පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක්

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  පාස්කු ඉරුදින එළ්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 07ක් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් නම් කර තිබේ.

මෙම පෙත්සම් අද(07) බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමක් සහිත පෙත්සම් සේ සලකා ඒවා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් තීරණය කර ඇති බවයි.

මෙම පෙත්සම් ඉකුත් දා කැදවු අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල්  මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බැවින් එය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා මෙන්  නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිතිඥ සංගමය ,සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පියා වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය ඇතුළු පාර්ශව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Recommended For You

About the Author: Editor