දකුණු අප‍්‍රිකාව තෙවැනි වරටත් පරාදයි

ලෝක කුසලානය ගැන මහත් බලාපොරොත්තු තබා ගෙන එංගලන්තයට පැමිණි ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පිටපිට ම තෙවැනි වරටත් ඊයේ ‘සවුත්හැම්ටන්’ හිදී පරාජයේ වේදනාව වින්ඳා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 06ක පරාජයක් ලබමින්.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළේ ඉන්දියාවට ප‍්‍රබල අභියෝගයක් ලබාදීම සඳහා විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාදීමේ අදහසින් බව පැහැදිලියි.

ඒත් දකුණු අප‍්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස ලකුණු 06ක් පමණක් ලබා සිටි හෂීම් අම්ලා දවා ගැනීමට ‘‘ජස්ප‍්‍රිට් බුමරහ්’’ සමත් වුණා. බුමරහ්ගේ පන්දුවකට රෝහිත් ෂර්මා අතට උඩ පන්දුවක් ලබා දුන් අම්ලා පිටියෙන් ඉවත් වන විට දකුණු අප‍්‍රිකාව ලබා සිටියේ ලකුණු 11ක් පමණයි.

නැවත වරක් පැමිණියේ ද බුමරාහ්ගේ වාරයයි. ලකුණු 10ක් පමණක් ලබාගෙන සිටි දකුුණු අප‍්‍රිකානු පිතිකරු ‘‘ක්වින්ටන් ඩිකොක්’’ දවා ගැනීමට බුමරාහ් සමත් වුණා.

අඩු ලකුණු සංඛ්‍යාවකට මුල්පෙළ කඩුළු දෙකක් අහිකර ගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම තම නායක ‘‘ෆෆ් ඩුප්ලෙසිස්’’ ගැන මහත් බලාපොරොත්තු තබා සිටියත් ලකුණු 38ක් ලබා සිටිය දී ඔහුව පහසුවෙන් දඩයම් කර ගැනීමට ‘යුෂ්වේන්ද්‍ර වාහල්’ සමත් වුණා. ඊට පසුව යළි ක‍්‍රියාත්මක වූ යුෂ්වේන්ද්‍ර ලකුණු 22ක් ලබා සිටි ‘‘රාසි වැන්ඩර්’’ වද දවා ගත්තා.

අවසානයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගැන සිහින දකිමින් සිටි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හමුවේ සටහන් වුණේ 227/9ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ යුෂ්වේන්ද්‍ර වාහල් ලකුණු 51කට කඩුළු 04ක් සහ ජස්ප‍්‍රිට් බුම්රාහ් ලකුණු 35කට කඩුළු 02ක් දවා ගත්තා.

ඉන්දීය ඉනිම

ලකුණු 227ක් වැනි පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඒ අනුව රෝහිත් ෂර්මා පන්දු 144කදී නොදැවී ලකුණු 122ක් ද මහේන්ද්‍ර සිං දෝනි පන්දු 46කට ලකුණු 34ක් ද, ලෝකේෂ් රාහුල් පන්දු 42කට ලකුණු 26ක් ද ලබා ගත්තා.

පන්දු වාර 47.3කදී කඩුළු 03කට ලකුණු 230ක් වාර්තා කළ ඉන්දියාව පහසු ජයක් ලබා ගත්තා.
දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ‘කාගියෝ රබාඩා ලකුණු 39කට කඩුළු 02ක් ද වාර්තා කළා.

Recommended For You

About the Author: Editor