මහත්වරුණි, පාකිස්ථානයෙන්වත් ආදර්ශයක් ගන්න : පාකිස්තාන හිටපු ජනාධිපති අත්අඩංගුවට

ලංකාවේ නම් දේශපාලනඥයෙක් අත්අඩංගුවට ගැනීම එකම යුද්ධයක් බවට පත් වෙනවා. අත්අඩංගුවට ගැනීම වළක්වන මූලික අයිතිවාසිකම් පෙත්සම්, ඉහළම තැන්වලින් සිදුවන මැදිහත්වීම්, නීතිය නැමීම ආදි දහසකුත් එකක් බාධක මැද තමයි අත්අඩංගුවට ගැනීම සිදුවෙන්නේ. ඒකත් එකම මාධ්‍ය සංදර්ශනයක්. ඊට පස්සේ ඉතිං බන්ධනාගාර රෝහලට.

ඒත් ලෝකේ හැම තැනම ලංකාවේ වාගේ නැහැ. ඒ බව අපේ අසල්වැසියන් වන ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වුණත් බොහෝ විට සනාථ කරලා තිබෙනවා. මෙහි අලුත්ම ජවනිකාව වාර්තා වන්නේ පාකිස්ථානයෙන්. පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් මතයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 2008 වසරේ සිට 2013 වසර දක්වා පාකිස්තාන ජනාධිපතිධූරයට ඔහු තේරී පත් වුණේ සිය බිරිද වූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ ඝාතනයෙන් අනතුරුවයි.

ඔහු සහ ඔහුගේ සහෝදරිය ව්‍යාජ බැංකු ගිණුම් පවත්වාගෙන යමින් පාකිස්තාන රුපියල් බිලියන ගණනක් වංචා කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා. පාකිස්තාන දේශපාලනයේ වඩාත් මතභේදාත්මක චරිතයක් වන අසීෆ් අලි සර්දාරි 1990 වසරේ සිට 2000 වසර තෙක් රජයේ කොන්ත්‍රාත්තුවක් ලබාදීමට අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වැරදිකරු වී සිර දඬුවම් විඳ තිබෙනවා. පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ද දූෂණ හා වංචා චෝදනා මත මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටිනවා.

ලංකාවට වඩා අන්ත දුෂිත රාජ්‍යයක් වුණත් ඔවුන්ගේ රටේ සැලකිය යුතු පරිදි නීතියේ ආධිපත්‍යයක් ක‍්‍රියාත්මක වන බවයි මේ අනුව පෙනී යනවා.

ඒත් ලංකාවේ දේශපාලනඥයින් කොතරම් වරප‍්‍රසාදිතයින් ද යන්න අල්ලස් චෝදනාවකට වරදකරු වී වසර 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබීමෙන්ම පැහැදිලි වෙනවා.

දේශපාලන හාල්මැස්සොත් මෙහෙම ජනාධිපති සමාව ලබන රටේ දේශපාලන තෝරු මෝරු ගැන හිතා ගන්නත් බැරි බවයි පෙනී යන්නේ.

Recommended For You

About the Author: Editor