ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන ජාත්‍යන්තරයට සහතිකයක් දෙමින් ඉන්දීය අගමැති මෝදි අද ලංකාවට පැමිණෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (9) පෙ.ව 11.30ට දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා නිල සංචාරය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අවදානමට ලක්ව තිබූ ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත බවට ජාත්‍යන්තරයට දෙන සහතිකයක් බවත් එමගින් ශ‍්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ තම ජාතික ආරක්ෂාව සහතික කළ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව යළි ජාත්‍යන්තර අවධානය දිනා ගනු ඇතැයි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා ප‍්‍රකාශ කළේය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වශයෙන් පසුගිය 30 වනදා දිවුරුම් දීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙය වීම විශේෂත්වයකි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නායකයන් අතර නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීමට ද නියමිතය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වන අතර එහිදී කළ නිල ආරාධනය පරිදි එතුමා මෙම සංචාරයට එක් වෙයි.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.

ඉන්දීය අගමැතිවරයා මෙම සංචාරය තුළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ද හමුවීමට නියමිතය. ඒ අතර ඉන්දීය අගමැතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විනාශයටපත්, මේ වන විට ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුවන කොච්චිකඬේ පල්ලිය වෙත ද යාමට නියමිත බව වාර්තා වේ.


ඉන්දීය අගමැති මෝදිගේ පරිවාර ඇමැතිවරයා වශයෙන් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කරන බව ද සඳහන් ය.

සිය නිල සංචාරය අවසන් කරන අද දින ප.ව 03.30 ට ඉන්දීය අගමැතිවරයා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Recommended For You

About the Author: Editor