’’දුගී මිනිසා කල්පනාකාරීව උත්තර දුන්නා.
ඔහුගේ කතාව ඇසූ වෙළෙන්ඳා සතුටට පත් වුණා.
‘‘එසේ නම් හැකි තරම් ඉක්මන් කරන්න. මට තවත් ප‍්‍රමාද විය නොහැකියි’’ වෙළෙන්ඳා යළි කන්නලව් කළා.
‘‘හොඳයි මට ස්වල්ප කාලයක් ලබා දෙන්න. මගේ නිවස තිබෙන්නේ මේ මාර්ගය අවසාන වන තැන වෙල් යාය අසලයි. මම බොහොම ඉක්මනින් ඔබගේ ගන්ධාර බළලාට ඔහු කැමැතිම මස් ගෙනත් දෙන්නම්’’
දුගී මිනිසා තමාට හැකි තරම් ඉක්මනින් තම නිවස බලා ගමන් කළා. ඒ අතර තමා විසින් කළ යුතු දේ ගැන ඔහු සැලසුමක් හදා ගත්තා.
නිවසට ගිය ඔහු තමා විසින් රැුගෙන ආ මීකුණ වෙනත් රෙදිකඩක ඔතා ගත්තා. එයත් රැුගෙන නිවසින් පිටත් වුණා.
ඔහු පැමිණෙන තෙක් වෙළෙන්ඳා නොඉවසිල්ලෙන් යුතුව බලා සිටියා.
‘‘‘මා සිතුවේ ඔබ මාව මුලා කළා කියලා. කෝ ඔබ මස් රැුගෙන ආවද ?’’
‘‘එහෙමයි, බළලූන් ඉතාමත් ප‍්‍රිය කරන මස් වර්ගය මා රැුගෙන ආවා. මෙන්න එය රැුගෙන මට මුදල් ලබා දෙන්න’’
ඔහු මීකුණ වෙළෙන්ඳාට ලබා දුන්නා.
තමාට ලබා දුන් රෙදි කඩ ලිහා බැලූ වෙළෙන්ඳාට එක්වරම ඇති වුණේ කෝපයක්.
‘‘මේ කුමක්ද ? මීකුණක්. මෙය මා කෙසේද ගන්ධාර බළලාට කෑමට දෙන්නේ. ඌ කිසිමදාක මෙවැනි දෙයක් ආහාරයට ගෙන නැහැ’’ වෙළෙන්ඳා කෝපයෙන් කිව්වා.
‘‘මා ඔබට පොරොන්දු වුණේ බළලූන් වඩාත් කැමැතිම රසවත්ම ආහාරය රැුගෙන එන බවයි. බළලූන්ගේ ප‍්‍රියතම ආහාර මීයන් බව නොදන්න කෙනෙක් නැහැ. එය බරණැස් හෝ ගන්ධාර කියා වෙනසක් නැහැ. රජ මාළිඟයේ වෙසෙන බළලූන් පවා රාජ භෝජනවලට වඩා මීයන්ට ප‍්‍රිය කරන බව අපි සියලූ දෙනාම දන්නවා’’ දුගී මිනිසා තම සේවාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.
‘‘හොඳයි මට හොඳටම ප‍්‍රමාද වන නිසා මා මෙය රැුගෙන යනවා. ඔබත් මා සමග මගේ නිවසට ආ යුතුයි. එවිට ඔබටම ඇත්ත නැත්ත දැක බලා ගත හැකියිනේ’’
‘‘හොඳයි, මා එන්නම්. ඔබගේ ගන්ධාර බළලා මෙය ප‍්‍රතික්ෂේප කළහොත් මට කිසිඳු මුදලක් අවශ්‍ය නැහැ. ඒත් ඌ මෙය ආහාරයට ගතහොත් ඔබ මට ප‍්‍රමාණවත් මුදලක් ගෙවිය යුතුයි’’
වෙළෙන්ඳා දුගී මිනිසාට යෝජනාවට එකඟ වෙලා ඔහුත් සමග නිවසට ගියා.
ඔවුන් නිවසට යන විට වෙළෙන්ඳාගේ කුඩා දියණිය තම සුරතල් බළලාව තුරුළු කරගෙන හඬමින් සිටියා. ඇය දුටු විට වෙළෙන්ඳාට වගේම දුගී මිනිසාටත් කණගාටුවක් ඇති වුණා.
‘‘දැන් ඔය ඇඬුවා ඇතිනේ දුවේ. කෝ මෙහාට ගේනන ඔය බළලාව’’ වෙළෙන්ඳා කිව්වා.
ඔහුගේ කුඩා දියණියගේ ඇස් ප‍්‍රීතියෙන් පිනා ගියා. ඇය වහාම තම සුරතල් බළලා පියා වෙත රැුගෙන ආවා.
වෙළෙන්ඳා රෙදි කඩෙන් ඔතා තිබූ මීකුණ බළලා ළඟින් තැබුවා. මොහොතක් ඒ දෙස බලා සිටි බළලා නුහුරු ආකාරයෙන් තම හාම්පුතාගේ සහ මිතුරියගේ මුහුණු දෙස බැලූවා.
‘‘පේනවා නේද යාළුවා. මේ බළලා මීකුණක් කනවා තියා ඒ දෙස බලන්නෙවත් නැහැ. නුඹ මා රැුවටුවා වාගේම මාව දැඩි අපහසුතාවකට පත් කළා. දැන් ඉතිං නුඹට පිටව යා හැකියි. මගෙන් කිසිවක් ලැබෙන්නේ නැහැ’’ වෙළෙන්ඳා කෝපයෙන් කිව්වා.
දුගී මිනිසා මොහොතක් බළලා දෙස බලා සිටියා.
‘‘ඔබ ඔය ආකාරයෙන් කතා නොකළ යුතුයි. මොහොතක් ඉන්න. මම එය කර පෙන්වන්නම්’’
දුගී මිනිසා මීකුණ ගෙන බළලාගේ නාසය අසලින් අල්ලා ගෙන සිටියා. මෙවර බළලා එය ඉව කළා. ඒ අතරේ බළලාගේ ඇස් පළල් වුණා. තවත් මොහොතක් හෝ පමා නොවුණ ගන්ධාර බළලා වහාම මීකුණ ඩැහැගෙන අසල තිබූ පුටුවක් යටට රිංගා ගත්තා.
‘‘මා පැවසුවේ සත්‍යයක් කියලා ඔබට වැටහෙනවා නේද ? ඔබ මාව ප‍්‍රමාද කළා. ඒ වගේම මට සමච්චල් කළා. ඒ නිසා ඔබට සැලකිය යුතු මුදලක් ගෙවීමට සිදුවන බව සිතන්න’’ දුගී මිනිසා වෙළෙන්ඳා දෙස බලමින් කිව්වා.
ප‍්‍රීතියෙන් සිටින තම සුරතල් දියණිය දෙස මොහොතක් බලා සිටි වෙළෙන්ඳා තම පසුමිබ්ය අතට ගත්තා.
‘‘හොඳයි… ඔබ බොහොම දක්ෂ, ඒ වගේම නුවණක්කාර අයෙක් ලෙස මට පෙනෙනවා. ඒ වගේම ඔබ තුළ සූර වෙළෙන්ඳෙක් ද සිටිනවා. ඒ නිසා මේ ලෝකයේ මීකුණක් වෙනුවෙන් ගෙවු ඉහළම මිල අද මා ඔබට ගෙවනවා’’
දුගී මිනිසාව බොහෝ වර්ණනා කළ වෙළෙන්ඳා ඔහුට අලූත්ම අලූත් රන් කහවනුවක් දුන්නා.
‘‘මෙය ඔබගේ සේවයට හා භාණ්ඩයට වඩා බොහෝ වටිනා බව මා දන්නවා. මා මෙය ලබා දෙන්නේ ඔබේ මීකුණටත් සේවයටත් වඩා ඔබ තුළ සිටින සූර වෙළෙන්ඳා වෙනුවෙනුයි. මේ ලෝකේ මීකුණක් අලෙවි කළ පළමු මිනිසා ඔබ වෙනවා පමණක් නොව ඒ අත්දැකීම හරහා තවත් බොහෝ දේ උපයා ගන්නා අයෙක් බවටත් පත් වෙන බව සහතිකයි’’
වෙළෙන්ඳාගේ ඉල්ලීම පරිදි දිවා ආහාරය ලබා ගත් දුගී මිනිසා බොහොම සතුටින් වෙළෙන්ඳාගේ නිවසින් පිටත්ව ගියා. තමා විසින් ජීවිතයේ ප‍්‍රථම වතාවට කළ වෙළෙඳාම ගැන සේම වෙළෙන්ඳා කළ වර්ණනාව ගැනත් දුගී මිනිසා තුළ විශාල සතුටක් වාගේම අභිමානයකුත් ඇති වුණා. ඔහුට දැනුණේ තමා තුළ මෙතෙක් කාලයක් පැවැති අදෘශ්‍යමාන ශක්තියක් හඳුනා ගත්තා වැනි හැඟීමක්.
‘‘එසේ නම් මම චුල්ලසෙට්ටි සිටුතුමාගේ අනාවැකිය සැබෑ කළා. මගේ ජීවිත කාලය තුළ මා උපයා ගත් වැඩිම මුදල අද මා උපයා ගත්තා. ඒ මුදලක් සමග දුන්නත් කිසිවෙක් විසින් ලබා නොගන්න මීකුණකින්. මීකුණක් වෙනුවෙන් රන් කහවනුවක් උපයා ගත් මේ බරණැස් පුරයේ එකම වෙළෙන්ඳා බවට මා පත් වුණා’’ දුගී මිනිසා තමාටම කියා ගත්තා.
බොහෝ කාලයකින් ලැබුණු රසවත්ම ආහාර වේලකින් ද කුස පුරවා ගෙන සිටි දුගී මිනිසා මඟ අසල තිබූ අම්බලමකට වී තවත් ස්වල්ප වේලාවක් කල්පනා කරමින් සිටියා.
‘‘මා මේ රන් කහවනුව උපයා ගත්තේ වංචා කිරීමකින් හෝ කපටිකමින් නොවෙයි. මීකුණ නිකන් ලැබුණත්, චුල්ලසෙට්ටි සිටුතුමාගේ අනාවැකිය නොමිලේ ඇසුණත් එතැන් සිට සිදු වූ සෑම දෙයක් වෙනුවෙන්ම මම මගේ කාලය සහ හැකියාවන් වැය කළා. ඒ නිසා මේ රන් කහවනුව තුළ මගේ ශ‍්‍රමය වාගේම දැනුමත් තිබෙනවා. මා මෙය කිසිසේත්ම නිකරුණේ වැය නොකළ යුතුයි. ආහාර හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා වැය නොකළ යුතුයි. මෙය සැලකිය යුතු වන්නේ තවත් රන් කහවනු උපයා ගැනීම වෙනුවෙන් රෝපණය කළ යුතු බීජයක් වශයෙනුයි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් වගේම මහන්සියෙන් මම මේ රන් කහවනුව රෝපණය කළ යුතුයි. එයින් තව තවත් රන් කහවනු උපයා ගත යුතුයි’’ දුගී මිනිසා අවසාන තීන්දුවට පැමිණෙමින් තමාටම අවධාරණය කර ගත්තා.
දුගී මිනිසාට මෙවැනි කල්පනාවක් ඇති වීමට හේතු රැුසක් තිබුණා. ඒ ඔහු මීට බොහෝ කාලයකට පෙර තක්සලා නුවර දිසාපාමොක්තුමන් යටතේ ශිල්ප හැදෑරු සිටු කුමාරයෙක් වූ නිසයි. ඒත් ඔහු දිසාපාමොක්තුමා ළඟ ශිල්ප හදාරා යළි තම දෙමාපියන් වෙත පැමිණෙන විට ඔවුන් අන්ත දිළින්ඳන් බවට පත්ව සිටියා. ඊට හේතුව වුණේ සිටුතුමා ¥කෙළියට සහ මද්‍ය පානයට යොමුවීම නිසා සියලූම ධනය විනාශවී යාමයි.
යළි මාපියන් වෙත පැමිණි ඔහුට සිදු වුණේ අන්ත දිළින්දෙක් ලෙස ජීවත් වීමටයි. තක්සලාවෙන් ලබා ගත් ශිල්ප ශාස්ත‍්‍රවලට සුදුසු රැුකියාවක් ඔහුට සොයා ගැනීමට නොහැකි වුණේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීමට තරම් වත්කමක් ඔහුට නොවුණ නිසයි. මාපිය උරුමයෙන් සහ තක්සලාවෙන් ලැබුණු ව්‍යාපාරික ඥානයෙන් පළක් ගැනීමට ඔහුට අවස්ථාවක් හිමි වුණේ නැහැ. අවසානයේ තක්සලා නුවර ශිල්ප හැදෑරු සිටු පුත‍්‍රයාට තම දිළිඳු මාපියන් පෝෂණය කිරීම සඳහා ධනය උපයන්න සිදු වුණේ බැරණැස් පුරයට පැමිණ කුලීකරුවෙක් ලෙස වැඩ කිරීමෙන් පමණයි.
ඉර මුදුන් වී හෝරාවක් පමණ ගත වන විට දුගී මිනිසා අලූතින් ආරම්භ කළ යුතු ඉදිරි වැඩපිළිවෙළක් ඇතිව ඉක්මන් ගමනින් යළි වෙළෙඳපොළ වෙත පැමිණියා.
‘‘මා අද දින සිට අලූතින් ජීවිතය ආරම්භ කළ යුතුයි. නැවත කුලීකාරයෙක් වීම සිදු නොවිය යුතුයි. මගේ පරපුරම සිටුවරුන්. ඔවුන් සූර වෙළෙඳුන්. ඒ නිසා මේ රන් කහවනුව යෙදවිය යුත්තේ වෙළෙඳාම සඳහා පමණයි. එය ඉතාම කුඩා මුදලකින් ආරම්භ කරන නිසා තරඟයක් ඇති ව්‍යාපාරයක් ද නොවිය යුතුයි. වැය කරන මුදලින් වැඩි ලාභයක් ලබන වෙළෙඳාමක් ද විය යුතුයි. සාධාරණ වෙළෙඳාමක් විය යුතුයි’’
මේ ආකාරයෙන් කල්පනා කරමින් වෙළෙඳපොළ වටා ගිය දුගී මිනිසා උක් සකුරු විකුණන වෙළෙඳසැලක් අසල නතර වුණා. එහි උක් සකුරු සහ තවත් රසවත් කෑම වර්ග රැුසක් විකිණීමට තබා තිබුණා.
උක් සකුරු වෙළෙන්ඳා සමග කේවල් කිරීමෙන් පසු උක් සකුරු සහ උක් පැණි යොදා සකස් කළ කැවුම් කිහිපයක් මිලදී ගත් ඔහු පසුව වළං කඩයකට ගොස් නැවුම් කළයක් සහ කෝප්ප කිහිපයක් ද මිලදී ගත්තා.

‘‘නුඹ මොකද කවදාවත් නැති කලබලයකින් ?’’ වළං වෙළෙන්ඳා දුගී මිනිසාගෙන් ඇසුවා.
වළං වෙළෙන්ඳාට සිනාවකින් සංග‍්‍රහ කළ ඔහු ඉක්මන් ගමනින් කැලය අසල මාර්ගය වෙත ගමන් කළා.
කැලය අසල මාර්ගයේ පහසු තැනක මැස්සක් අටවා ගත් දුගී මිනිසා ඒ මත නැවුම් පැන් කළය තබා ඉඳ ගැනීම සඳහා තවත් මැසි කිහිපයක් ද ඉදිකළා. ඊට පසුව අවට පරිසරය පවිත‍්‍ර කර මදක් විවේක ගත්තා. මේ අතර කැලයෙන් මල් නෙළාගත් මාලාකාරියන් එකා දෙන්නා මාර්ගය දිගේ පැමිණෙන්න පටන් ගත්තා.
තමන් වසර ගණනාවක් ගමන් කළ මාර්ගයේ සිදුවී තිබූ වෙනස දුටු මාලාකාරියන් පුදුමයට පත් වුණා. එනිසා සිදුව ඇත්තේ කුමක් දැයි විමසා බලන්න ඔවුන් අලූත් වෙළෙඳසැල අසලට පැමිණියා.
‘‘මේ මොකක්ද ? නුඹ කවුද ?’’ කටකාර මාලාකාරියක් ඇසුවා.
‘‘මම අලූත් වෙළෙන්ඳෙක්. නුඹලා වෙනුවෙන් තමයි මේ වෙළෙඳසැල ආරම්භ කළේ. එන්න, ඇවිත් මේ නැවුම් පැන් බී විඩා නිවා ගන්න’’ දුගී මිනිසා මාලාකාරියන් දෙදෙනාට ආරාධනා කළා.
සතුටත් කුතුහලයත් මුසු හැඟීමෙන් මාලාකාරියන් දෙදෙනා අලූත් වෙළෙඳසැල අසලට ආවා.
‘‘නුඹ නම් අගේ ඇති වෙළෙන්දෙක්. මල් කඩන්න මේ කැලේට එන අපි ළඟ මුදල් කොයින්ද ? ණයට තමා බඩු ගන්න වෙන්නේ’’ කටකාර මාලාකාරිය පැවසුවා.
‘‘ඒ ගැන බිය විය යුතු නැහැ. උක් සකුරු සමඟ උක් පැණි මුසු කැවුම් කාලා මට මල් ටිකක් දෙන්න. එතකොට ගනුදෙනුව අවසානයි’’ අලූත් වෙළෙන්දා පැවසුවා.
‘‘ඒක නම් අගෙයි. උක් සකුරු යි කැවුමුයි වෙනුවට මල් දෝතක්. ගනුදෙනුව නරකම නැහැ’’
මාලාකාරියන් දෙදෙනා දිය බී උක් සකුරු සමග කැවුම් කෑවා. ඊට පසුව ස්වල්ප වේලාවක් වෙළෙන්ඳා සමග විහිළු තහළු කරමින් සිට පිටත්ව යාමට පෙර ඔවුන් නෙළා ගෙනවිත් තිබුණු මල්වලින් ටිකක් ගාස්තු ලෙස ගෙව්වා.
‘‘නුඹ කළේ පින් ඇති වැඩක්. අපි දිව ගිලෙන පිපාසයෙන් ආවේ. හෙටත් ඇවිත් අපිට උදව් කරන්න’’ මාලාකාරියන් දෙදෙනා වෙළෙන්ඳාට ස්තූති කර පිටත්ව ගියා.
මේ ආකාරයෙන් තවත් මාලාකාරියන් රැුසක් වෙළෙන්ඳාගෙන් උක් සකුරු සමග කැවුම් කා ඔවුට මල්වලින් ගාස්තු ගෙවා පිටත්ව ගියා.
අවසාන මාලාකාරියත් පිටත්ව ගියාට පසු වෙළෙන්ඳා ළඟ මල් කූඩයක්ම එකතු වෙලා තිබුණා. ඉතාම සතුටින් එම මල් කූඩය හිසට ගත් ඔහු තමා දන්නා හඳුනන සිටු මැඳුරකට ගොස් එම මල් විකුණා මුදල් ලබා ගත්තා. එම මුදල ඔහු වැය කළ මුදලට වඩා මදක් වැඩියි. ඔහු තම ලාභය ගැන බොහොම සතුටට පත් වුණා.
‘‘මීකුණට රන් කහවනුවක් ලැබුණා. වෙළෙන්ඳාගේ නිවසින් ඉතාම රසවත් ආහාර වේලක් ලැබුණා. උක් සකුරු සමග කැවුමක් කන්න හැකි වුණා. අවසානයේ උක් සකුරු වෙළෙඳාමෙන් රිදී කාසියක් ලාභත් ලැබුණා. අද දවසෙම මුළු ලාභය සැලකුවහොත් එය රන් කහවනුකුයි රිදී කාසි දෙකක් පමණ විය හැකියි. වෙනදා දවස පුරාම පොළව කොටලා, බඩු ඇදලා වැඩ කළත් මට ලැබුණේ රිදී කාසියක් පමණයි. ඒ නිසා මේ වෙළෙඳාම ඉතාම ලාභදායකයි’’
දවස අවසන් වන විට තම පැල්පත කරා ගිය සකුරු වෙළෙන්ඳා තමාටම කියා ගත්තා.
ඔහු මේ ආකාරයෙන් දින කිහිපයක් මාලාකාරියන්ට උක් සකුරු සමග කැවුම් අලෙවි කළා. ඔවුන්ගෙන් ලබාගත් ගත් මල් සිටු මැඳුරු කිහිපයකට අලෙවි කිරීමෙන් වැය කළ මුදලට වඩා වැඩි මුදලක් උපයා ගත්තා.
මෙසේ සය දිනක් ගත වූ පසු සකුරු වෙළෙන්ඳාට අලූත් කල්පනාවක් ඇති වුණා. ඒ අනුව ඔහු මාලාකාරියන් ළඟටම ගොස් සිසිල් පැන් ලබාදී උක් සකුරු සහ කැවුම් අලෙවි කළා. මේ ගැන මාලාකාරියන් වඩාත් සතුටු වුණා.
‘‘නුඹ අපට බොහොම හිතවත්ව උපකාර කරනවා. ඒ නිසා අපිට වෙනදාට වඩා අඩු වෙහෙසකින් වෙනදාට වඩා කලින් වැඩි මල් ප‍්‍රමාණයක් නෙළා ගන්න පුළුවන් වුණා. ඒ නිසා නුඹ කැමැති නම් මේ ගස්වල ඉතිරි මල් නෙළා ගන්න පුළුවන්. කොච්චර මල් තිබුණත් ඒවා අලෙවි කරගන්න පුළුවන්’’
දිනක් මාලාකාරියන් සකුරු වෙළෙන්ඳාට කිව්වා. ඒ ගැන බොහොම සතුටට පත් වුණ ඔහු මාලාකාරියන් ගිය පසු වෙනදාට වඩා වැඩි මල් ප‍්‍රමාණයක් නෙළා ගත්තා. ඒවා අලෙවි කරලා වෙනදාට වඩා දෙගුණයක ලාභයක් උපයා ගත්තා.
සකුරු වෙළෙන්ඳා මේ ආකාරයෙන් සති දෙකක් ගත වන විට රන් කහවනු අටක් උපයා ගැනීමට සමත් වුණා.
මේ සමගම මල් අවාරය ආරම්භ වුණා. මාලාකාරියන්ට ප‍්‍රමාණවත් තරම් මල් නෙළා ගැනීමට නොහැකි වුණ නිසා ඔහුගේ වෙළෙඳාමට බාධා ඇති වුණා. ඒ නිසා සකුරු වෙළෙන්ඳා අලූත් වෙළෙඳාමක් ගැන කල්පනා කරමින් සිටියා.
‘‘කල්පනා කරලා බලමු. පසුගිය සති දෙකට මට රන් කහවනු අටක් උපයා ගැනීමට හැකියාව ලැබුණා. මීකුණ විකුණා ගත් රන් කහවනුව සමග මා සතුව රන් කහවනු නවයක් තිබෙනවා. එය සැලකිය යුතු ධනයක් නොවුණත් මා වැනි දුගියෙකුට එය මහ මෙරක් වාගේ. එනිසා පසුනොබා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. වංචාකාරයින්ට අසු නොවීමට වගබලා ගත යුතුයි’’
මෙසේ කල්පනා කරමින් සකුරු වෙළෙන්ඳා නින්දට ගියා. ඒ අතර ධාරාණිපාත වර්ෂාවක් ඇති වුණා. ගස් අඹරමින් හැමූ සුළඟින් බරුණැස් නුවරට දැඩි හානියක් වුණා.
පසුදා උදෑසනම අවධි වූ සකුරු වෙළෙන්ඳා දුටුවේ ගස්කොළන් කඩා වැටීමෙන් හානියට පත් නුවරක්. මිනිසුන් තම තමන්ගේ ගෙවතු, නිවාස අලූත්වැඩියා කිරීමට වෙහෙසෙන ආකාරය ඔහු දැක්කා.
‘‘ඊයේ රාත‍්‍රියේ මහ විනාශයක් සිදුවෙලා වාගේ. සෑම තැනකම ගස් ඉදිරි වැටී තිබෙනවා. මෙහෙම විපතක් මා කාලයකින් දැක නැහැ’’
නගරයට සිදුව ඇති හානිය බලමින් ඔහු අරමුණකින් තොරව ගමන් කළා. මේ අතරේ ඔහු රාජකීය උද්‍යානය අසලට පැමිණියා. එහි ගස් බොහොමයක් මුලින් ඉදිරි වැටී තිබූ අතර අතු කඩා වැටීමෙන් තවත් විශාල හානියක් සිදුව තිබුණා.
ඔහු රාජකීය උද්‍යානය අසල රැුදෙමින් එයට සිදුව ඇති විනාශය ගැන කල්පනා කරමින් සිටින විට උද්‍යාන පාලකයා ඔහු අසලට පැමිණියා.
‘‘මිත‍්‍රයා, පේනවා නේද සිදුව තිබෙන විනාශය. මුළු බරණැස් පුරයටම මේ විපත සිදුවෙලා. ඒ නිසා උදව්වටවත් කිසිවෙක් සොයා ගැනීමට නැහැ. ඒත් නුඹට නම් එවැනි විපතක් සිදුව ඇති බවක් පේන්න නැහැ’’ උද්‍යාන පාලකයා සකුරු වෙළෙන්ඳාට කිව්වා.
‘‘මට තිබෙන්නේ ඉතාම කුඩා නිවසක්. එයට තිබෙන්නේ මහ මාර්ගයේ කොණක. එනිසා මට සිදුවිය හැකි විපතක් නැහැ. ඒත් මුළු බරණැස් පුරයම විනාශ වෙලා වාගෙයි පේන්නේ’’ සකුරු වෙළෙන්ඳා කිව්වා.
‘‘ඔව්. මුළු රාජකීය උද්‍යානයම විනාශ වෙලා. මට උදව්වටවත් කිසිවෙක් නැහැ. නුඹට හැකි නම් මට උපකාර කරපන්. මම ඒ වෙනුවට හොඳට ගෙවන්නම්’’ උද්‍යාන පාලකයා කිව්වා.
සුළඟින් කඩා වැටී ඇති ගස් කොළන් දෙස කල්පනාකාරීව බලා සිටි සකුරු වෙළෙන්ඳට අපූරු අදහසක් ඇති වුණා.
‘‘ඔබතුමා මට මුදල් දිය යුතු නැහැ. ඒ වෙනුවට මට මේ කඩා වැටී ඇති ගස් ටික දෙන්න. මම හැකි ඉක්මනින් මුළු උද්‍යානයම සුද්ද කරලා දෙන්නම්’’
උද්‍යාන පාලකයා මේ අදහසට බොහොම කැමැත්තෙන් එකඟ වුණා. ඒ අනුව සකුරු වෙළෙන්ඳා තම මුළු ශක්තියම යොදා උද්‍යානය පිරිසිදු කරන්න පටන් ගත්තා.
ඔහු තනිවම, ඒත් කඩිසරව බොහෝ වේලාවක් වැඩ කළා. ඔහු වෙහෙස වන ආකාරය දුටු උද්‍යාන පාලකයා සහ සහයකයත් උදව්වට පැමිණියා. මේ නිසා දිවා ආහාරය වන විට විශාල වැඩ කොටසක් අවසන් කිරීමට ඔවුන්ට පුළුවන් වුණා.
‘‘මා සිතුවාට වඩා හොඳින් නුඹ කටයුතු කරනවා. දින දෙකක් ගත වන විට මෙය අවසන් කළ හැකි වේවි’’ උද්‍යාන පාලකයා සතුටින් කිව්වා.
‘‘එහෙමයි උද්‍යාන පාලකතුමනි, මා හෙට දිනය අවසන් වීමට පෙර මේ සියලූ කටයුතු අවසන් කර දෙන්නම්’’ සකුරු වෙළෙන්ඳා ස්ථිරසාරව කියා සිටියා.
මේ වන විට නගර වැසියන් බොහෝ දෙනෙක් තමන්ගේ වතුපිටි සුද්ද කර අවසන් කර තිබුණා. කළ යුතු වෙනත් කාර්යයක් නොවුණ නිසා ළමුන් සහ දුගී තරුණයින් පිරිසක් පාර දිගේ නිකරුණේ ගමන් කරමින් සිටියා. තම මිත‍්‍රයින් ද වන මේ පිරිස දුටු සකුරු වෙළෙන්ඳාට අපූරු අදහසක් ඇති වුණා. ඔහු වහාම තරුණයින් හමුවට ගියා.
‘‘ හේයි, කොහෙද මේ කල්ලියම යන්නේ ?’’ සකුරු වෙළෙන්ඳා ඔවුන් හමුවට ගොස් ඇසුවා.
දින ගණනාවකින් නුදුටු තම මිතුරා දුටු තරුණයින්ට සතුටක් ඇති වුණා.
‘‘ආ – චුල්ලත්තේවාසික, නුඹ රාජයකීය උද්‍යානයේ මොනවද කරන්නේ ? අපි සිතුවේ නුඹ බරණැස් පුරය හැරදා ගමට ගිහින් කියලා’’ සුදන්ත නම් තරුණයා ඇසුවා.
‘‘නැහැ මිත‍්‍රයා, මම හිටියේ බරණැස් පුරයේම තමයි. ඒත් මට නුඹලා කිසිවෙක් මුණ ගැසීමට කාලයක් නැති වුණා. ඒකට කමක් නැහැ. මට නුඹලාගේ උපකාරය අවශ්‍යයි’’ සකුරු වෙළෙන්ඳා නැතහොත් චුල්ලත්තේවාසික කිව්වා.
‘‘කුමක්ද ? අපි නුඹට නොකර උපකාරයක් තිබෙනවාද ? කියන්න අපි එය ඉටුකර දෙන්නම්’’ භද්දිය නම් තරුණයා කිව්වා.
‘‘අගෙයි මිතුරනි, මම රාජකීය උද්‍යානය පිරිසිදු කිරීමේ කටයුත්ත භාර ගත්තා. මේ කඩා වැටි ඇති ගස් සහ අතු ඉවත් කර රාජකීය උද්‍යානය පිරිසිදු කිරීමට මට උපකාර කරන්න. මා නුඹලාට දිවා ආහාරය සහ මුදල් ලබා දෙන්නම්’’ චුල්ලත්තේවාසික ඉල්ලා සිටියා.
මිතුරන් පිරිස ඔහු දෙස පුදුමයෙන් වාගේම සැකයෙන් බැලූවා. කුලී වැඩ කරමින් ඉතා දිළිඳු ජීවිතයක් ගත කරන තම මිතුරාට වාසනාව උදාවී ඇතැයි ඔවුන් සිතුවා. ඒත් ඔහුට ඊර්ෂ්‍යා කිරීමට කිසිවෙක් කැමැති වුණේ නැහැ. චුල්ලත්තේවාසික බොහොම ගුණ යහපත් මිනිසෙක් බව ඔවුන් දැන ගෙන සිටියා.
‘‘අපිට නුඹගෙන් මුදල් අවශ්‍ය නැහැ මිත‍්‍රයා. දවස පුරා කිසිම වැඩක් නොලැබුණ නිසා කෑමට යමක් ලැබුණොත් ඇති. අපි නුඹට උපකාර කරන්නම්’’
තම මිතුරන්ගේ උපකාරයෙන් එදින සැන්දෑ කාලය වන විට මුළු රාජකීය උද්‍යානයම පිරිසිදු කිරීමට චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා. උද්‍යාන පාලකයා මේ ගැන වඩාත් සතුටට පත් වුණා.
‘‘මිත‍්‍රයා නුඹ කළ උපකාරයට ස්තූති කිරීමට මට වචන නැහැ. රාජකීය උද්‍යානයට සිදුව ඇති හානිය ගැන බැලීමට මහ රජතුමා අද සවස මෙහි එන බව දන්වා එවා තිබෙනවා. රජුට මුහුණ දෙන්නේ කෙසේද කියා මා බියෙන් සිටියේ. ඒත් දැන් මට මා ගැන ඇති වෙන්නේ සතුටක්. නුඹට අනේකවාරයක් ස්තූතියි’’
උද්‍යාන පාලකයා චුල්ලත්තේවාසිකට මුව නොසෑහෙන සේ ස්තූති කළා. උද්‍යානයෙන් ඉවත් කළ දැව කඳන් සහ අතු ප‍්‍රවාහනය සඳහා රාජකීය උද්‍යානය සතු කරත්ත කිහිපයක් ලබා දෙන බව ද කීවා.
ඉර බැස යාමට පෙර සියලූ කටයුතු අවසන් කළ චුල්ලත්තේවාසික දැඩි විඩාවක් දැනුනත් වහාම නගරයට ගොස් කුඹල්කරුවන් කිහිප දෙනකු හමුවෙලා දර සැපයීම සඳහා ඇනවුම් ලබා ගත්තා. ඒ අතර ලී වඩුවෙකුගෙන් දැව සැපයීම සඳහා ද ඇනවුමක් ලබා ගත්තා.
පසුදා උදෑසනම රාජකීය උද්‍යානයට පැමිණි චුල්ලත්තේවාසිකට උද්‍යාන පාලකයාගෙන් ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමක්.
‘‘මිත‍්‍රයා මා නුඹට කොහොම ස්තූති කරන්නද කියලා දන්නේ නැහැ. ඊයේ සවස මහ රජු පැමිණියා. ඉතාම කෙටි කාලයකින් භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් නොගෙන රාජකීය උද්‍යානය පිරිසිදු කිරීම ගැන එතුමා බොහොම සතුටට පත් වුණා. මහරජු මගේ වැටුප වැඩි කළා පමණක් නොවෙයි උසස්වීමකුත් ලබා දුන්නා. මට මේ සියල්ල ලැබුණේ නුඹ නිසයි’’ රාජකීය උද්‍යානයේ පාලකයා කිව්වා.
උද්‍යාන පාලකයා විසින් ලබා දුන් කරත්තවලින් දර සහ ලී ප‍්‍රවාහනය කිරීමට චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා. එය ඔහුට විශාල ලාභයක් වගේම පහසුක් ද වුණා.
එදින දහවල් වන විට මේ සියලූ ගනුදෙනුවලින් රන් කහවනු 24ක් උපයා ගැනීමට චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා. ඒ අතර උද්‍යාන පාලකයා විසින් ද රන් කහවනු දෙකක් සතුටින් ලබා දුන්නා.
චුල්ලත්තේවාසික තමාට ලැබුණු මුදලින් රන් කහවනු දෙකක් වැය කර තමාගේ දුගී මිතුරන්ට රසවත් ආහාර වේලක් ලබා දුන්නා. ඔවුන්ට ජීවිත කාලයටම ලැබුණු රසවත්ම ආහාර වේල එය බව ඔවුන් බොහොම සතුටින් කිව්වා.
මීකුණ විකුණා සති කිහිපයක් යන විට සතුටු විය හැකි තරම් ධනයක් සේම අලූත් ව්‍යාපාරික මිතුරන් පිරිසකුත් හඳුනා ගැනීමට චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා. සහජයෙන් ලැබුණු ව්‍යාපාරික ඥානයත්, තක්සලාවෙන් ලැබූ ශිල්ප ඥානයත් හේතුවෙන් ඔහු ක‍්‍රමයෙන් සාර්ථකත්වයට පත් වෙමින් සිටියා. ඒත් ඒ කිසිම අවස්ථාවක චුල්ලසෙට්ඨි සිටුතුමා අමතක කිරීමට ඔහු සූදානම් වුණේ නැහැ. තමා ලබමින් සිටි සාර්ථකත්වය සඳහා මග පෙන්වීම ලබා දුන්නේ එතුමා බව ඔහු දැඩිව විශ්වාස කළා.
‘‘මා මේ සියල්ල කළත් ඒ සඳහා මා උනන්දු කළේ චුල්ලසෙට්ඨි සිටුතුමයි. එතුමා එදා අනාවැකි පළ නොකළා නම් මම අදත් අතේ තඹයක් නැති දවස පුරාම වෙහෙස වී කුලී වැඩකර රිදී කාසියක් පමණක් උපයා ගන්නා දුගියෙක්’’ ඔහු නිතරම කියා ගත්තා. ඒත් ලැබෙමින් පවතින සෞභාග්‍යය හමුවේ ආඩම්බර වීමට හෝ අනවශ්‍ය ආකාරයෙන් මුදල් වැය කිරීමට ඔහු සූදානම් වුණේ නැහැ.
‘‘වැපිරීමට තිබෙන බීජ ආහාරයට නොගත යුතු බවයි තක්සලාවෙදී අපට ශිල්ප දුන් ආචාර්යවරු කියා දුන්නේ. වැපිරිය යුතු දේ වැපිරිය යුතුයි. ඒවා පරිස්සමෙන් රැුක බලා ගෙන නිසි කල අස්වනු නොළා ගත යුතුයි. ඒ වගේම මා අලස නොවිය යුතුයි. උද්දච්ඡු නොවිය යුතුයි. නොපසුබට උත්සාහයෙන්, නුවණින් වැඩ කළොත් මට මගේ පවුලේ සිටු උරුමය යළි ලබාගත හැකියි’’ චුල්ලත්තේවාසික නිතරම සිතුවා. ඒ අනුව වැඩ කළා.

දර සහ දැව වෙළෙඳාමෙන් මහත් ලාභයක් ලැබූ චුල්ලත්තේවාසික ඉදිරියේදී කළ යුතු දේ ගැන සිතුවා. මේ වන විට තවත් මිනිසුන් කිහිප දෙනෙක් මාලාකාරියන්ට උක් සකුරු අලෙවි කරන වෙළෙඳ සැල් කිහිපයක් ආරම්භ කර තිබූ හෙයින් යළිත් එම වෙළෙඳාමට යාම නුසුදුසු බව ඔහු කල්පනා කළා.
චුල්ලත්තේවාසික අලූත් වෙළෙඳාමක් ගැන කල්පනා කරමින් සිටින විට ඔහුගේ යහළු උද්‍යාන පාලකයා අලූත් අදහසක් ඉදිරිපත් කළා.
‘‘ඇයි ඔබ සුපුරුදු ලෙස උක් සකුරු සහ කැවුම් අලෙවි නොකරන්නේ. ඔබ ඒ ගැන හොඳින් දන්නවා. මාලාකාරියන්ට වඩා වැඩි පිරිසක් තණ කපන්නන් නගරයේ සිටිනවා. ඔවුන් ගණනින් පන් සියයක් පමණ වෙනවා. ඔවුන් දවස පුරා දිය බිඳක් නැතිව තණ පිටියේ තණ කපනවා. ඔවුන්ට සිසිල් පැන් හා උක් සකුරු අලෙවි කරන්න. ඔබ ඔවුන්ගෙන් ලබා ගන්නා තණකොළ අපට මිලදී ගත හැකියි’’ උද්‍යාන පාලකයා අලූත් වෙළෙඳාම ගැන අදහස ඉදිරිපත් කරමින් කිව්වා.
උද්‍යාන පාලකයාගේ අලූත් අදහසට චුල්ලත්තේවාසික බොහොම කැමැත්තෙන් එකඟ වුණා. පසුදාම ඔහු තණපිටිය අසල මාර්ගයේ තමාගේ වෙළෙඳසැල ආරම්භ කළා.
එදින සවස තණ කපාගෙන නගරය කරා එමින් සිටි තණ කපන්නෝ අලූත් වෙළෙඳසැල දැකීමෙන් පුදුමයට පත් වුණා.
‘‘මිත‍්‍රයා, නුඹ කවුරු වුණත් කර තිබෙන්නේ මිල කළ නොහැකි සේවයක්. ඒත් අප සතුව තිබෙන්නේ මේ තණ මිටි පමණයි. නුඹගෙන් යමක් මිලදී ගත්තත් ගෙවීමට කාසි අප සතුව නැහැ’’ තණ කපන්නෙක් කිව්වා.
‘‘ඒ ගැන නුඹලා කරදර විය යුතු නැහැ. මට තණ මිට බැගින් දී යන්න. එය ප‍්‍රමාණවත්’’
චුල්ලත්තේවාසිකගේ කාරුණික භාවයෙන් පැහැදුණු තණ කපන්නෝ ඔහුට සෑහෙන තරම් තණකොළ ලබා දුන්නා. අවසානයේදී තණකොළ කන්දක් ඔහු අසල ගොඩගැසී තිබුණා.
චුල්ලත්තේවාසික මේ තණකොළ උද්‍යාන පාලකයාට ලබාදී මුදල් ලබා ගත්තා. එදින වෙළෙඳාමෙන් විශාල ලාභයක් අත් නොවුණත් වැයකළ මුදල පියවා ගෙන සුළු ලාභයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.
මේ ආකාරයෙන් මාසයක් ඔහු තණ කපන්නන් සමග වෙළෙඳාමේ යෙදුණා. පෙර මෙන් විශාල වාසියක් අත්පත් නොවුණත් අලූතින් මිනිසුන් හඳුනා ගැනීමට ලැබීම හා තව තවත් ව්‍යාපාරික අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටු වුණා. ඒ වගේම කුලීකාර දුගියෙකුගේ සිට ස්වශක්තියෙන් නැගී සිටීම තැත් කරන තරුණ වෙළෙන්දෙක් බවට ඔහු පත්ව සිටියා. නගරයේ වෙළෙඳුන් වගේම රාජ්‍ය නිලධාරීන් ද ඔහුගේ සාධාරණ වෙළෙඳාම ගැන කතා කළා. ප‍්‍රශංසා කළා.
මේ අතර දිනක් උදෑසනම රාජ්‍යකීය උද්‍යාන පාලකයා චුල්ලත්තේවාසික හමුවීමට පැමිණ ඉතාම වැදගත් ආරංචියක් ලබා දුන්නා.
‘‘මිත‍්‍රයා, ඔන්න නුඹට වැදගත් අවස්ථාවක් උදා වෙන්නයි යන්නේ. අද සවස අශ්වයින් පන් සියයක් රැුගත් වෙළෙඳුන් පිරිසක් බරණැසට එනවා. මෙම අශ්වයින්ට තණකොළ ලබාදීමට නුඹට අවස්ථාව ලබාගත හැකියි’’
උද්‍යාන පාලකගේ කතාවෙන් චුල්ලත්තේවාසික පුදුම වුණා.
‘‘මම කොහොමද එවැනි අවස්ථාවක් ලබා ගන්නේ ? මම ඔවුන් කිසිවෙක් හඳුනන්නේ නැහැ’’ ඔහු කණස්සල්ලෙන් යුතුව කිව්වා.
‘‘ඔබට පුළුවන් ද අශ්වයින් පන්සිය දෙනෙක් සඳහා තණකොළ සපයා ගන්න’’
මදක් කල්පනා කළ චුල්ලත්තේවාසික හිස වනා එය හැකි බව ප‍්‍රකාශ කළා.
‘‘හොඳයි, එසේ නම් ඔබට ඒ අවස්ථාව හිමිවෙයි. මේ වෙළෙඳුන් නගරයට පැමිණීමට සිටියේ හෙටයි. ඒත් ඔවුන් ඉක්මනින් බරණැසට පැමිණියා. ඒ නිසා තණකොළ සපයන්නන්ගෙන් අද තණකොළ ලබාගත නොහැකියි. ඔවුන්ට ඒ සඳහා අද කිසිම සූදානමක් නැහැ. ඔවුන් සතුව තිබෙන්නේ අද දිනය සඳහා ප‍්‍රමාණවත් තොග පමණයි’’ උද්‍යාන පාලකයා ගත යුතු පියවර පැහැදිලි කරමින් කීවා.
‘‘මේ ගැන කවුරුන් හෝ දන්නවාද ?’’ චුල්ලත්තේවාසික ඇසුවා.
‘‘නැහැ… කිසිවෙක් දන්නේ නැහැ. මට මේ ආරංචිය ලබා දුන්නේ අශ්වයින් රැුගෙන එන වෙළෙඳුන් සමග සාකච්ඡුාවට ගිය රජයේ නිලධාරියෙක්. ඔහු ඔබට උදව් කරයි. ’’
‘‘හොඳයි උද්‍යාන පාලකතුමනි, මම සුදුසු පියවර ගන්නම්’’
චුල්ලත්තේවාසික සුපුරුදු පරිදි තණකොළ කපන්නන්ට උක් සකුරු අලෙවි කිරීමට ගියා. ඔවුන් ද සුපුරුදු පරිදි චුල්ලත්තේවාසික හමුවට පැමිණ පැන් පානය කර උක් සකුරු සමග කැවුම් කෑවා.
‘‘මිතුරනි, අද මට නුඹලාගෙන් විශේෂ උපකාරයක් අවශ්‍යයි. හැකි නම් මට තණකොළ මිටිය බැගින් දී යන්න’’
කිසිඳු ප‍්‍රශ්නයක් නොඇසූ ඔවුන් තමන් රැුගෙන ආ තණකොළවලින් මිටිය බැගින් චුල්ලත්තේවාසිකට දුන්නා.
තණකොළ කපන්න් වෙතින් ලබාගත් තණකොළ මිටි පන් සියය ඔහු කරත්ත මගින් නගරයට ගොස් රාජකීය උද්‍යානය අසල හිස් බිමක ගොඩගැසුවා.
ඔහු බලාපොරොත්තු වූ ආකාරයටම එදින සවස් යාමයේ අශ්වයින් පන්සිය දෙනකු රැුගත් වෙළෙඳුන් කණ්ඩායම නගරයට පැමිණියා. කල්තියා බරණැසට පැමිණීමට හැකි වුණත් අස් වෙළෙඳුන් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ අශ්වයින් සඳහා රාත‍්‍රි ආහාර ලබා ගැනීමට ක‍්‍රමයක් නොතිබීම නිසයි. බොහෝ දුර පැමිණි නිසා අශ්වයින් ද වෙළෙඳුන් ද වෙහෙසට පත්වෙලා හිටියා.
‘‘නායක වෙළෙන්ඳාණෙනි, අපේ අශ්වයින්ට තණකොළ සැපයීම සඳහා ගිවිස ගෙන සිටි වෙළෙඳුන් කියනවා අද ඔවුන්ට තණකොළ ලබා දෙන්න නොහැකියි කියලා. අපි කුමක් ද කරන්නේ නායක වෙළෙන්ඳාණෙනි’’නායක වෙළෙන්ඳා හමුවට පැමිණි ‘‘මිත්ත’’ නම් ප‍්‍රධාන සහයක වෙළෙන්ඳා විමසුවා.
‘‘මාත් ඒ ගැනයි කල්පනා කරමින් සිටියේ මිත්ත. අපි කල්තියා පැමිණි නිසා අශ්වයින්ට රාත‍්‍රි ආහාර ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. නුඹට හැකි නම් වෙනත් ක‍්‍රමයක් ගැන සොයා බලන්න. නුඹට මෙහි බොහෝ මිතුරන් සිටින බව මා දන්නවා’’
නායක වෙළෙන්ඳාගේ ඉල්ලීම අනුව මිත්ත උදව් ලබාගත හැකි තම මිතුරන් ගැන සිතා බැලූවා. එහිදී ඔහුට උද්‍යාන පාලකයාව මතක් වුණා.
‘‘ඔව්, ඔහු තමයි මේ සඳහා සුදුසුම. ඔහු මට උපකාර නොකර ඉන්න එකක් නැහැ. වහාම ගියොත් ? වීමට පෙර තණකොළ සපයා ගත හැකි වෙවි’’
මිත්ත වහාම උද්‍යාන පාලකයාගේ නිවස වෙත පිටත් වුණා. එහෙත් අතරමගදී ඔහුට උද්‍යාන පාලකයාව හමු වුණා.
‘‘ඔබ පැමිණි බව ආරංචි වූ විගසමයි මම පැමිණියේ. කෙසේද තොරතුරු ?’’ උද්‍යාන පාලකයා මිත්තගෙන් ඇසුවා.
ප‍්‍රාණ සම මිතුරා දැකීමෙන් සතුටට පත් මිත‍්‍ර තමා පත්ව ඇති තත්ත්වය ගැන උද්‍යාන පාලකයාට විස්තර කළා.
‘‘මම මේ ගැන දැනගෙන හිටියා මිත්ත. මම ඒ සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් සූදානම් කරලා හමාරයි. යමු ඔබලාට අවශ්‍ය තණකොළ මම ලබා දෙන්නම්’’
උද්‍යාන පාලකයාගේ කතාවෙන් මිත්ත පුදුමයට පත් වුණා. එහෙත් තම මිතුරාගේ ගතිගුණ ගැන මනා වැටහීමක් ඇති මිත්ත බොහොම සතුටින් ඔහු සමග පිටත් වුණා.
උද්‍යාන පාලකයා සහ මිත්ත චුල්ලත්තේවාසිකගෙන් තණකොළ මිටි පන්සියයක් මිලදී ගත්තා. තම මිතුරාගේ මිතුරා වෙනුවෙන් කරන උපකාරයක් ලෙස ඔහු ඒ සඳහා සාධාරණ මුදලක් ලබා ගත්තා.

‘‘ඔබ මට කළේ මුදලින් මැනිය නොහැකි උපකාරයක්. ඔබටත් මගෙන් යම්කිසි උපකාරයක් අවශ්‍ය වුණොත් මට කියන්න. මම එය ඉටු කරනවා’’ මිත්ත චුල්ලත්තේවාසිකගේ ශූරභාවය වගේම සාධාරණත්වයත් අගය කරමින් කිව්වා.
‘‘එහෙමයි, මම අවශ්‍ය වුණොත් ඔබතුමාව හමුවෙන්නම්’’ චුල්ලත්තේවාසික සතුටින් කිව්වා.
මීකුණ අලෙවිකර සය මසක් පමණ ගතවන විට චුල්ලත්තේවාසික රන්කහවනු දහසක හිමිකරුවෙක් බවට පත් වුණා. ඒ වගේම ඔහුගේ කීර්තියත් දිනෙන් දින බරණැස් නුවර ප‍්‍රචලිත වුණා.
‘‘ඔහු බොහොම ශූර ව්‍යාපාරිකයෙක් බව පේනවා’’
‘‘චුල්ලත්තේවාසික සාධාරණ වෙළෙඳාමක් කරන්නේ කිසිවෙකු සූරා කෑමට හෝ කිසිවෙකුට වංචා කිරීමට ඔහු උත්සාහා කරන්නේ නැහැ’’
‘‘කිසිම අවස්ථාවක අනවශ්‍ය පරිදි තරඟ කරන්නේ නැහැ’’
‘‘ මසුරුමක් නැහැ වගේම නාස්තිකාරයෙකුත් නොවෙයි’’
‘‘ඔහු අලූත් ව්‍යාපාරික අදහස් තියෙන තරුණයෙක්, ඉක්මනට සිටුවරයෙක් වේවි’’
චුල්ලත්තේවාසික සමග ගනුදෙනු කළ වෙළෙඳුන් වගේම පාරිභෝගිකයින් ද මේ ආකාරයෙන් ඔහුගේ ගුණ වර්ණනා කළා. තමා ගැන බරණැස්වාසීන් කියන මේ කතා ඇසූ චුල්ලත්තේවාසික ඒ ගැන පළ කළේ උපේක්ෂාවක්.
‘‘ඔහු තැන තැන කුලී වැඩ කළ දුගියෙක්’’
‘‘මීකුණක් විකුණලා තමයි ඔහු මේ තරම් ධනයක් උපයා ගෙන තිබෙන්නේ’’
‘‘වතුරයි හකුරුයි තමයි චුල්ලත්තේවාසිකට ධනය උපයා දුන්නේ’’
‘‘ඔහු නිලධාරීන්ට අල්ලස් දෙනවා’’
චුල්ලත්තේවාසික ගැන මෙවැනි කතා ද බරණැස්වාසීන් අතර පැතිරුණා. ඒත් ඒ කිසිවකින් ඔහු කණස්සල්ලට හෝ අධෛර්යයට පත් වුණේ නැහැ.
‘‘දුගී කුලීකරුවෙක් විදිහට මම බරණැස් පුරයට පැමිණියත් මගේ හත්මුතු පරම්පරාවම සාකේත නුවර වෙළෙන්දෝ, සිටුවරු ලෙසයි ජීවත් වුණේ. මම තක්සලාවෙන් ඉගෙන ගත්තේ ඒ ගැන. මම දුගියෙක් වුණේ සූදු අන්තුවෙක් හා බේබද්දෙක් වුණ මගේ පියා සියලූ ධනය විනාශ කළ නිසයි. ධනය උපයා ගන්න යෙදවිය හැකි කිසිඳු මුදලක් මා සතු නොවූ නිසයි. ඒත් අනපේක්ෂිත විදිහට මීකුණක් විකුණා රන් කහවනුවක් උපයා ගන්න මට පුළුවන් වුණා. මම එය ආයෝජනය කළා. නිවැරදිව ව්‍යාපාරික තීන්දු ගත්තා. උපයා ගත් ධනය හෝ ධනය උපයන මාර්ග විනාශ කර ගත්තේ නැහැ. මගේ සාර්ථකත්වයේ රහස එයයි’’ චුල්ලත්තේවාසික ඇතැම් විට තම වෙළෙඳ මිතුරන්ට කිව්වා.
චුල්ලත්තේවාසික කී දේ බොරු යැයි කිසිවෙක් සිතුවේ නැහැ. ඔහුගේ ක‍්‍රියාවෙන් මෙන්ම හැසිරීමෙන්ම නිවැරදි අවබෝධයක් ඔවුන් ලබා ගෙන සිටියා.
මේ අතර දිනක් මිත්ත චුල්ලත්තේවාසි හමුවීමට පැමිණියා. ඔහු පැමිණ සිටියේ ඉතාම වැදගත් ආරංචියකුත් සමගයි.
‘‘මා මිතුර, නුඹට විශාල ලාභයක් උපයා ගත හැකි අගනා අවස්ථාවක් උදා වෙමින් තිබෙනවා. හෙට උදෑසන නැව් තොටට වටිනා භාණ්ඩ රැුසක් සමග නැවක් ළඟා වෙනවා. එහි කප්පිත්තා මගේ මිත‍්‍රයෙන් වගේම තරුණ වෙළෙඳුන්ට අතදීමට බොහෝ කැමැති අයෙක්. මා නුඹ ගැන ඔහුට කියා තිබෙනවා. නුඹ විශ්වාස කළ හැකි අයෙක් බවත් අති දක්ෂයෙක් බවත් ඔහුට ඒත්තු ගොස් තිබෙනවා. හෙට උදෑසනම මා සමග නැව් තොටට එන්න. අපි අනෙක් සියලූ වෙළෙඳුන්ට පෙර නැව් තොටට ගොස් භාණ්ඩ මිලදී ගනිමු’’ මිත්ත තමා ආ ගමන ගැන කරුණු පැහැදිලි කරමින් කිව්වා.
මිත්ත සමග බොහෝ ව්‍යාපාරික කටයුතු කර ඇති චුල්ලත්තේවාසික ඔහු දුන් ඔත්තුව ගැන සතුටු වුණත් ඒ සඳහා ඉදිරිපත් වීමට අදිමදි කළා.
‘‘ඔබ කියන සියල්ල නිවැරදියි. ඒත් මා සතුව නැවක භාණ්ඩ මිලදී ගැනීමට තරම් ධනයක් නැහැ. මා සතුව තිබෙන්නේ ඉතාම කුඩා මුදලක්. බරණැස වෙළෙඳුන් සමග සසඳා බලද්දී එය හිරු අභිසය කඳෝපැණියෙක් වාගේ සුළුයි’’
මිත්ත චුල්ලත්තේවාසික දෙස බැලූවේ පුදුමයෙන් වාගේ.
‘‘මට පෙනෙන විදිහට සුළු ඔබ සතු ධනය නොවෙයි සිතයි. අධිෂ්ඨානයයි’’
මිත්ත සරදම් ස්වරයෙන් කීවා.
‘‘නැහැ මිත‍්‍රයා. මා දන්නවා ව්‍යාපාර කිරීමේදී අවදානමක් ගත යුතුයි. අපි ලාභයක් ලබන්නේ ඒ අවදානම නිසයි. ඒත් බරණැස මහා වෙළෙඳුන් සමග තරඟ කිරීමට මට තවත් බොහෝ කාලයක් ගත විය හැකියි. ඒ දවස එනතෙක් මම සීරුවෙන් කටයුතු කළ යුතුයි’’
චුල්ලත්තේවාසිකගේ කතාව සත්‍යයක් බව මිත්ත ද විශ්වාස කළා. ඒත් තමා කියන්න යන්නේ කුමක්ද යන්න ගැන සම්පූර්ණයෙන් නොවිමසා සිදුවන මේ අනවශ්‍ය කතාව ගැන ඔහු කෝපයට පත් වුණා.
‘‘ඔබ මගේ කතාව සම්පූර්ණයෙන් ඇසුවේ නැහැ. කතාවකින් අඩක් පමණක් දැනගෙන කිසිවක් කළ නොහැකියි’’ ඔහු කෝපයෙන් කිව්වා.
‘‘හොඳයි ඔබේ කතාව සම්පූර්ණයෙන් කියන්න. ඊට පසුව කළ යුතු දේ ගැන කල්පනා කරමු’’
මිත්ත තම සැලසුම ගැන සම්පූර්ණයෙන් විස්තර කළා.
මිත්තගේ ඉල්ලීම සහ හඳුන්වාදීම මත නැවේ සියලූම භාණ්ඩ සුළු අත්තිකාරම් මුදලක් මත චුල්ලත්තේවාසිකට ලබාදීමට නැව්පතියා කැමැති වුණා.
‘‘අපි මෙවැනි තීරණයක් ගත්තේ පළමු වතාවටයි. ඒ මිත්තගේ ඉල්ලීම වගේම ඔබ ගැන ඇති පැහැදීම නිසයි. ඒ වගේම සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. මෙය ඇසූ විට ඔබ පුදුමයට පත් වෙයි’’ නැව්පතියා චුල්ලත්තේවාසික සමග නැවේ භාණ්ඩ පරීක්ෂා කරන අතරතුර පැවසුවා.
‘‘කුමක්ද නැව්පතිතුමනි, කුමක්ද මා පුදුමයට පත්වන කාරණය’’ චුල්ලත්තේවාසික ඇසුවා.
‘‘ඔබ දන්නවාද රජගහ නුවර අග සිටුවරයා වන සුදන්ත සිටුතුමාව’’
‘‘එහෙමයි, මම එතුමා ගැන අසා තිබෙනවා’’
‘‘ඒ කෙසේද ?’’
චුල්ලත්තේවාසික මදක් කල්පනා කළා.
‘‘ඔබතුමා මේ ගැන විශ්වාස නොකරන බව මට සහතිකයි. ඒත් දැන් මෙය හෙළි නොකිරීමෙන් මට සිදුවන යහපතක් නැහැ. එතුමා මගේ මෑණියන්ගේ වැඩිමහල් සොහොයුරා බව මා අසා තිබෙනවා. ඒත් මා පියාණන් ¥ කෙළියෙන් අගතියට පත් වූ පසු මා කුඩා කාලයේදීම ඒ සියලූ සම්බන්ධතා අතහැර තිබෙනවා. මම කිසිදා ඔවුන් කිසිවෙක් දැක නැහැ. ඔවුන් සමග කිසිඳු ආකාරයක ඇසුරක් පවත්වා නැහැ’’ චුල්ලත්තේවාසික වරදකාරී හැඟීමෙන් කිව්වා.
‘‘මට ඔබ ගැන සියලූ තොරතුරු මා මිත‍්‍ර මිත්ත විසින් කියා තිබෙනවා. මම ඒ ගැන සියල්ල සොයා බැලූවා. ඔබ කියන සුදන්ත සිටුවරයා මම තමයි’’ නැව්පතියා චුල්ලත්තේවාසිකව වැළඳ ගනිමින් කිව්වා.
නැව්පතියාගේ කතාවෙන් චුල්ලත්තේවාසික දැඩි සේ කම්පනයට පත් වුණා. ඔහුට තමාගේ දෙසවන් හා දෙඇස් අදහා ගැනීමට නොහැකි වුණා. විස්මයත්, සතුටත් මුසු හැඟීමෙන් ඔහු නැව්පතියාගේ දෙපා වැන්ඳා.
‘‘සතුටු වෙයන් මගේ පුත‍්‍රයා. මම නුඹගේ මාමණ්ඩි මිස කිසිවෙක් නොවෙයි. මේ නැව තුළ ඇති සියලූ ධනයට හිමිකරුවා නුඹයි. එහෙත් එය තෑග්ගක් ලෙස ලබාදීමට මට හැකියාවක් නැහැ. එහෙම සිතකුත් නැහැ. නොමිලේ ලබා දෙන කිසිවක් නොවටිනා බව වෙළෙඳුන් වන අපි තරම් හොඳින් දන්නා තවත් පිරිසක් නැහැ. දැන් නුඹ අපේ හත්මුතු පරපුරේම ගරුත්වය රැුකෙන ලෙස කටයුතු කළ යුතුයි. මා අසා ඇති සියලූ දේ සත්‍ය බව නුඹ මට තහවුරු කළ යුතුයි’’ සුදන්ත සිටුතුමා නැව් තට්ටුවෙන් ඉවත්ව තම කාර්යාල කාමරයට යන අතරතුර කිව්වා.
මිත්ත, සුදන්ත සිටුවරයා සේම චුල්ලත්තේවාසික ද අපේක්ෂා කළ ආකාරයෙන්ම සත් දිනක් ගතවීමට පෙර නැවේ තිබූ සියලූම භාණ්ඩ විශාල ලාභයක් සහිතව විකුණා දැමීමටත් නැවත නැව ගමන් කරන විට රැුගෙන යාම සඳහා භාණ්ඩ ලබා ගැනීමටත් චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා. සර්ව සාධාරණ හා දැඩි මිත‍්‍රත්වයකින් සිදු වූ මේ ගනුදෙනුව මගින් රන් කහවනු දෙලක්ෂයක ලාභයක් උපයා ගැනීමට චුල්ලත්තේවාසිකට හැකියාව ලැබුණා.
‘‘නුඹ කොතරම් ශූර ව්‍යපාරිකයෙක් ද කියන එක මනාව තහවුරු කිරීමට නුඹ සමත් වුණා. පරම්පරාවෙන් ලැබුණු දේත් තක්සලාවෙන් ලැබුණු දේත් මනාව කළමනාකරණය කර ගනිමින් ද සමාජයෙන් ලැබූ අත්දැකීම් මනාව මුසු කරමින් ද සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ කොහොමද කියා නුඹ මට වටහා දුන්නා. මේ සියලූ ලාභය නුඹට හිමියි. නුඹට තවත් සුවිශාල ලාභයක් අත්කරදීමට මා කල්පනා කළත් ඊට වඩා යහපත් දේ හෙට සිදුවන බව මට වැහෙන නිසා අසීරුවෙන් වුවත් මා ඒ තීරණය වෙනස් කර ගත්තා ’’ සත් දිනකට පසු නැව් තොටින් පිටත්වීමට සූදානම් වෙමින් නැව්පති, සුදන්ත සිටුතුමා කිව්වා.
‘‘මා මිතුර, මා යළි නුඹව දකින්නේ මේ බරණැස්පුරයේ මහ සිටු මැදුර තුළදී බව මට විශ්වාසයි. අපි සමුගනිමු’’ මිත්ත නැව් තට්ටුවට නඟිමින් කිව්වා.
සතියක් පුරා සිදු වූ දැඩි වෙහෙසකර කටයුතුවලින් හෙම්බත්ව සිටි චුල්ලත්තේවාසික තම තෙහෙට්ටුව ගැන ද නොසලකා ඒ මොහොතේම අස්රියක් ගෙන චුල්ලසෙට්ඨි සිටුතුමාගේ මැඳුරට ගමන් කළා. රජ මැඳුරට ගොස් පැමිණ සිටි සිටුතුමාට නැව්තොටේ සිදුවීම ගැනත් ආරංචි වෙලා තිබුණා. සිටුතුමා සිටියේ තම මිතුරු සිටුවරයෙක් සමග ඒ ගැන කතා කරමිනුයි.
අස් රියෙන් තම මැඳුරට පැමිණි ආගන්තුක තරුණයා හඳුනා ගැනීමට සිටුතුමාට අපහසු වුණේ නැහැ.
‘‘චුල්ලත්තේවාසික වෙළෙන්ඳාණෙනි, අපි ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. එන්න පැමිණ අසුන් ගන්න’’ සිටුතුමා දුර සිටම තමන් වෙත පැමිණෙමින් සිටින චුල්ලත්තේවාසිකට කිව්වා.
අනපේක්ෂිතව ලැබුණු පිළිගැනීමෙන් විමතියට පත් ඔහු සිටුවරුන් වෙත පැමිණ නමස්කාර කළා.
‘‘සමාවෙන් සිටුතුමනි, නොදන්වා, අවේලාවේ පැමිණි නිසා යම් අපහසුතාවක් සිදු වුණා නම් අනේක වාරයක් සමාව ඉල්ලනවා. ඔබතුමා හමුවීමට පැමිණියේ තව දුරටත් ඒ අසාව පාලනය කරගත නොහැකි වූ නිසයි’’
‘‘ඇයි, නැවත නැවත ඒ ගැන ප‍්‍රකාශ කරන්නේ. ඔබ පැමිණි හේතුවත් මා දන්නවා. මට ඔබ ගැන බොහොම සතුටක් සේම ගෞරවයක් ඇතිව තිබෙනවා. ඔබ මා කී යමක් අනුව යමින් ජීවිතය සාර්ථක කරගත් බව නිතර නිතර සිතන බවත්, ඒ බව නොබියව ප‍්‍රකාශ කරන බවත් මා දන්නවා. අද තමයි ඔබට මා හමුවීමට සුදුසුම දවස. එහෙම නේද ?’’ සිටුතුමාගේ කතාවට මිතුරු සිටුවරයාට සේම චුල්ලත්තේවාසිකටත් පුදුමයක් ඇති වුණා.
‘‘මීකුණක් විකුණා මහ සිටුවරයෙක් වූ චුල්ලත්තේවාසික නම් දුගී තරුණයා ගැන මේ කප තිබෙන තුරු ජනතාව කතා වෙයි. එහෙම නේද මිගාර සිටුතුමනි’’ තම මිතුරු මිගාර සිටුතුමා වෙත හැරෙමින් චුල්ලසෙට්ඨි සිටුතුමා විමසුවා.
‘‘එය එසේමයි සිටුතුමනි’’ මිගාර සිටුතුමා කිව්වා.
‘‘සිටුතුමනි, මා පැමිණියේ ඔබ වහන්සේට මගේ කෘතගුණ දැක්වීමටයි. ඒ වගේම මා අතින් යම් අතපසුවීමක් හෝ අගෞරවයක් සිදු වුණා නම් මට ඒ ගැන සමාවෙන්න’’ චුල්ලත්තේවාසික සමාන අයදින ස්වරයෙන් ඉල්ලා සිටියා.

‘‘නැහැ, එවැනි කිසිවක් සිදු වුණේ නැහැ. නුඹ නිසා මා ලැබුවේ මිල කළ නොහැකි ගරුත්වයක්. නුඹේ නම පවතින තුරා මගේ නමත් පවතිනවා. නුඹව ආදර්ශයට ගන්න සියලූ දෙනාම මාව ද සිහිකරනවා. ඉතිං තවත් කුමක් ද මා බලාපොරොත්තු විය යුතු?’’
‘‘එහෙත් සිටුතුමනි, මේ ධනයෙන් අඩක් හිමි ඔබතුමාටයි. එදා ඔබතුමා කී අනාවැකිය අනුව කටයුතු නොකළා නම් මා අදත් දුගී චුල්ලත්තේවාසිකයි’’
‘‘මා කළේ අනාවැකියක් පළ කිරීම පමණයි. එය බොහෝ දෙනෙක් කරනවා. ඒත් ඒවායින් සාර්ථක වෙන්නේ කීයෙන් කීයද ? මේ සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවා නුවණැසින් කරුණු විමසා බලමින් අප‍්‍රහිතධෛර්යෙන් කටයුතු කළ නුඹ මිස ඉර, හඳ හෝ තාරකා නොවෙයි’’චුල්ලසෙට්ඨි සිටුතුමා කිව්වා.
චුල්ලත්තේවාසික ගැන පැහැදීමෙන් සිටි සිටුතුමා ඔහුගේ පැමිණීමත් සමග තව දුරටත් ඔහු ගැන පැහැදීමට පත් වුණා.
‘‘නුඹ වැනි ශූර තරුණයෙක් හමුවන තෙක් මා සහ සිටු දේවිය බොහෝ කාලයක් පුරා බලාගෙන සිටියා. දැන් ඒ ශූර තරුණයා අප මැඳුරටම පැමිණ සිටිනවා. ඔහුව යළිත් බරණැස්පුරයේ දුගියන්ගේ වීදියට පිටත්කර හැරීමට අප කිසිවෙක් සූදානම් නැහැ. මා මිත‍්‍ර සුදන්ත සිටුවරයා නැව් නැඟීමට පෙර මට හසුනක් ඒවා තිබුණා. තව දුරටත් දුගියෙකු ලෙසින් ජීවත් වීමට අවශ්‍ය නැහැ චුල්ලත්තේවාසික සිටු කුමාරයාණෙනි’’ චුල්ලසෙට්ඨි සිටුතුමා චුල්ලත්තේවාසිකව වැළඳ ගනිමින් කිවුවා.


බ‍්‍රහ්ම දත්ත රජතුමා ඇතුළු රාජකීයන්ගේ සහභාගීත්වයෙන් තවත් දින කිහිපයකට පසු චුල්ලත්තේවාසිකගේ සහ චුල්ලසෙට්ඨි සිටුතුමාගේ දියණිය වූ සුජාතාගේ සරණ මංගල්‍ය සිදු වුණා. තම මවට හිමි ධනයත්, සුජාතා සිටු දියණියට හිමි ධනයත් චුල්ලත්තේවාසිකට හිමි වුණත් ඔහු ඒ සියලූ ධනය යොදවා දුගී තරුණයින්ට හා ළමුන්ට ශිල්ප ලැබිය හැකි ශිල්ප ශාලා මුළු බරණැස් පුරය වටාම ඉදිකළා. ඒ සමගම එම ශිල්ප ශාලාවලින් දැනුම ලබා ගෙන පිටවන ශිල්පීන්ට ස්වාධීනව තම කටයුතු ආරම්භ කිරීමට අතහිත දෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කළා.
අප මහබෝසතාණන් වහන්සේ වූ චුල්ලසෙට්ඨි සිටුතුමාගේ ඇවෑමෙන් බරණැස ප‍්‍රධාන සිටු තනතුරට චුල්ලත්තේවාසික සිටුතුමාව පත් කිරීමට බ‍්‍රහ්ම දත්ත රජතුමා පියවර ගත්තා.

Recommended For You

About the Author: Editor