වැස්ස වළාහක දෙවියන්ගේ අතේ තිබෙන ‘‘වැහි කුසලානය’’

‘‘වැහි කුසලානය’’ එහෙම කුසලානයක් ගැන අපි කවුරුත් අහලා නැහැ. ඒත් මේ දිනවල එංගලන්තයේ – වේල්සයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන තරගාවලියට ඇතැම් ක‍්‍රීඩා විචාරකයෝ අලූතින්ම පටබැඳ ඇති නම තමයි ඒ. අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට තරග 03ක් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුව තිබෙන අතර තවත් තරග කිහිපයක පන්දු වාර ගණන සීමා කිරීමටත් සිදු වුණා.

දැන් දැන් එංගලන්තවාසීන් වගේම කාලගුණ විද්‍යාඥයොත් සැක පහළ කරන්නේ අවසාන මහා තරගයට පවා වර්ෂාවෙන් බාධා සිදුවිය හැකි වාතාවරණයක් එංගලන්තය තුළ තිබෙන බවයි.

වැස්සේ වාසිය

අධික වර්ෂාපතනය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වූ තරග 3/2ක්ම ශ‍්‍රී ලංකාව මුහුණ දුන් තරග වීම සුවිශේෂත්වයක්. ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ එවැනි තත්ත්වයක් පසුගිය තරගාවලි 11 පුරාම වාර්තා වී නොමැති බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම කාලයකට බිඳින්න බැරි වාර්තාවකටත් නොදැනුවත්වම දායක වෙලා තිබෙනවා.

වර්ෂාපතනයෙන් සිදු වූ බාධා ගැන කතා කරන විට ඇතැම් විචාරකයින් පමණක් නොව පේ‍්‍රක්ෂකයින් පවා කියන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් ‘‘වැස්ස ආශිර්වාදයක්’’ වූ බවක් හැඟී යන බවයි. ඒ විශේෂයෙන්ම පාකිස්ථානය තරගය නිසා වෙන්න පුළුවන්. ඒත් මැදිහත් විචාරකයින් කියන්නේ ඊයේ වැස්සට සේදී ගිය බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා තරගය වුණත් ශ‍්‍රී ලංකාවේ අතඋඩ තිබූ එකක් නොවන බවයි.

ඒ කෙසේ වෙතත් මේ වන විට ලෝක කුසලාන පළමු වටයේ ඉදිරියෙන්ම සිටීමට අපරාජිත නවසීලන්තය සමත්ව ඇති අතර 3/0 (ප‍්‍රසාද ලකුණු 06ක්) ප‍්‍රසාද ලකුණු 04ක් සමග සත්කාර එංගලන්තය දෙවැනි 3/2 ස්ථානයේත්, ඉන්දියාව 2/0 ලෙස තෙවැනි ස්ථානයේත්, ඕස්ටේ‍්‍රලියාව සිව්වන ස්ථානයේත් පසුවන අතර ශ‍්‍රී ලංකාව තරග 3/1ක් ජයග‍්‍රහණය කර එකක් පරාජයට පත්වී සහ එකකින් සම ලකුණු ලබා ගෙන පස්වන ස්ථානයේත් පසු වෙනවා.

කුමන්ත‍්‍රණ කතා

ලංකාවේ අපි එංගලන්තේ ජීවත් වුණත් ‘‘රට ශ‍්‍රී ලංකාව’’ බව මනාව ඔප්පු කරන කතාත් මේ අතර ඉඳහිට ඇහෙනවා. ඒ අනුව ඊයේ බංග්ලාදේශ – ශ‍්‍රී ලංකා තරගය නැරඹීමට බි‍්‍රස්ටල් වෙත පැමිණ සිට ශ‍්‍රී ලාංකිකයෝ කීවේ ‘‘ලංකාවට තරග කරන්න දුන්නේ වහින පැති’’ කියලයි. තරගය අතහැර දැමීම නිසා උපන් වේදනාවෙන් එහෙම කිවුවත් කොහෙ ජීවත් වුණත් ‘‘කුමන්ත‍්‍රණ’’ ගැන අපේ ඔළුව හොඳට වැඩ කරන බව නම් ඒ ප‍්‍රකාශවලින් පැහැදිලි වුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව නම් ඉතාම පැහැදිලි කරුණක්. ඒ මේ දක්වා පැවැති තරග 03දීම ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු අතරට නොපැමිණීමයි. විශේෂයෙන් මැදපෙළ පිතිකරුවන් දක්වන දැඩි අසාර්ථකභාවය, ලකුණු අතරට නොපැමිණීම ශ‍්‍රී ලංකා නායකයාට දැඩි පීඩනයක් එල්ල කර තිබෙන බවක් දැකිය හැකියි.

දිමුත් කරුණාරත්න කියන කතාව – අපිට අවසන් පූර්ව වටයට යන්න පුුළුවන්


ඊයේ බංග්ලාදේශය සමග පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම සමග මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ දිමුත් කරුණාරත්න,

‘‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කැමති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි, දිනලා අවසන් පූර්ව තරගයට යන්න’’

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ වර්ෂාවෙන් සිදුවන බාධා කණ්ඩායමේ මානසිකත්වයට කෙසේ බලපාන්නේද යන්නයි. එයට පිළිතුරු දුන් දිමුත්,

‘‘ඇත්තටම ලෝක කුසලානය වාගේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වෙන තරගාවලියකදී අතිරේක දිනයක් යොදා ගන්න එක පහසු නැහැ. ඒ වගේම තමයි එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන එකත් පහසු නැහැ. ඒත් මමත් හිතන්නේ අතිරේක දිනයක් තියෙනවා නම් හොඳයි. නමුත් මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග 09කට ක‍්‍රීඩා කරන නිසා අතිරේක දිනයක් යොදා ගැනීම පහසුත් නැහැ’’

මේ අතර සුපුරුදු පරිදි අත්‍යවශ්‍ය ක‍්‍රීඩකයින් අබාධයට ලක්වීම ද සිදුව තිබෙනවා. මෙවර ආබාධයට ලක්ව ඇත්තේ නුවන් ප‍්‍රදීප්ය. ඒ සමග ලසිත් මාලිංගට ද තම තැන්දණියගේ අවමගුලට සහභාගීම සඳහා ලංකාවට යාමට සිදුව තිබෙනවා.

මේ ගැන තම අදහස් දක්වන දිමුත්,

‘‘නුවන් ප‍්‍රදීප්ගේ තත්ත්වය ගැන තවම කියන්න පුළුවන්කමක් නැහැ. ඔහුගේ ආබාධයෙන් පසුව ඔහුට පන්දු රකින්න පුළුවන් ද, පන්දු යවන්න පුළුවන් ද කියලා බලන්න ඕනා. ඒ නිසා ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තරගයට ඔහු වෙනුවට වෙනත් ක‍්‍රීඩකයෙකු යොදා ගන්න සිදුවේවි. මාලිංග අයියා ගැන කිවුවොත් ඔහු ලංකාවට ගිය වහාම ආපසු ඒවි. ඔහු ඒ බවට සහතික වුණා’’

අවසන් පූර්ව වටය ගැන දිමුත් කියන්නේ මෙවැනි කතාවක්,

‘‘ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළම ඉන්න කණ්ඩායම් සමග තමයි ඉදිරි තරග තියෙන්නේ. අපි බලන්නේ හැම තරගයක්ම දිනන්න. අපි බලාපොරොත්තු වෙනවා අපේ උපරිමය යෙදලා අවසන් පූර්ව තරගයට යන්න’’

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor