මාව අත්අඩංගුවට ගත් පසු සහරාන් පිළිබඳ විමර්ශන ඇනහිටියා – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

තමා අත්අඩංගුවට ගැනීම සමග සහරාන් පිළිබඳ විමර්ශන ඇනහිටි බව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (4) ප‍්‍රකාශ කළා.

අද දින තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා මුලින්ම කැඳවා තිබුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නාලක ද සිල්වා මහතායි.

නාලක ද සිල්වා මහතාගෙන් මුලින්ම සාක්ෂි විමසීම ආරම්භ කළ අමාත්‍ය රවි කරුණානායක මහතා විමසා සිටියේ සහරාන් ගැන කරුණු විමර්ශනය මුලින්ම ආරම්භ කළේ කවදා සිටද යන්නයි.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා කියා සිටියේ, 2013 /14 වර්ෂවල මුලින්ම සහරාන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවත් ප‍්‍රථමයෙන්ම ඔහුගේ ෆේස්බුක් ගිනුම් සහ වෙබ් අඩවි නිරීක්ෂණය කළ බවයි.

ඒ සමග අදාළ කරුණු සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු රැසක් කාරක සභාව හමුවේ පැවසීමට ඇති බව නාලක ද සිල්වා මහතා කියා සිටියා.

එහිදී කාරක සභාව ජනමාධ්‍ය ඉවත් කළ යුතුදැයි නාලක ද සිල්වා මහතාගෙන් විමසා සිටියා. එහිදී ජනමාධ්‍ය නොමැතිව තමාට තොරතුරු ලබාදිය හැකි යැයි නාලක ද සිල්වා මහතා කියා සිටි අතර ඒ අනුව මාධ්‍ය නොමැතිව අදාළ තොරතුරු ලබාදීම සඳහා කාරක සභාව විසින් නාලක ද සිල්වා මහතාට අවස්ථාව ලබා දුන්නා.

මෙහිදී වැඩි දුරටත් සාක්ෂි දෙමින් නාලක ද සිල්වා මහතා මෙසේ ද සඳහන් කළා.

‘‘2017දී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සිදු වූ ප‍්‍රතිව්‍යුහගත කිරීම අනුව එල්ටීටීඊ සංවිධානය, ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ සියලූ කටයුතු සිදුවන්නේ පොලිස්පතිතුමාගේ ඍජු නියෝගය මත. සහරාන්ගේ කටයුතු සම්බන්්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන විට අපි වෙනම කණ්ඩායමක් යොමු කරලා දවස ගානේ ඔහුගේ ෆේස්බුක්, වෙබ්අඩවි නිරීක්ෂණය කළා. එවිට අපිට පෙනී ගියා සහරාන් නැමැති මේ පුද්ගලයා ප‍්‍රචණ්ඩ අන්තවාදය කරා යනවා කියලා. ඒ අනුව කාත්තන්කුඩි සිදුවීමත් පාදක කරගෙන මම තීරණය කළා මේ විමර්ශන කටයුතු තවත් පුළුල් කළ යුතුයි කියලා.

කාරක සභා සාමාජික මහාචාර්ය ආශු මාරසිංහ : මොකක්ද කාන්තන්කුඩි සිදුවීම.

නාලක ද සිල්වා : කාත්තන්කුඩි සිදුවීම කියන්නේ 2017 දී සහරාන් සහ තවත් පිරිසක් අතර කාත්නන්කඩි ප‍්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම සම්බන්ධයෙන් පොලිසිය පියවර ගත්තා. ඒත් අනෙක් පාර්ශ්වය පොලිස්පතිතුමාට පැමිණිලි කරලා තිබුණා. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිතුමා මාව දැනුවත් කරලා මේ ගැන කරුණු සොයා බලන්න කිව්වා. කාත්තන්කුඩි පොලිසියෙන් කරුණු සෙව්වත් මටත් ඒ ගැන සොයා බලන්න කියලා කිව්වා. ඒ පැමිණිල්ලත් පදනම් කර ගනිමින්, අපි ළඟ තිබුණ අන්තර්ජාල, ෆේස්බුක් ආදි තොරතුරුත් පදනම් කර ගනිමින් ගරු අධිකරණයට කරුණු වාර්තා කළා.

මහාචාර්ය ආශූ මාරසිංහ : ඒ කවදාදා ?

නාලක ද සිල්වා : මේ අවස්ථාවේ මා ළඟ කිසිම වාර්තාවක් නැහැ.

ඇමැති රවී කරුණානායක : 2018 ජූලි 10 වැනිදා.

නාලක ද සිල්වා : වෙන්න ඇති සර්. මේ සියලූම වාර්තා මම ඉන්න කොට මා යටතේ සිටි එස්.පී ජගත් ක‍්‍රිශාන්ත ගාව ඇති. ඔහුව කැඳවලා අදාළ වාර්තා ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මහාචාර්ය ආශු මාරසිංහ : ඔබ එය කළේ කාත්තන්කුඩි පොලිසිය හරහා ද ?

නාලක ද සිල්වා : නැහැ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අංක 08, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට තිබුණේ අංක 08. ඒ අනුව අපි විවෘත වරෙන්තුවක් ගන්න ඉල්ලා සිටියා. මොකද අපි සහරාන් හොයන්න ගත්තාම ඔහු ප‍්‍රදේශ කිහිපයක හිටියේ නැහැ. නැගෙනහිර පළාතේ හිටියෙත් නැහැ. වෙනත් පළාත්වල හිටියෙත් නැහැ. ඒ අනුව අපි අනුමාන කළ ඔහු රට පැනලා කියලා. ඒ නිසා තමයි විවෘත වරෙන්තුව ගත්තේ. ඊට පස්සේ ඉන්ටර්පෝල් එක මගින් ‘‘බ්ලූ වොරන්ට්’’ එකක් ගන්න පුළුවන් නිසා. ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යන්න පාදක කර ගන්න පුළුවන් නිසා විවෘත වරෙන්තුවක් තමයි ගත්තේ. එතැනින් තමයි අපි ඉදිරි ගමන ආරම්භ කළේ.

ඇමැති රවි කරුණානායක : ඔබ දැනුවත් වුණා සහරාන් කියන පුද්ගලයා යන ගමන එච්චර හොඳ නැහැ කියලා ?

නාලක ද සිල්වා : ඔව් සර්, එයාගේ ෆේස්බුක් සහ වෙබ් සයිට්වලින් එයා ප‍්‍රචණ්ඩ අන්තවාදයට තමයි කැඳවමින් හිටියේ.

රවි කරුණානායක : මේ ගැන ඉහළ නිලධාරීන් දැනුවත් කළාද ?

නාලක ද සිල්වා : මම සෑම සඳුදාම පොලිස්පතිතුමාට තත්ත්ව වාර්තාවක් යවනවා.

රවි කරුණානායක : මේක නතර කරන්න කියලා කිව්වේ නැහැ ?

නාලක ද සිල්වා : නැහැ. පොලිස්පතිතුමා කිව්වා දිගටම කරගෙන යන්න කියලා. එතකොට අපි දිගටම කරගෙන ගියා. උදාහරණයක් විදිහට අපි හිතමු සහරාන්ගේ ඒක වීඩියෝ එකක් යොමු කරලා තිබුණා නම් ජාතික ආරක්ෂාවට අදාළව අපි ඒක පොලිස්පතිතුමාට යවනවා. සමහරදාට එදාම යවනවා එතැනින් ඔබ්බට ගිහින් කටයුතු කරන්න.

ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න : පොලිස්පතිතුමාට ඒවා යවන්නේ කවුරු හරහා ද ? ඍජුවම ද ?

නාලක ද සිල්වා : මම යවන්නේ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඍජුවම පොලිස්පතිතුමා යටතේ තිබුණේ. අපි ඍජුවම යවන්නේ පොලිස්පතිතුමාට තමයි. එතකොට ඒක, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම් ඒ වේලාවෙම දැනුවත් කරනවා. එහෙම නැතිනම් හැම සඳුදාම අපි දැනුවත් කරනවා. මේ සියලූම වාර්තා අපි කොටස්වලට වෙන් කරනවා. එල්ටීටීඊ, ඩයස්පෝරා, මුස්ලිම් අන්තවාදී කටයුතු, අයිඑස්අයිඑස්, සංවිධානාත්මක අපරාධ ආදි වශයෙන් එය කොටස් කරලා තමයි පොලිස්පතිතුමාට යවන්නේ. ඒක ලොකු වාර්තාවක්. පසුගිය දවස් හතේ වෙච්චි දේවල්.

ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න : ඒ යවන්නේ මොකටද ? කාටද ?

නාලක ද සිල්වා : පොලිස්පතිතුමාට, පොලිස්පතිතුමාට එතකොට පුළුවන් අඟහරුවාදා රැස්වන ආරක්ෂක මණ්ඩලේදී මේ ගැන දැනුවත් කරන්න.

මහාචාර්ය ආශු මාරසිංහ : ඔබතුමා සහරාන්ගේ ෆේස්බුක් ගැන මුලින්ම විමර්ශන පටන් ගන්නේ කොයි කාලයේද ?

නාලක ද සිල්වා : 2013 – 14 කාලෙදී අපි වෙබ්සයිට් පරීක්ෂා කළා. දැඩිව කරන්න පටන් ගත්තේ 2018දී. 2018දී මම වෙනම අංශයක් ස්ථාපිත කරමින් එතැන සිට පැය 24 පුරාම අපි සහරාන්ගේ ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කළා. සොයන්න ගත්තා. මට තේරුණා මෙයා එන්නේ වෙනත් ගමනක් යන්න කියලා.

මහාචාර්ය ආශු මාරසිංහ : සහරාන්ගේ ෆේස්බුක් බ්ලොක් කරන්න කියලා කාට හරි වාර්තා කළාද ?

නාලක ද සිල්වා : ඔව්, විවෘත වරෙන්තුව ගත්තාට පස්සේ ඊළඟ පියවර වන්නේ බ්ලූ නෝටිස් එක ලබා ගැනීම. ‘‘අවශ්‍ය පුද්ගයෙක්’’ කියලා පොලිස් ගැසට් එකේ පළ කිරීම. ඊළඟට ටී.අර්.සී එකට කියන්න ඕනෑ වෙබ්සයිට් බ්ලොක් කරන්න කියලා. ඊට පස්සේ එස්.එල්.ටී එකට කියන්න ඕනෑ ෆෙස්බුක් එකට කතා කරලා සයිට් එක බ්ලොක් කරන්න කියලා. ඒ් සියල්ලටම මම නියෝග ලබාදීලා තිබුණා.

මහාචාර්ය ආශු මාරසිංහ : ඒ කොයි කාලේ වගේද ?

නාලක ද සිල්වා : මම අත්අඩංගුවට ගන්නා තෙක් ඒ සියල්ලම ගියා.

මහාචාර්ය ආශු මාරසිංහ : කවදාද ඔබතුමා අත්අඩංගුවට පත්වන්නේ ?

නාලක ද සිල්වා : 2018 ඔක්තෝබර් 25


කාරක සභාව තෙවැනි දිනට ජූනි 06 වැනි දින රැස්වේ. එදින හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා සාක්ෂි දීමට නියමිතය.

Recommended For You

About the Author: Editor