ධාරාණිපාත වැසි දකුණු අප‍්‍රිකා – කොදෙව් තරගත් සෝදා දමයි

ධාරාණිපාත වර්ෂාව නිසා තවත් තීරණාත්මක ලෝක කුසලාන තරගයක් සම්පූර්ණයෙන් අත්හැර දැමීමට අද (10) සිදු වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එය ද අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඕවර 7.3 ක් අවසානයේ වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා. ඒ විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප‍්‍රිකාව කඩුළු 2 ක් දැවී ලකුණු 29 ක් ලබා සිටියා.

මුළු ලකුණු සංඛ්‍යාව 28ක් වන විට හෂීම් අම්ලා ලකුණු 06කට සහ ඒඞ්න් මාක්‍රම් ලකුණු 05කට පිටියෙන් ඉවත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශෙල්ඩන් කොටේ‍රල් සමත් වුණා.

තරගය නතර කරන විට ක්වින්ටින් ඩි. කොක් ලකුණු 17ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු ලබා සිටියේ නැහැ.

පසුගිය සති කිහිපය පුරා එංගලන්තයට සහ වේල්සයට විටින් විට ඇද හැලෙන ධරාණිපාත වර්ෂාව නිසා මේ වන විට තරග කිහිපයක් සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වුණා. ඒ අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැති තරගය ද තිබුණා.

එංගලන්තය ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව ගැන බිය පළ කරන පේ‍්‍රක්ෂකයෝ පවසන්නේ මෙය අවාසනාවන්ත තත්ත්වයක් වශයෙන් සැලකිය හැකි බවයි. තීරණාත්මක අවසාන මහා තරගයට නම් වර්ෂාවෙන් කිසිදු බාධාවන් නොවේවා කියලා ඔවුන් දෙවියන් යදිනවා.

Recommended For You

About the Author: Editor