සහරාන්ලා ISIS කොඩිය අරන් යන කොට අපේ බුද්ධි අංශ සහ පොලිසිය කෙහෙද හිටියේ ? – අසාත් සාලි

තවුහිද් ජමාත් ගැන ආරක්ෂක ලේකම්වරු 05 දෙනෙකුට අපි වාචිකව හා ලිඛිතව කියල තියෙනවා

පොලිසිය සහරාන්ව අත්අඩංගුවට ගන්න යනකොට කාත්තන්කුඩියේ OIC මාරු කළා

සහරාන්ට සහ ISIS එකට විරුද්ධව දිගටම විරෝධය පළ කළේ මුස්ලිම් අය

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මම සිව් වතාවක් ජනාධිපතිවරයාගෙන් විමසුවා

අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි නැතැයි කීම පිළිගත නොහැකියි

ගෝඨාභය රාජපක්ෂ SLTJ එකත් එක්ක ළඟින් වැඩ කළා

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි තමන් සිව් වතාවක් ජනාධිපතිවරයාගෙන් විමසූ බවත් අවසාන වතාවේ දී ජනාධිපතිවරයා CID එකට කතා කළත්, එම දුරකථන සංවාදයේ දී, මොනවද කටු කුටු ගාල, පසුව ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඊයේ (11) පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බලන කමිටුව හමුවේ ප‍්‍රකාශ කළේය.

මෙම කමිටුව ඊයේ (11) ප.ව. 02.00 පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එදින කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඇතුළු තිදෙනෙක් කැඳවා තිබුණේය. එහිදී සාක්ෂි දෙමින් අසාත් සාලි මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

තවුහිද් ජමාත් ගැන ආරක්ෂක ලේකම්වරු 05 දෙනෙකුට අපි වාචිකව හා ලිඛිතව කියල තියෙනවා. ඒත් පොලිසියයි තවුහිද් ජමාත් සංවිධානයයි එකට වැඩ කරන්නේ. ඒ නිසා අපි කියපු දේවල් වලින් වැඩක් වුණේ නැහැ.

2017 සහරාන් සාම්ප්‍රදායික මුස්ලිම් ගෙවල් 120ක් ගිනි තැබුවා. සහරාන් ඇතුළු කණ්ඩායම කාත්තන්කුඩියේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ට කළ හිරිහැර ගැන පොලිසියට පැමිණිලි 09ක් දැම්මා. ඒත් පොලිසිය බැලුවේ නැහැ. අන්තිමේ දී සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කළා. ඒ වෙලාවේ පොලිසිය සහරාන්ව අත්අඩංගුවට ගන්න යනකොට කාත්තන්කුඩියේ OIC මාරු කළා.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සාක්ෂි දෙමින් සිටිය දී රාජිත සේනාරත්න ඇමතිවරයා හරස් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.

රාජිත: සහරාන් ඒ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශයෙන් පඩි ගන්න 26 දෙනාගෙන් කෙනෙක් බව දන්නවා ද ?

අසාද් සාලි: නෑ.

රාජිත: කාත්තන්කුඩියේ පොලිසිය අසරණ වෙන්න ඇත්තේ ඒ හින්ද තමයි.

සාලි: සහරාන්ට සහ ISIS එකට විරුද්ධව දිගටම විරෝධය පළ කළේ මුස්ලිම් අය. නැගෙනහිර ISIS කොඩිය අරන් යනකොට අපේ බුද්ධි අංශ කෝ? පොලිසිය කොහෙද හිටියේ ? (ඔහු ඡායාරුප කිහිපයක් පෙන්වමින් ප්‍රශ්න කළේය) ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් දේවස්ථාන සියල්ල නීතිවිරෝධීයි. ඒ සඳහා අනුමැතිය ලැබුණේ කෙසේදැයි මම දිගින් දිගටම ප්‍රශ්න කළා.

කමිටුව : එම මුස්ලිම් දේවස්ථාන ඉදි කිරීම සඳහා අනුමැතිය දුන් පුද්ගලයා කවුද?

සාලි: හලීම් ඇමතිතුමාගේ මල්ලි ෆාහිම්. සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මම සිව් වතාවක් ජනාධිපතිවරයාගෙන් විමසුවා. අවසාන වතාවේ දී ජනාධිපතිවරයා , CID ඒකට කතා කළත්, එම දුරකථන සංවාදයේ දී ,මොනවද කටු කුටු ගාල, පසුව ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකර හිටියා.

කමිටුව- අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත යුත්තේ ඇයි ?

“ISIS නායක බග්දාදිගේ නම ඇහෙනකොට මයිල් කෙලින් වෙනවා කියනවනම්, එයා කියන ඒවා තමයි ඇත්ත, ඒක තමයි ඉස්ලාම් කියල කියනවනම්, මූ ත්‍රස්තවාදියෙක් නෙවෙයි ද? ISIS ක්‍රියා කරන්නේ කුරානයට අනුව බව කියනවා. අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි නැතැයි කීම පිළිගත නොහැකියි. අබ්දුල් රාසික්ව අල්ලන්න එපා කියල උපදෙස් දෙනවා නම් ඒ අයම තමයි මේකට උදව් දෙන්න ඇත්තේ.

ආශු මාරසිංහ: කවුද ඒ?

අසාද් සාලි: ඒක තමයි හොයන්න ඕන.

රවී කරුණානායක: රාසික් කොහෙද ඉන්නේ?

අසාද් සාලි: පොලිසියත් එක්ක කොළඹ ඉන්නේ.

රවි කරුණානායක: ඔබ කියන්නේ දැනුවත්ව අල්ලන්නේ නෑ කියලද?

අසාද් සාලි : ඒකනේ මං කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ SLTJ එකත් එක්ක ළඟින් වැඩ කළා. ඔය කාලේ තමයි මාව ඇරස්ට් කළේ. බුද්ධි නිලධාරීන් මාව රෑට ඇවිත් හමු වුණා. මිලියන 500ක් ඔෆර් කරන්න ආවේ.ඒක කියන්න බය නැහැ. මිලියන 500 අරන් රටින් පිට යන්න කිව්වා.

කමිටු සාමාජිකයෙක්: කවුද කිව්වේ?

අසාද් සාලි: ආමි එකේ සාලිය. (බුද්ධි නිලධාරියෙකුගේ නමක්) මම ඒ මුදල් ලබා ගත්තේ නෑ. මාව අත්අඩංගුවට ගත්තේ මාධ්‍ය සාකච්ඡා කැඳවමින් ඉහත කී සියල්ල හෙළිදරව් කරමින් සිටි නිසයි.

Recommended For You

About the Author: Editor