තිරසාර සංවර්ධනය පිළිබඳ සම්මානය ලබාගත් එකම සහ ප‍්‍රථම ආසියානු තරගකරුවා මමයි – දුලාන් දේශප‍්‍රිය රත්නායක

‘‘මට ගහපු ගල් මුල් වලට බයේ හැංගුණා නම්, අද දුලාන් දේශප‍්‍රිය රත්නායක කෙනෙක් කියලා නැහැ’’ දුලාන් දේශප‍්‍රිය රත්නායක මා සමග කතාවට ප‍්‍රවේශයක් ගනිමින් කිව්වා.

දුලාන් දේශප‍්‍රිය රත්නායක කියන්නේ, ලංකාවේ විලාසිතා කලාව ලෝකෙට අරන් ගිහින් සම්මානයට පාත‍්‍ර වුණ විශිෂ්ටයෙක්. ඒ වගේම රූපලාවන්‍ය ශිල්පියෙකු, හඬ කැවීම් ශිල්පියෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු ලෙසත් අපට ඔහුව හඳුනා ගන්න පුළුවන්. මේ දුලාන් තමන් ආ ගමන් මග සහ මුහුණ දුන් බාධක ගැන කියන කතාව.

ඉතින් දුලාන්, ඔබ ගැන විස්තරයකින් සාකච්ඡව පටන් ගනිමු.


මම දුලාන් දේශප‍්‍රිය රත්නායක. රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙසටත්, මෝස්තර නිර්මාණ ශිල්පියෙකු මෙන්ම හඬ කැවීම් ශිල්පියෙකු ලෙස වැඩ කටයුතු කරනවා. මගේ ගම පොළොන්නරුව. ඒත් දැන් පදිංචිය බත්තරමුල්ලේ. එ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ විදේශ විද්‍යාලයකින් උපාධි ලබාගෙන තියෙනවා. මම කලින් ශ‍්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ රැුකියාව කළ නමුත් මගේ අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපාර කටයුතු නිසා මං රැකියාවෙන් ඉවත් වෙලා මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා.

ඔබ කැමති ද ඔබගේ පවුලේ විස්තර ගැන කතා කරන්න.


මගේ පවුලේ අම්මයි, අක්කයි, නංගියි ඉන්නේ. තාත්තා හිටපු අමාත්‍යයවරයෙක්. එයා නැති වෙලා අවුරුදු 03කට ආසන්නයි. මගේ අම්මා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ගුරු උපදේශිකාවක්. අක්කත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේමයි. නංගි වෛද්‍ය ක්ෂේත‍්‍රය පැත්තෙන් රැකියාවක් කරනවා.

මේ දවස්වල මොකද වෙන්නේ?

පහුගිය කාලේ රටේ තිබුණ වතාවරණයත් එක්ක යම් ප‍්‍රමාණයකට ව්‍යාපාර කටයුතු අඩු වුුණා. ආරාධනා ලැබෙන උත්සව බොහොමයකට සහභාගී වුණා සහ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම රූපවාහිනි වැඩසටහන් වලටත් සහභාගී වෙනවා. ඒත් එක්කම අලූත් වැඩක් පටන් ගන්න යනවා. ඒකටත් සූදානම් වෙනවා. ඒ ගැන විස්තර ඔයාලා හරහා ම මම කියන්නම්. ඔය හැම දේම එක්ක ජීවිතේ ගලාගෙන යනවා.

ඔබට පොඩි කාලේ ඉඳන් ම ඩෙ‍්‍රස් ඩිසයිනර් කෙනෙක් වීමේ බලාපොරොත්තුවක් තිබුණද?

නැහැ. කොහෙත් ම නැහැ. මට අවශ්‍යය වුණේ නීති ක්ෂේත‍්‍රයෙන් ඉදිරියෙන් යන්න. නමුත් දිස්ත‍්‍රික් රැන්ක් එකක් ගන්න ලැබුණත් නීති පිඨයට යෑමට z අගය මදි වුණා. ඊට පස්සේ මං ප‍්‍රසංගික කලාව තෝරගත්තා. ඉන් අනතුරුව නව නිපැයුම් සිදුකිරීමට යොමුවුණා. ඒ වගේම මං ජාත්‍යන්තරයට ගිහින් රටවල් 156කින් ප‍්‍රථමයා වෙලා ලංකාවට කීර්තියක් ගෙනාවා. ඔය අතරේ තමයි මට කැළුම් පාලිත සර්ව මුණ ගැහෙන්නේ. එයාගේ මඟපෙන්වීම යටතේ සහ බුද්ධිනි ජයවර්ධන මිස් සහ චමිල් උදයංග අයියාගේ මඟපෙන්වීම යටතේ තමයි මම මේ ක්ෂේත‍්‍රයට එන්නේ.

ඔබගේ පවුල් පසුබිමත් එක්ක ඔබ වෙනම ක්ෂේත‍්‍රයක් තෝරාගෙන තියෙන්නේ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

පොඩි කාලේ ඉඳන් ම මට ගෙදරින් මේක කරන්න, මේක කරන්න එපා කියලා බලපෑමක් තිබුණේ නැහැ. මම බහතෝරන කාලේ ඉඳන් ම මං මුහුණ දුන්නේ සහ මට තිබුණේ දේශපාලන පසුබිමක්. සමහර දවස්වලට අපි තාත්තාව දැක්කේ සතියකට එකපාරයි. ඒ තාත්තා දේශපාලන වැඩකටයුතු නිසා ය. ඒ කාර්ය බහුලත්වය දැකලා මං දේශපාලනයට වැඩි කැමැත්තක් දැක්වුවෙත් නැහැ. මාව ඒ සඳහා යොමු කරන්න තාත්තා උත්සහ කළෙත් නැහැ. A/L වලින් පස්සේ අහම්බෙන් මං මේ ක්ෂේත‍්‍රයට ආවේ. ඉන් පසුව මේ ක්ෂේත‍්‍රය සම්බන්ධව හැදෑරීමක් කරලා නියමිත ප‍්‍රමිතියට අනුව ක්ෂේත‍්‍රයට මං ආවා. නමුත් ඒ අතරේ මං ගුවන් විදුලිය හා සම්බන්ධ වීමත්, නර්තන කටයුතුත් මං තවදුරටත් සිදු කරනවා.

මේ ෆීල්ඞ් එකෙන් ඔබ ලංකාව පමණක් නෙමෙයි ලෝකයත් ජයගන්න හැකියාව ලැබුණා කියලා ඔබ මුලින් කිව්වා. ඒගැන මතක් කළොත්.

ඔව්. මං 2013 දී ලෝකයේ හොඳම ඩෙ‍්‍රස් ඩිසයිනර් විශේෂයෙන් ම ස්ටෙ‍්‍රච් මෙටීරියල් අංශයෙන් ජයග‍්‍රහණය කරනවා. ඊට පස්සේ තිරසාර සංවර්ධනය පිළිබඳ සම්මානය (Sustainable Development Award) ලංකාවට ගේනවා. එම සම්මානය ලබාගත් එකම සහ ප‍්‍රථම ආසියානු තරගකරුවා මමයි.

මේ ක්ෂේත‍්‍රය තුළින් ඔබට මෙච්චර දුරක් එන්න විශේෂයෙන් උදව් කළ අය ඉන්නවාද?


ඇත්තෙන් ම ඔව්. මට මෙච්චර දුරක් එන්න උදව් කරපු හැමෝම මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ම මගේ ගෙදර අය. ඊට පස්සේ දිනායා පීරිස්, චමිල් උදයංග, බුද්ධිනි ජයවර්ධන, රුවිනි බටුවන්ගල, කැළුම් පාලිත මහිරත්න, විශ්ව පෙරේරා, මයුමි, චන්දිමාල්, නිලූ සහ අර්ජුන සේනානායක ඒ වගේම මගේ හොඳම යාළුවා අමාලි ඉන්දීවරි හැම වෙලාවෙ ම මට ශක්තියක් වුණා. මේ අය තමයි දුලාන් දේශප‍්‍රිය කියන කෙනාව හැදුවේ. ඒ අයට බොහොමත් ස්තූතියි.


ක්ෂේත‍්‍රය තුළින් ඔබට විවේචන, කටකතා එල්ල වෙනවා නේද?

මං වැඩකරන ක්ෂේත‍්‍රයත් එක්ක මට ගොඩාක් විවේචන එල්ල වෙනවා. එයට හේතුව ලෙසින් මං දකින්නේ මං කෙලින් වැඩකරන කෙනෙක් නිසා වෙන්න ඇති. මම ඒ කිසිදෙයකින් වැටිලා නැහැ. මට ගහපු ගල් මුල් වලට බයේ හැංගුණා නම් අද දුලාන් දේශප‍්‍රිය රත්නායක කෙනෙක් කියලා නැහැ. ඒ වගේම තමයි මම බුදු දහම විශ්වාස කරනවා. ඒ නිසා මං හැමෝම එක්ක සතුටින් හිනාවෙලා බොහොම සැහැල්ලූවෙන් ඉන්න කෙනෙක්.

ඉදිරියේදි අපට ඔබ සහ ඔබගේ නිර්මාණ දැකිය හැකිද?

මං මුලින් ම කිව්වානේ අලූත් වැඩක් කරනවා කියලා. ඒකෙන් ඔයාලට මාව දකින්න පුළුවන් වෙයි. මං කොස්ටියුම් කරපු ටෙලි නාට්‍යයක් ළගදී එන්න තියෙනවා. තව චැනල් කිහිපයක වැඩ වගයක් සිදු කිරීමට සාකච්ඡ මට්ටමින් තියෙනවා. ඒ වගේම ලස්සන වැඩ ගොඩාක් ගිනස් වාර්තාවකුත් එක්ක එන්න තියෙනවා. ඉදිරියේ දි ඔයාලාට ඒ ගැන කියන්නම්.

සංවාදය සහ සටහන – ප‍්‍රසාදිනි ජයලාල්

සංවාදය සහ සටහන – ප‍්‍රසාදිනි ජයලාල්

                 

Recommended For You

About the Author: Editor