මෝසම් වර්ෂාව සමග දිස්ත‍්‍රික්ක රැසක ඩෙංගු වසන්ගත තත්ත්වයක්

මේ වන විට සක‍්‍රීයව පවතින නිරිතදිග මෝසම් වර්ෂාව සමග දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම අවදානම් තත්ත්වය කීට විද්‍යා සමීක්ෂණ වාර්තා සහ වසංගත රෝග දත්ත මගින් තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම අවදානම වැඩිම දිස්ත‍්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කලූතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුරයයි.

ඩෙංගු මදුරුවන් වඩාත් සක‍්‍රීය වන්නේ පෙ.ව 06.00 සිට පෙ.ව 11.00 අතර කාලයේදී සහ ප.ව 03.00 – 07.00 දක්වා කාලය තුළ බැවින් දිවා කාලයේදී මදුරු දෂ්ඨ කිරීම් අවම කර ගැනීමට දිග ඇඳුම් ඇදීමත්, මදුරු විකර්ෂණ ආලේප තවරා ගැනීමත් ප‍්‍රයෝජනවත් වේ.

ඩෙංගු රෝගීන් සහ ඩෙංගු යැයි සැකකරන රෝගීන් ඔවුන්ගෙන් තවත් අයෙකුෙ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දිවා කාලයේ ද මදුරු දැලකින් ආවරණය වී විවේක ගැනීම අත්‍යවශ්‍යවේ.

උණ සහ හිසරදය, මස්පිඩු සහ හන්දි වේදනාව, ඕක්කාරය සහ වමනය, සමෙහි රතුලප හට ගැනීම, රුධිර වහන තත්ත්වයක් ඇත්නම් වහාම ළඟම පිහිටි රෝහලට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප‍්‍රතිකාර ලබාගත යුතුය.

ළදරුවන්ට සහ ගර්භනී මවුවරුන්ට උණ තත්ත්වයක් ඇති වූ වහාම නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදු කිරීම මගින් ඔබට මෙම වසංගතයෙන් ඔබත්, ඔබගේ සමීපතමයිනුත් ආරක්ෂා කර ගැනීමට හැකිය.

Recommended For You

About the Author: Editor