තොග නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනයට ඉඩ දෙනවා – කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්

බඩඉරිඟු මිලට ගත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

අද (13) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් හැරිසන් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ වනවිට ගොවීන් ළඟ බඩඉරිඟු නෑ. තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් අත තමයි බඩඉරිඟු තියෙන්නේ. අපි ඉල්ලීමක් කළා රු. 45 සිට රු. 52 දක්වා මිලට බඩඉරිඟු තොග කුකුල් ව්‍යාපාරයේ යෙදී සිටින අයට සත්ව ආහාර සඳහා නිදහස් කරන්න කියලා සත්ව ආහාර සඳහා මේවා නිකුත් නොකළොත් ඉදිරියේදී මස් හා බිත්තර මිල ඉහල යාම සිදුවෙන්න පුළුවන්.ඒ නිසා ඉක්මනින් තොග නිදහස් කරන්න. නැත්නම් ආනයනයට ඉඩ ලබා දෙනවා යැයි පැවසීය.

එහිදී අමාත්‍යවරයා ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්විය.

2019 අයවැයෙන් බිලියන 110 ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා.ඒ මුදලින් කෘෂිකර්ම අංශයට බිලියන 92 ක් වෙන් කරලා තියෙනවා. ඉන් බිලියන 35 ක් වැය  කරන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන්. 2019 ධීවර අංශයට මිලියන  654.8 ක්,  2019 පශු සම්පත් අංශයට මිලියන 1,298 ක්,  2019 වාරිමාර්ග අංශයට බිලියන  16 ක් වගේම මෙවර අයවැය යෝජනා වලින් මිලියන 300 ක් විශේෂයෙන් අපේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා.

වී වගාවේ ඉහලම අස්වැන්න ලැබුණේ මේ  අවුරුද්දේ මහ කන්නයේ බව අප කියන්න ඕනෑ. ලොකු ලුණු ,සෝයා , බඩ ඉරිඟු ගොවීන්  ආරක්ෂා කරගැනීමට බදු පැනෙව්වා. ලොකු ලූණු සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමටත් අපි අපේක්ෂා කරනවා. රටකජු, බඩඉරිඟු, සෝයා ඇතුළු ධාන්‍ය වර්ග ආනයනය නවත්වා සියල්ල රටේ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහනින් උතුරේ රටකජු, අනුරාධපුරයට මුරුංගා වගේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 58 ක් ලෝක බැංකුවෙන් ලැබී තිබෙනවා. අපි විශේෂයෙන් මේ ව්‍යාපෘතියෙන් අවධානය යොමු කරන්නේ අපනයන කෘෂිකර්මාන්තය වෙතයි.

වාර්ෂිකව රසායනික පොහොර අධික ප්‍රමාණයක් පසට එකතු වෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න අපි පාංශු පරීක්ෂණය සිදු කරනවා. ඒ අනුව පසට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් යොදා ගැනීමට ගොවීන්ව උනන්දු කරවනු ලබනවා.

සේනා දළඹු හානිය නිසා හානියට පත් වූ වගාවන්ට අදාලව අපි වන්දි මුදල් ලබා දුන්නා. ඒ අනුව සේනා පාලනයට මිලියන 78 ක් වෙන්කළ අතර,  වන්දි වශයෙන් මිලියන 240 ක් ලබා දුන්නා. දේශගුණික සුහුරු කෘෂි ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක් අපිට ලැබී තිබෙනවා. එමඟින් එල්ලංගා වැව් පද්ධති, අමුණු, කෘෂිකර්ම වාරි පද්ධති අපි සකසනවා.  

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්  මිලියන 3260 ක් රටේම වැව් ප්‍රතිසංස්කරණයට වැය කර තිබෙනවා.  මෙවර වැව්  700 ක් ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෘෂි මාර්ග අමුණු ඇල වේලි එල්ලංගා ප්‍රතිසංස්කරණයට අපි මුදල් වෙන් කරලා තියෙනවා.

ගොවීන් වගේම අපි කාන්තාවන් කෘෂිකර්මාන්තයට යොමු කර ගන්නවා, සිතමු කාන්තා වැඩසටහන හරහා ලංකාවේ සිතමු කාන්තා සමිති 25,000 ක් විතර තියෙනවා. ඒ වගේම කුඹුරු ඉඩම් සියල්ල චන්ද්‍රිකා තාක්ෂණය මගින් සිතියම් ගත කිරීම මඟින් වගා හානි,  පොහොර නිකුත් කිරීම්, ඉඩම් භාවිතය පිළිබඳ මෙමඟින් දත්ත සෙවීම කාර්යක්ෂම කිරීමට අපි අපේක්ෂා කරනවා.

ජාතික පශු අස්වනු කලමනාකරණ ආයතනය මගින් 38% – 40% වන පලතුරු එළවළු හානිය අවම කිරීම පිණිස ඇසුරුම් භාවිතයට ඉදිරියේදී පියවර ගන්නවා.

උතුරු මැද දරුවන්ගේ යකඩ ඌනතාවයට සබලකරණය කරන ලද සහල් ලබාදීමේ වැඩසටහන ලෝක ආහාර වැඩසටහන ප්‍රතිපාදන මත ක්‍රියාත්මකයි. ඒ වගේම මිල්කෝ ආයතනය මඟින් දරුවන්ට කිරි වීදුරුවක් ලබා දෙමින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කරනවා.

කිරි ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරිමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බඩල්ගම කිරි නිෂ්පාදනාගාරය සමඟ දෛනික කිරි සැපයුම ලක්ෂ 7 දක්වා වැඩි කිරීමට අවධානය යොමු කරනවා.

පහල මල්වතුඔය, තල්පිටිගල, කළුගඟ වම ඉවුර, යාන්ඔය දැදුරුඔය ඇතුළු ජලාශයන්හි ක්‍රියාත්මක දේශගුණික අව බලපෑම්  කිරීමේ ව්‍යාපෘතියට ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 152 ක් වෙන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා  ඇතුළු අමාත්‍යාංශයට අදාල ආයතනවල හා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ද මේ සඳහා එක්විය.

Recommended For You

About the Author: Editor