කාලාත්මක සිිතුවම්වලින් පිරි දෙගල්දොරුව රජමහා විහාරය

කඳුරට සිරි අසිරිය ලොවට කියාපාන තවත් එක් සුවිශේෂ ඓතිහාසික පුදබිමක් ලෙස දෙගල්දොරුව රජමහා විහාරය හැඳින්විය හැකිය. විහාරයට ඉදිරිපසින් දුම්බර මිටියාවත හා මහනුවර සානුවේ පිහිටීමත් නිසා මෙම විහාරස්ථානය පිහිටා ඇති පරිසරය සිත්කළුය.

මහනුවර දිස්ති‍්‍රක්කයේ උඩගම්පහ කෝරළයේ මහවැලි ගංගා නිම්නයේ ලේවැල්ල නගරයට යාබඳව දෙගල්දොරුව රජමහා විහාරය පිහිටා ඇත. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා (කි‍්‍ර.ව.1746-1779) විසින් ගොඩනගන ලද්දක් වන මෙහි සම්පූර්ණ වැඩකටයුතු නිම කරවන ලද්දේ රාජාධිරාජසිංහ රජු (කි‍්‍ර.ව. 1779-1797) විසිනි.

මහනුවර යුගයේ සිතුවම් අතර ඉතා කලාත්මක බවින් පරිපූර්ණ සිතුවම් සහිත ලෙන් විහාරය ලෙස ප‍්‍රකට වන්නේ දෙගල්දොරුව රජමහා විහාරයයි. බැලූ බැල්මටම මෙම විහාරය දඹුලු විහාරයේ අනුරුවක් බඳුය. මෙහි ඇතුළු මණ්ඩපයේ රියන් 12 ක සැතපෙන පිළිමයක් හා හිටි පිළිම 4ක් ද ඉඳි පිළිම 2ක් ද නිර්මාණය කර ඇත. අඩි 40ක් පමණ උස් වූ පර්වතයක පාමුල මෙම විහාරය නිම කරවා ඇත. කඳු මුඳුනෙහි පැරණි බෝධි වෘක්ෂයක් ද දාගැබක් ද පිහිටා ඇත.

මෙම විහාරය කලාත්මක බවින් අනූන වන්නේ එහි ඇති බිතුසිතුවම් හේතුවෙනි. වෙස්සන්තර ජාතකය, මහා සුතසෝම ජාතකය, සත්තුභත්තජාතකය, මහා සීලව ජාතකය යන ජාතක කතා විහාර අභ්‍යන්තරය් සිතුවම් කර ඇත. ගලෙන්ම නිම කරන ලද වියන් තලයේ මාරපරාජය, පොළෝ මහී කාන්තාව, සදෙව් ලොව, සූවිසි විවරණය යන සිතුවම් ගණනාවක් මෙහි චිත‍්‍රණය කර ඇත.

විහාරස්ථානයේ හිස් අවකාශයක් දක්නට නොලැබෙන පරිදි විවිධාකාරයේ නෙළුම් මල් හා ලියවැල් සිත්තම්කර තිබේ. ගල්ලෙන තුළ ඇති ඇතැම් චිත‍්‍ර එනම්, තුසිත දෙව්ලොව අවට ඇති චිත‍්‍ර කිහිපයක් විනාශ වී ගොස් ඇති නිසා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් ඒවා මේ වන විට පිළිසකර කර තිබේ. මෙම චිත‍්‍ර තුළින් උඩරට රාජධානි සමයේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික තොරතුරු රැුසක් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ය.

එබැවින් පාසල් සිසුන්ට මෙන්ම මේ පිළිබඳ ඇල්මක් දක්වන විද්‍යාර්ථියින්ට ද දැනුම සහ අවබෝධය ලබාගත හැකි තෝතැන්නකි. එසේම දෙස් විදෙස් සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පත් මෙම පුදබිම අනාගතය වෙනුවෙන් රැක ගැනීමද අප සතු වගකීමක් වනු ඇත.

සැකසුම -ශානිකා සුලක්ෂී තිලකරත්න

Recommended For You

About the Author: Editor