රට තුළ නැවත කළු ජූලියක් ඇතිවීම වළක්වා ගැනීම අප සැමගේ වගකීමයි – මංගල සමරවීර

බඩගෝස්තරවාදී ජාතිවාදී අන්තවාදීන් කළු ජූලියක් බවට රට පත් කිරීමට ක්‍රියා කරනවා. එවැනි තත්ත්වයක් ඇති නොවී වළක්වා ගැනීම සෑමදෙනාගේම වගකීමක් යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති මංගල සමරවීර මහතා මේ කරුණු හෙළි කළේය.

මෙහිදී අදහස් දක්වමින් මුදල් ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මෙහිදී කිසිම දේශපාලන කාරණාවක් සාකච්ඡා වූයේ නෑ. විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටිය දී ප්‍රහාරයෙන් අපහසුතාවට පත් වුණ සියලුම ක්ෂේත්‍රවල උදවිය සඳහා ලබා දුන් සහන සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා සිදු කළ විමසීමට සම්පූර්ණ ප්‍රකාශයක් ලබන බ‍්‍රහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ දී සිදු කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පෞද්ගලික බස් රථ පවා පාඩු ලැබුවා. ඒ සම්බන්ධව ගැමුණු විජේරත්න මහතා කළ ඉල්ලීමකට අනුව සහන දුන්නා. විශාල ලෙස මුදල් වැය කර තොරණ සැකසීම, ඒවායේ නිර්මාණ කටයුතු සිදු කළ පිරිස, ගායනාව, නිරතවෙන පිරිස ආදී ක්ෂේත්‍ර ගණනාවකින් සහ වාදක කණ්ඩායම් වලින් ලැබුණ ඉල්ලීම් ඉටු කර දී තිබෙනවා.

ඉතාමත් සුහදව මෙම සාකච්ඡාව පැවතුණා. අපහසුතාවට පත්වූවන් වෙනුවෙන් ඇති කර දුන් සහන විපක්ෂ නායකවරයා පිළිගත්තා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයට ගොදුරු වී කෙටි කාලයක දී රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම ගැන විපක්ෂ නායකවරයා සතුට පළ කළා. කෙටි කාලයකින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම ගැන රජයක් වශයෙන් අපටත් විශාල සතුටක්.

බඩගෝස්තරවාදී ජාතිවාදී අන්තවාදීන් කළු ජූලියක් බවට රට පත් කිරීමට ක්‍රියා කරනවා. එවැනි තත්ත්වයක් ඇති නොවී වළක්වා ගැනීම සෑමදෙනාගේම වගකීමයි. ඒ බව විපක්ෂ නායකවරයාත් පිළිගත්තා. වචනයෙන් අන්තවාදීන් ලෙස ක්‍රියා කරන පිරිස් ඉන්නවා. ආණ්ඩුකාරවරුන් ඔප්පු කළ හැකි වැරැදි ක්‍රියා කර තිබිය යුතුයි. නමුත් බඩගෝස්තර අන්තවාදීන්ගේ වචන රටම අවුලන්නට කරන ක්‍රියා පමණයි.

Recommended For You

About the Author: Editor