මුස්ලිම් ඇමැතිවරු ගත් තීන්දුව තමා අනුමත නොකරන බව මහින්ද කියයි

පසුගිය දා ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද (8) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමු වී තමන් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පැහැදිලි කළා.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන් යන හිටපු මැති – ඇමැතිවරු සහ ඒ.එච්.එම්. ෆවුසි මන්ත‍්‍රීවරයා ඇතුළු 07 දෙනකුගේ කණ්ඩායමක් මේ සඳහා සහභාගී වුණා.

මහින්ද රාජපක්ෂ මහතා සමග මහාචාර්ය ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

තමන් සාමුහිකව අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ හේතු පැහැදිලි කළ හිටපු ඇමැතිවරුන් විපක්ෂ නායකවරයාට කියා සිටියේ උපවාසයක නිරතව සිටි අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම සහ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් මතුවී ඇති බැවින් තමන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ බවයි. අන්තවාදයට තමන් විරුද්ධ බවත් සියලුම දෙනා එක්ව ජීවත් වන සමාජයක් බිහිකිරීම තම අපේක්ෂාව බවද ඔවුන් සඳහන් කළා. වසර 30 ක යුද්ධයේදී මුස්ලිම් මුස්ලිම් ජනතාව ඝාතනයට ලක් වූ අයුරු මෙම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නා

මෙහිදී මුස්ලිම් ඇමැතිවරුන්ගේ තීරණය සම්බන්ධයෙන් තම බලවත් කණස්සල්ල පළ කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් එකවරම ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් ජනවාර්ගික වශයෙන් නොබෙදී අන්තවාදය තුරන් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බව ද පෙන්වා දුන්නා.

ඒ සමග ම රාජපක්ෂ මහතා කියා සිටියේ මුස්ලිම් ජනතාව ප‍්‍රථමයෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් ගැන විශ්වාසය ඇතිකර ගත යුතු බවයි.

මේ අතර ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා

Recommended For You

About the Author: Editor