Full Face හෙල්මට් සමගශ්වසන උපකාරක (respirators) තහනම් කිරීම නිවැරදිද?

මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීතියේ පදනමේ මෙතරම් ගැටලුකාරී කාරණා රැසක් තිබිය දීල යතුරුපැදිකරුවන්ගේ ෆුල්ෆේස් හිස්වැසුම අල්ලා ගෙන ඊට එරෙහිව පමණක් රජයේ නිලධාරීන් හා පොලිසිය කටයුතු කිරීමට ගැන සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරයි. එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සෞඛ්‍යමය කාරණාවක් මත තම ආරක්ෂාව වෙනුවෙන් යතුරුපැදිකරුවන් විසින් යතුරුපැදිය මතදී පලඳින මුහුණු ආවරණ වන හිස්වැසුම් හදිසි නීතිය යටතේ තහනම් බවට කියමින් නීතිපතිවරයා තම මතය වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගිය ජුනි 6 වනදා ඉදිරිපත් කර තිබේ.

මෙරට බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පසු වන අය, ශ්වසන රෝගී තත්තවයන්ගෙන් පසු වන අය හා වායු දූෂණය මැදින් ගමන් ගන්නා යතුරුපැදිකරුවන්, පොලිස් නිලධාරීන් මුහුණ ආවරණය වන ආකාරයෙන් පලඳින ශ්වසන උපකාරක (respirators) පැලඳීමට කටයුතු කරති. ඒවා ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවල ද පලඳින අතර ඒ තුළින් එම අයගේ ද හඳුනා ගැනීමට ඍජු හා බරපතළ බාධාවක් සිදුවේ.

1. ඒ අනුව, ඒවා පැලඳීම මුහුණ ආවරණය තහනම් කිරීම සම්බන්ධයෙන් 2019.05.13 දින නිකුත් වූ ජනාධිපතිවරයාගේ 2123/4 ගැසට් නිවේදනයේ සඳහන් 32අ(1) වගන්තියේ සඳහන් හදිසි නීතිය කඩ කිරීමක් නොවේ ද?

2. මුහුණ ආවරණය වන ඒවා පැලඳීම නීති විරෝධී නම්, ඒවා පලඳින රෝගියකු හෝ යතුරුපැදිකරුවෙකුට, පොලිස් නිලධාරියෙකුට අධිකරණයක් හමුවේ ලැබෙනා උපරිම හා අවම දඬුවම කුමක් ද?

3. ඒවා පැලඳීම නීති විරෝධී නොවන්නේ නම්, අදාළ පාර්ශවවලට ඒවා පැලඳීම සඳහා අනුමැතිය ලබා දෙන ලිඛිත නීතිය කුමක් ද? ඊට අදාළ ගැසට් අංක හා වගන්ති වෙන වෙනම ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

තවද, මුහුණ ආවරණය තහනම් කිරීම සම්බන්ධයෙන් 2019.05.13 දින නිකුත් වූ ජනාධිපතිවරයාගේ 2123/4 ගැසට් නිවේදනයේ සඳහන් 32අ(1) වගන්තියේ සඳහන් හදිසි නීතිය අනුව –

4. විවිධ ක්‍රීඩා කටයුතු සඳහා පලඳින හිස්වැසුම් මගින් ද හඳුනා ගැනීමට බාධාවක් වන බැවින් හා ඒවා ද ප්‍රසිද්ධ ස්ථානවල දී පලඳින බැවින්, ඒවා පැලඳීම හදිසි නීතිය කඩ කිරීමක් නොවේ ද?

5. උත්සව හා වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සඳහා, ළමුන් සතුටු කිරීම සඳහා විවිධ සතුන් හා කාර්ටූන් චරිත ලෙස පෙනී සිටිමින් මුහුණ හා සම්පුර්ණ ඇඟ ආවරණය වන ඇඳුම් පැලඳ ප්‍රසිද්ධ ස්ථානවල සිටීම හදිසි නීතිය කඩ කිරීමක් නොවේ ද?

6. විවිධ සංස්කෘතික, නාට්‍ය හා කලාත් මක උත්සව සඳහා මුහුණ ආවරණය වන ඇඟලුම් හා උපකරණ ප්‍රසිද්ධ ස්ථානවල දී පැලඳ සිටීම හදිසි නීතිය කඩ කිරීමක් නොවේ ද?

7. යකඩ පෑස්සීම් සිදු කරන අය, ඒ සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ වන උපකරණ ප්‍රසිද්ධ ස්ථානවල දී පැලඳ පෑස්සීම් කිරීම හදිසි නීතිය කඩ කිරීමක් නොවේ ද?

4, 5, 6, 7 හි සඳහන් දේ පැලඳීම නීති විරෝධී නොවන්නේ නම්, ඒවා පැලඳීම සඳහා අනුමැතිය ලබා දෙන ලිඛිත නීතිය කුමක් ද? ඊට අදාළ ගැසට් අංක හා වගන්ති වෙන වෙනම ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීතියේ පදනමේ මෙතරම් ගැටලු කාරී කාරනා රැසක් තිබිය දී, යතුරුපැදිකරුවන්ගේ ෆුල්ෆේස් හිස්වැසුම අල්ලා ගෙන ඊට එරෙහිව පමණක් රජයේ නිලධාරීන් හා පොලිසිය කටයුතු කිරීමට ගැන අප සංගමයේ බලවත් අප්‍රසාදය අපි මින් ප්‍රකාශ කර සිටිමු.


Recommended For You

About the Author: Editor