‘සිංහ – ව්‍යාඝ‍්‍ර සටන’ හෙට : ගරුත්වය රැක ගැනීමට දිමුත් සමත් වේවිද ?

ලෝක කුසලාන පළමු වටයේ 12 වැනි තරගය හෙට (11) ‘‘බි‍්‍රස්ටල්’’හිදී පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි.

මෙම තරගය අංශ කිහිපයකින් ශ‍්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට ද වැදගත් වන බව ක‍්‍රීඩා විචාරකයෝ සඳහන් කරනවා.

ශ‍්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ශ‍්‍රී ලංකා මේ වන විට මුහුණ දුන් තරග 03න් 01ක් දැවැන්ත ලෙස පරාජයට පත්වී ඇති අතර ජයග‍්‍රහණය කළ තරග සංඛ්‍යාව ද 01ක් පමණයි. ඒ නවක කණ්ඩායමක් වන ඇෆ්ගන්ස්ථානයට එරෙහිවයි. පාකිස්ථානය සමග පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. ඒ අනුව ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 03ක් ලබා ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකා මේ ආකාරයෙන් සැලකිය යුතු මට්ටමක සිටියත් ශ‍්‍රී ලංකාවේ පිතිකරුවන්, විශේෂයෙන් මැදපෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වී තිබෙනවා. මේ දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකුගෙන් ශතකයක් වාර්තා වී නැහැ.

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් ප‍්‍රබල විවේචනයක් ක‍්‍රීඩා විචාරකයින් අතර තිබෙනවා. ඔවුන් කියන්නේ ශ‍්‍රී ලංකාව ඉදිරියේදී ප‍්‍රබල කණ්ඩායම් 05ක් සමග තරග වැඳීමට නියමිත තත්ත්වය තුළ පිතිකරණය මීට වඩා ශක්තිමත්වීම අත්‍යවශ්‍ය වන බවයි.

බංග්ලාදේශය මුහුණ දුන් තරග 03න් එකක් ජයග‍්‍රහණය කළ අතර ඒ ප‍්‍රබල දකුණු අප‍්‍රිකා පිලට එරෙහවයි. තරග 02ක් පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබා ගෙන සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02ක්.

පිතිකරණය සම්බන්ධයෙන් ගත් විට බංග්ලාදේශ පිතිකරුවන් පසුගිය තරග 03දීම සාර්ථකත්වයට පත්ව තිබෙනවා.

ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ තරගය වැදගත් වන තවත් සුවිශේෂ කරුණක් තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකාව මේ දක්වා ලෝක කුසලාන තරග 03කදී බංග්ලාදේශය හමුවේ අපරාජිතව සිටීමයි.

මේ වන විට ශ‍්‍රී ලංකාව – බංග්ලාදේශය ලෝක කුසලාන 03කදී එකිනෙකා මුණගැසී තිබෙනවා. ඒ 2003, 2007 සහ 2015 වර්ෂවලදීයි. ඒ අවස්ථා ත‍්‍රිත්වයේදීම ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය පරාජයට පත් කර තිබෙනවා. එම පරාජයන් ද එසේ මෙසේ ඒවා නොවෙයි. 2003 දී බංග්ලාදේශය පරාජය කළේ කඩුළු 10කින් වන අතර 2007දී එය කඩුළු 06ක ජයග‍්‍රහණයක්\ 2015දී ලකුණු 92ක වාර්තාගත ජයග‍්‍රහණයක්.

ඒත් ලෝක කුසලානයෙන් බැහැරව නම් ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයට ලබා ඇති චරිත සහතිකය යහපත් නැහැ. ශ්‍රී ලංකාව 2018 වසරේ බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 4කට සහභාගි වී තරග 2ක් ජය ලබා තරග 2ක් පරාජයට පත්ව තිබෙනවා.

දෙරට අතර අවසන් එක්දින තරගය පසුගිය වසරේ 2018 සැප්තැම්බර් මස 15 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ලකුණු 137 කින් පරාජයට පත් වුණා.

මේ තත්ත්වය තුළ පැරණි පැටිකිරිය පමණක් ශ‍්‍රී ලංකාවට සෑහීමට පත් වීමට තරම් නොවන බවයි ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. ඊට හේතුව වන්නේ බංග්ලාදේශය මේ වන විට ජාත්‍යන්තර එක්දින පිටියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත් වෙමින් සිටිමයි. ලෝක කුසලානයට පෙර බංග්ලාදේශය, බටහිර ඉන්දිය කොදෙව් සහ අයර්ලන්තය අතර පැවැති තුන්කොන් තරගාවලියේ ද ජයග‍්‍රාහකයා බවට පත් වුණේ බංග්ලාදේශයයි.

මේ තත්ත්වය තුළ දිගින් දිගටම අසාර්ථක මැදපෙළක් සහ විශ්වාසය තැබිය නොහැකි මුල් පෙළක් සමග දිමුත් හෙට බංග්ලාදේශය හමුවේ කුමන ඉරණමකට මුහුණ දේ ද යන්න ගැන කැට තබා කතා කිරීමට නම් නොහැකි බවයි හෘද සාක්ෂියට එකඟව සඳහන් කළ යුත්තේ.

ඒ නිසා ‘‘සිංහ – ව්‍යාඝ‍්‍ර සටන’’ දෙස මැදිහත් සිතින් බැලීම තමයි වැදගත් වන්නේ.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor