ලංවිම කෙණහිලි නිසා වහළය මත සවිකරන සූර්යබල පද්ධති කර්මාන්තය අනතුරේ

වහළය මත සවිකරන සූර්යබල පද්ධති කර්මාන්තය විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන ප‍්‍රබල බලපෑම් හමුවේ නවතා දැමීමේ අවදානමක් පවතින බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් එම සංගමය මේ බව සඳහන් කර ඇත. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

වර්තමානය වන විට වහල මත සවිකරන සූර්ය බල පද්ධති කර්මාන්තය පිළිබඳ දැඩි ලෙස සෘණාත්මක මතවාද දරණ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජනයන් හමුවේ නවතාදැමීමේ අවධානමක් පවතී. මෙම මතවාදීන් විසින් ඉතා ප්‍රභල ලෙස මතු කරන තර්කය වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලයට වැඩි වශයෙන් ගෙවීම් කරන ලද පාරිභෝගිකයින්, මෙම සූර්යබල පද්ධති කර්මාන්තය හරහා ස්වයංජනන පාරිභෝගිකයින් බවට පරිවර්තනය වීම තුල, මණ්ඩලයේ ආදායම් තත්වය පහත වැටෙන බවයි.

ශුද්ධ මනුකරණ සහ ශුද්ධ ගිණුම්කරණ ක්‍රමවේදයන්

වැඩි විදුලි පරිභෝජන රටාවක් ඇති ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් ඒකකයක්/රු.45.00 බැගින් ගෙවීම් කරන අතර, අවම විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයින් (මාසික ඒකක 60 ක් පමණ පරිභෝජනය කරන) ඒකකයක්/රු.4.68 ක් වැනි ඉතා අවම මුදලක් ගෙවනු ලබයි. මෙම වැඩි විදුලි පාරිභෝජන රටාවක් ඇති ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් ප්‍රමාණය, ලංකා විදුලිබල මණ්ඩලයේ මුළු පාරිභෝගික ප්‍රජාවෙන් ප්‍රතිශතයක් ලෙස බැලූ විට 10% කටත් වඩා අඩු ප්‍රථිශතයක් වන අතර, එයිනුත් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් සූර්යබල පද්ධති සවිකරගෙන ඇත. තව ද මෙම පවත්නා ක්‍රමවේදය වෙනස්කම් වලට භාජනය කිරීමට හෝ නවතා දැමීම පිළිබඳ නිගමනයන්ට එළැඹීමට ප්‍රථම මෙම තත්වය පිළිබඳ රටේ ආර්ථික, සාමාජීය සහ පාරිසරික දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බලා විනිශ්චය කිරීම ඉතා වැදගත්ය.

රටට ඇතිවන ආර්ථිකමය බලපෑම

මෙම ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්, ඉදිරි මාස 12 කාල සීමාවකට මෙගාවොට් 50 ක් ජාතික පද්ධතියට එක් කලහොත්, එමගින් වාර්ෂිකව ආසන්න වශයෙන් ගිගාවොට් පැය 66 ක් ජනනය කරනු ඇත. එමගින් ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 66 ක් වැනි ඉහල ප්‍රමාණයක් ඉවත් කිරීමේ හැකියාව ලැබෙන අතර මෙම පාරිභෝගික කාණ්ඩය ස්වයංජනන පාරිභෝගිකයින් බවට පත්වේ. අනෙක් අතට, මෙම මෙගාවොට් 50 විදුලිබල ධාරිතාවය සහ ඉන් ජනනය වන මුළු ධාරිතාවය ජාතික පද්ධතියට එක් නොවේ නම්, එම විදුලිබල අවශ්‍යතාවය ඒකකයක්/රු.30.00 ක් වැනි ඉහල පිරිවැයක් දරා, පාරිසරික වශයෙන් හිතකර නොවන විකල්ප ශක්ති ප්‍රභව හරහා නිපදවා ගැනීමට සිදුවනවා පමණක් නොව, එසේ ඉහල පිරිවැයක් දැරීමට සිදුවීමේ ප්‍රථිඵලයක් ලෙස වාර්ෂිකව රුපියල් බිලියන 2 ක පමණ මුදලක් මේ රටේ බදු ගෙවන ජනතාවට දැරීමට සිදු වේ. එමගින් විදේශ විනිමය ප්‍රවාහයට සිදු වන අහිතකර බලපෑම කෙබඳුද යන්න අනෙක් වැදගත්ම කරුණයි. මෙම කරුණු සලකා බැලූ විට මෙම යෝජිත වෙනස්කම් සිදු කිරීමෙන් රටේ ප්‍රාග්ධන ගිණුම වඩාත් අනිසි සෘණාත්මක බලපෑමකට ලක් වන බව සක් සුදක් සේ පැහැදිලිය.

පුරවැසියන් හට සිදුවන සාමාජීය බලපෑම

මෙම යෝජිත වෙනස්කම් ක්‍රියාවට නැංවීම රටේ බදු ගෙවන ප්‍රජාවගේ සහ අනෙකුත් පුරවැසි ප්‍රජාවගේ මානව හිමිකම් කඩකිරීමකි. රටේ ජනතාව තමන්ට වඩාත් පිරිමැසුම්දායක සහ ලාභදායී ක්‍රමවේදයක් මගින් ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අයිතිය වලක්වාලීමට රජයට හැකියාවක් නොමැත. එකම වීදියක දෙපස වෙසෙන පුද්ගලයන් දෙදෙනෙකුහට එකිනෙකාගේ සමාන හිමිකම් සම්බන්ධයෙන් දෙආකාරයකට සැලකීමට  නොහැක.

පාරිසරික බලපෑම

පොසිල ඉන්ධන ආශ්‍රිත බලශක්ති ප්‍රභවයන්ගෙන් පරිසරයට සිදුවන අතිවිශාල හානිය හා සැසඳීමේදී, මෙගාවොට් 50 ක සූර්යබල සැපයුමක් මගින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 40,000 ක පමණ ප්‍රමාණයක් පරිසරයට විමෝචනය වීම වලක්වාලයි.

එසේ හෙයින් ශුද්ධ මනුකරණ සහ ශුද්ධ ගිණුම්කරණ ක්‍රමවේදයන් ඉවත හෙලීමට ඉදිරිපත් වී ඇති යෝජනාව නීත්‍යානුකූල නොවන සහ පදනම් විරහිත යෝජනාවක් බවත්, එමගින් රට තවදුරටත් පාරිසරික සහ මූල්‍යමය අගාධයට ඇද දමන බවත් අප අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු.

නෙට් ප්ලස් ක්‍රමවේදය

සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ යෝජිත, (2016 අගෝස්තු 26 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලද) දැනට පවත්නා නෙට් ප්ලස් අයක්‍රමය කාණ්ඩ දෙකක් යටතේ ප්‍රතිශෝධනයට ලක් කිරීමට යෝජිතය.

අ. කිලෝවොට් 50 ක් දක්වා වන වහලමත සවිකරන සූර්යබල පද්ධති සඳහා වසර 20 ක කොන්ත්‍රාත් කාලයකට යටත්ව ඒකකයක්/රු.19.75 ක අගයකට පහත හෙලීම

ආ. කිලෝවොට් 50 ඉක්මවන වහලමත සූර්යබල සවිකරන පද්ධති සඳහා වසර 20 ක කොන්ත්‍රාත් කාලයකට යටත්ව ඒකකයක්/රු.18.75 ක අගයකට පහත හෙලීම

සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉහත අයිතම අ සහ ආ යටතේ යෝජිත ප්‍රතිශෝධනයන්ට එකඟතාවය පලකර ඇතත්, ශුද්ධ මනුකරණ සහ ශුද්ධ ගිණුම්කරණ ක්‍රමවේදයන් අහෝසි කිරීමේ යෝජනාවට කිසිසේත්ම සිය එකඟතාවය පලකර නොමැත.

එසේ ශුද්ධ මනුකරණ සහ ශුද්ධ ගිණුම්කරණ ක්‍රමවේදයන් අහෝසි කිරීමේ යෝජනාවට සිය එකඟතාවය පලකර ඇති බවට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර, මෙමගින් රටේ රැකියා වියුක්ති අර්බුදය ඉහල දැමීමක් සහ බලශක්ති අර්බුධය ඉහල තලයකට ගෙනයනු ඇති බව අප සංගමයේ ස්ථාවරය බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.

Recommended For You

About the Author: Editor