සාම්ප‍්‍රදායික වඩුමඩු තහනමක් නෑ: ජංගම ලී මෝල් නම් තහනම්

සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නොකරන බවත් ජංගම ලී මෝල් පමණක් තහනම් කිරීමට නීති සංශෝධනය කරන බවත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

මඩුමඩු සහ ලී මෝල් තහනම් කිරීමට පියවර ගන්නා බවට පසුගිය දා ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය සමාජය තුළ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස 2014 දෙසැම්බර් 3 වන දින ප්‍රකාශයට පත්කළ අංක 1891/ 26 දරණ දැවමඩු ලියාපදිංචිය හා දේපළ සලකුණු අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිතය. ඒ අනුව සාම්ප්‍රදායික වඩුමඩු තහනමට ලක්නොවන අතර 2022 වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට නියමිතය.

නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලී ලබා ගන්නේ නම් ඕනෑම අයෙකුට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට මෙම නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අනුව බාධාවක් ඇති නොවන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව තුළ වර්තමානය වන විට ජංගම ලී මෝල් 300ක් පමණ මේ වන විට ලියාපදිංචි කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor