ලාංකේය ගුරු පරපුරට නව මානයක් එක් කළ විශිෂ්ටත ම ‘ගුරුතරුව’

ගුරු වෘත්තිය සාර්ථක වන්නේ අත්දැකීම සහ පළපුරුද්ද මතයි යන සාම්ප‍්‍රදායික කියමන අලුත් දිශානතියකට රැගෙන ගිය ලාංකේය ගුරු පරපුරේ සැබෑ ගුරුතරුව ඔහුයි. ඔහු නමින් අසිත් මුතුකුමාරණ නම් විය.

මේ දවස්වල ඔබගේ වෘත්තීය ජීවිතයේ මොකද වෙන්නේ් ?

මේ දවස්වල කෙටි චිත‍්‍රපට තරගයකට මුහුණ දී ප‍්‍රථම ස්ථානය අපි ලබාගත්තා. ඒ වගේම පාසල් ළමුන් සමස්ත ලංකා තරඟ සඳහා පුහුණුවීම් කටයුුතු සිදුකරනවා. ඊට අමතරව ළමයින් වෙනුවෙන් න්‍යායාත්මක දැනුමෙන් ඔබ්බට ගොස් ප‍්‍රායෝගික දැනුම ලබාදීමට ඇකඩමියක් පටන් ගන්න සුදානම් වෙනවා.

ඔබගේ මගපෙන්වීම යටතේ ගෝලයෝ ගොඩාක් ජයග‍්‍රහන හිමිකරගෙන තියෙනවා. ඒ ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?

ඇත්තෙන්ම මේ පාසලට මං මුල්ම පත්වීම අරන් එනකොට මේ පාසලේ නාට්‍ය හා රංග කලාව කියන විෂයවත් තිබුණේ නැහැ. මීට අවුරුදු 04කට කලින් තමයි මේ විෂය පටන් ගත්තේ. එනම් කෙටි කාලය තුළ අපි ජයග‍්‍රහණ බොහොමයක් ලබා ගත්තා. ඇත්තෙන් ම අපේ පාසලට මේ සඳහා අවශ්‍ය උපකරණ නැහැ. ඒ වගේම අව්‍යශය පහසුකම් නැහැ. මේ ළමයි දක්ෂ වුණත් ඔවුන් හරි දුප්පත් දරුවෝ. මේවට යන සියලූ වියදම් හොයාගන්නේ ගොඩාක් මහන්සි වෙලා. ඉතින් මගේ තියෙන ලොකුම හීනේ තමයි මේ පාසලේ එක ළමයෙක් හරි කැම්පස් යවන එක. දැන් මගේ දරුවන්ට නාට්‍ය උණ හැදිලා ඉවරයි. ඉතින් මං තවත් මහන්සි වෙලා මගේ දරුවන්ව මේ ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට ම එක්කන් යනවා.

ඔබ අකුරු කරන පාසල ගැන පොඞ්ඩක් කතා කළොත්?

පුත්තලම මාරම්පුරිය, දලූව ශාන්ත ඇන්තනී මහා විද්‍යාලය තමයි මගේ අකුරු කරන පාසල. ළමන් 800ක් ඉන්න, විවිධ ජාතීන් මෙන්ම ආගම් ඉන්න බහු සංස්කෘතික පාසලක් කියලා කෙටියෙන් ම හඳුන්වන්න පුළුවන්. ඉස්කෝලෙට ආපු පළවෙනි දවසේ මගේ හිත වෙනස් කළා. මගේ ජීවිතයේ සුවිශේෂ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. මේ ළමයි මං වගේම දුෂ්කරතා මැද ඉගෙන ගන්න ළමයි ඒ නිසා ළමයි වෙනුවෙන් යමක් කළ යුතුයි කියන බලාපොරොත්තුව මට මුල් දවසෙම ඇති වුණා. ඉතින් අද මට හිතෙනවා මං පාසල වෙනුවෙන් යමක් කළා කියලා.

ගුරුවරයෙකු වීමේ ආසාව පොඩි කාලේ ඉඳන් ම තිබුණ ද?

නැහැ. පොඩි කාලේ මං ආස කළේ ලෝයර් කෙනෙක් වෙන්න. ඒත් ඒ සම්බන්ධ විෂයන් තෝරා ගැනීමට මට මෙන්ම මගේ දෙමාපියන්ට ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒත් මගේ දෙමාපියන්ගේ හීනේ වුණේ මං ගුරුවරයෙක් වෙනවට. මං උසස්පෙළ කරන කාලේ ඒ දෙන්නාගේ හීනේ මගෙත් හීනේ වුණා. ඒ හීනේ ප‍්‍රථිඵලයක් විදියට උසස් පෙළ සමස්වෙලා ශ‍්‍රී පාලි මණ්ඩපයට තේරුණා. කැම්පස් එකෙන් අවුට් වෙලා කාලයක් මං පිටපත් රචකයෙකු ලෙස සුසිල නිෂ්පාදන ආයතනයේ පිටපත් රචකයෙකු විදියට සේවය කළා. ඊට පස්සේ තමයි මට ගුරු පත්වීම ලැබුණේ.

2018 වසරේ ශ‍්‍රී ලාංකේය විශිෂ්ටත ම ගුරු තරුව ලෙසින් සම්මානය ඔබට හිමිමුණේ. ඒ ගැන පොඞ්ඩක් මතක් කළොත්

ඇත්තෙන්ම මං සම්මාන බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේවල් කරන්නේ. ළමුන් වෙනුවෙන්. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්. එත් මේ සම්මානය ලැබීම තුළින් මං තවත් දිරිමත් වුණා. ඇත්තෙන්ම අවුරුදු 05යි. මාස 06ක් මං ගුරු සේවයේ කටයුතු කරනවා. ඒ වගේ කාලයක් තුළ මං ළමයින් වෙනුවෙන් සිදු කළ කැපකිරීම් මත ලැබුණු සම්මානයක් ලෙස මං දකිනවා. ඇත්තෙන්ම තාම මට ඉන්න ගෙයක්වත් නැහැ. මේ සම්මානය මට හිමිවීමත් එක්ක අලූතින් ගෙයක් හදලා දෙනවා කියලා ගොඩක් අය පොරොන්දු වුණා. ඒ නිසා මං හිතුවා මගේ අම්මටයි, තාත්තටයි, මටයි සතුටින් ජීවත් වෙන්න ගෙයක් ලැබෙයි කියලා. ඒත් තවම අපිට ඉන්න තැනක් නැහැ. ඉතින් මං වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

නාට්‍ය හා රංගකලාව සම්බන්ධව විදේශීය විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. නාට්‍ය හා රංගකලාව කියන්නේ මචා්එැ වෙන විෂයක්. ඉතින් මේ ගැන නව තොරතුරු ඉගෙන ගැනීමේ අවශ්‍යතාව වර්තමාන සමාජය තුළින් මං දකිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

අවසාන වශයෙන් වර්තමාන ළමුන් වෙනුවෙන් ඔබතුමා දෙන පණිවුඩය මොකක්ද?

අද ඉන්න සමාජය වගේම අද ඉන්න ළමුන් එදාට වඩා ගොඩක් වෙනස්. අද ළමුන්ට වැරද්දකට දඩුවම් කරන්න බැහැ. අවවාද කරන්න බැහැ. එය සමාජය තුළින් ම මතුවුණ ගැටලූවක්. ඒ වගේම තාක්ෂණීකරණය වූ සමාජයක තාක්ෂණයෙන් ඈත්වෙලා අපිට ජීවත් වෙන්න බැහැ. ඒත් මං දකින්නේ වර්තමාන ළමුන්ගේ තියෙන්නේ තාක්ෂණික අවභාවිතයක්. එය නිසි පරිදි භාවිත කළ යුතුයි. ඒ වගේ ම විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය නිසා ළමුන් පන්ති කාමරට, පොතේ දැනුමට පමණක් සීමා වෙලා තියෙනවා. මං හිතන්තේ විෂය පරිභාහිර ක‍්‍රියා; විශේෂයෙන් ම සෞන්දර්ය, ක‍්‍රීඩා වලටත් අවධානය යොමු කිරීම වටිනවා. ඒ කියන්නේ හැමදේම සමබරව පවත්වාගෙන යෑම තමයි වැදගත් වන්නේ.

සැකසුම – ප‍්‍රසාදිනි ජයලාල්.

Recommended For You

About the Author: Editor