අපේ උක් වගාව රකින්නේ පාකිස්තාන කෘමි හමුදාවක්

කෘමිනාශක නැති, වියදම අවම, පරිසර හිතකාමී ජෛව පාලනයේ තවත් සාර්ථක පුවතක් එළිදකී : උක් පර්යේෂණායතනයේ කෘමි මර්දන වැඩසටහනට ඉන්දීය සමුළුවකදී සම්මාන: සීනි කම්හල් වහලා, වගාබිම් වල් බිහිවෙලා : 93% ක් සීනි පිටරටින් කන්තලේ සීනි කම්හලට බාලගිරි දෝෂය

රජවාසල මැදමිදුලේ එලා තිබූ සීනි පැදුරේ පෙරලී ‘උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්’ කියමින් තම පුත්‍රයාත් සමග සීනි කෑ කතාන්තරය තලු මරමින් රසවින්දා මිස, හරස් ප්‍රශ්න ඇසීමට එදා  අපට උවමනාවක් තිබුනේ නැත.

පැදුරුවල දමා වේලන තරමට සීනි තොග, රජවාසල තිබුණේ ඇයිදැයි අදට නම් ප්‍රශ්නයකි. ආර්ථිකය හා දේශපාලනය ලපටි සිතුවිලි තුලටද රිංගා, පද්ධතිය අවුල්කර ඇති වර්තමානයේදී නම්, කතාව අසා සිටිනා පොඩි එකෙක් වුවත්, ඒවා දේශීය නිෂ්පාදනද නැතහොත් ආනයනික සීනි දැයි ඇසුවත් කලබල විය යුතු නොවේ.

අද දරුවන් යමක් ඉගෙනගන්නේ තර්ක කිරීමෙන් පසුවය. අන්දරේ උපන්නේ මාතර පැත්තේ 1742 දීය. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයයි. එතුමා වසර 33 ක් පමණ රජකම් කරද්දී රජවාසල කවටයා වූයේ අන්දරේය. එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් විදේශිකයින්ට ඉඩම් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත්කර 1824 දී, එනම් රජුගෙන් වසර 44 කට පසු, වැවිලි වගාකරුවන්ට හිතවාදී ප්‍රතිපත්ති හඳුන්වා දෙත්දී, උක් වගාවද මෙරට කැපී පෙනෙන ව්‍යාපාරයක් බවට පත්වුණි. ඉතිහාසය තව දුරටත් පවසන්නේ 1840 දී පමණ මෙරට උක්වගාව ක්‍රමයෙන් ස්ථාපනය වූ බවයි.

එසේනම් අන්දරේගේ කාලයේදී බිම දමාගෙන කෑමට තරම් උක් සීනි තිබෙන්නට නුපුළුවන. එහෙත් රජවාසල කතාව ඇත්තක් නම් අන්දරේ පෙරලෙන්නට ඇත්තේ උක් යුෂ යොදා සෑදූ සීනි පැදුරක් මත නොවන්නටද ඉඩතිබේ. එය උක් සීනි නම්, අද දවසේ පවා අප අවශ්‍යතාවයෙන් 93% ක්ම සීනි පිටරටින් ගෙන්වන නිසා ඒවාද, ආනයනික සීනි වන්නටද පුළුවන. මන්දයත් උක්යුෂ යොදාගෙන ස්පටික සීනි නිපදවීමේ කර්මාන්තය ඉන්දියාවේ වසර 2000 ක් පැරණි ව්‍යාපාරයක් නිසා මෙහි රැගෙන ඒමේ එතරම් ගැටලුවක්ද නොතිබිය හැකි බැවිනි.

ජනප්‍රවාදයේ මෙවැනි පැණිරස කතා සීනි වෙනුවෙන් ලියවී තිබුනත්, සීනි කන්ටේනර් අස්සේ මත්ද්‍රව්‍ය එනබව ඇසෙන විටනම් දිවට දැනෙන්නේ තිත්ත රසක්ය. ලාංකිකයෙක් වසරකට කිලෝ ග්‍රෑම් 30 ක් සීනි කයි. මෙය සිමෙන්ති කොට්ට බාගයකට ටිකක් වැඩිය. එනම් අවුරුද්දක අවශ්‍යතාවය ගණන් බලා ඇත්තේ මෙට්‍රික් ටොන් 550,000 ක් වශයෙනි. 2012 වසරේදී අපේ නිෂ්පාදනය වූයේ ටොන් 42940 ක් වන අතර එය අවශ්‍යතාවයෙන් 7% ක සොච්චමක් වේ. රුපියල් බිලියන 20 ක් රට්ටුන්ට ගෙවා ඉතිරිය අප පිටරටින් ගෙන්වා ගොඩබා ගන්නෙමු. එම වියදම දෙවෙනි වන්නේ ආහාර බෝග අතරින් තිරිඟු පිටි ආනයන වියදමට පමණය.

තේ, රබර්, පොල් ආදී අනෙකුත් කර්මාන්තයන් හා සසඳා බලන කල උක් වගාව හා ඊට බද්ධවූ සීනි කර්මාන්තය තරම් හැල හැප්පීම් වලට ලක්වූ වෙනත් වගාවක් හා ඒ ඇසුරෙන් වූ කර්මාන්තයක් නොමැති තරම්වේ. ඉන් බොහොමයකට හේතුව දේශපාලනයයි. කලෙක සීනි පිළිබඳව ඇමතිවරයෙක්ද අපට සිටියේය. ඇතැම්විට ‘සීනි ඇමති’ පට්ටම හාස්‍යයට ලක්වුවද, ඒ කාලයේ සීනි කර්මාන්තයේ උන්නතිය උදෙසා ප්‍රයෝජනවත් යමක් සිදුවූ බවද තතු දන්නෝ පවසති.

උක් ගොවීන් වැඩි ලාභය අරමුණු කරගෙන උක් වගාව අතහරිමින් කෙසෙල් වගාවට යොමුවෙමින් තිබූ වකවානුවකදී පැමිණි ‘සීනි’ අමාත්‍යාංශය, උක් ටොන් එකකට ගෙවන සහතික මිල වැඩිකිරීම තුලින් පමණක් සෑහෙන ගොවීන් පිරිසක් ආපසු උක් වගාව වෙත හරවා ගැනීමට හැකිවීම මේ අතරින් ප්‍රධානය.

1981 සම්මත වූ පාර්ලිමේන්තු පනතක් හරහා උක් පර්යේෂණායතනය නම් ආයතනයක් 1982 දී කන්තලේ පිහිටවූවද, නැගෙනහිර පැවති යුදමය වාතාවරණය නිසා, වඩාත් සවිමත්ව 1986 අග භාගයේදී එය උඩවලවේ වෙත රැගෙන ඒම හරහා, අඩනින්දේ සිටිනා උක් කර්මාන්තය යම් පමණකින් හෝ අවදි කිරීමට රජය උත්සාහ දරා තිබේ.

එදා තරුණ විද්වතුන් ලෙස එහි සේවයට ගියවුන් බොහෝ දෙනෙක් මේ වනවිට විශ්‍රාම ගොසිනි. වත්මන් අධ්‍යක්‍ෂවරයා කන්තලෙන් පටන්ගෙන උඩවලවේ ආ කණ්ඩායමේ අන්තිම පුරුකයි. මේ සෑමදෙනාම තම ගම්බිම් ලක්බිමේ කොතැනක පිහිටියද, උක්යායේම පදිංචිව සිටිමින් පර්යේෂණ මෙහෙයවන්නේ අන්දරේලා මෙන් රටවැසියාට පෙරලි පෙරලී කන්නට සීනි හදන්නට නොව, වක්කඩ කැඩුවා සේ පිටරටට ඇදීයන මහා ධනස්කන්ධයට හැකි පමණින් හෝ ඇබයක් ගසන්නටය. කලකට ඉහතදී එනම් 2012 වසරේදී, කන්තලේ සීනි කම්හලක් අරඹනවා කියමින්, ඒ වෙනුවෙන් ගොවීනට උක් පැල හදා දෙන කර්තව්‍යයද ඔවුනට භාරදුනි.

වගකීම කරට ගත් විද්වත් මඩුල්ල හෙක්ටයාර් 40 ක් පුරා උක් තවාන් දැමීය. එහෙත් හැදුනු ෆැක්ටරියක් නම් නැත. පාලකයෝ කඹය දෙපැත්තෙන් අල්ලාගෙන ඒ මේ අතට අදිමින් සිටිති. පර්යේෂකයෝ මේ උක්යාය අදටත් බලාකියා ගනිති. තම තවානේ ලොකුවෙන උක්ගස් කපමින්, එහෙමෙහේ බෙදා හරිති. පරිසරය වනසන බෙහෙත් වර්ග නොගසා සොබාදහම හා එකමුතුව පලිබෝධ උවදුරු පිටුදකිති. එසේ කරන්නේ අහිංසක ගැමියා අල්ලේ ලෙවකන සීනි ඇටයට වසවිස නොහෙලන්නටය. පරිසරයේ සිටිනා අහිංසක කෘමීන් රැකගන්නටය. 

උඩවලවේ උක් පර්යේෂණායතනයේ සේවය කරන මෙම විද්වතුනට, ඔවුන්ගේ සැඳෑ සමයේදීවත් ගම් පළාත් වලට එන්නට ස්ථානමාරු නැත. දරුවන්ට සුපිරි පාසැල්ද නැත. අම්පාර, කන්තලේ, සියඹලාන්ඩුව වැනි ඈත පැතිවල උක්යායවල් බලාකියා ගන්නට, ගොවීන්ට උපදෙස් දෙන්නට ඔවුහු උඩවලවේ නිලනිවාස වලින් පිටව යන්නේ පාන්දර හතරේ සිටය.

එසේ යන්නේ ඇතැම්විට තමාගේ එකම ළදරුවා වුවද නන්නාඳුනන අයෙකුට පවරාදීමෙන් පසුවය. ආපසු රාත්‍රියට පැමිණ සිඟිත්තාගේ මුහුණ දකිනා තෙක් මේ අම්මලා තාත්තලාගේ ඇඟ පුරා දුවන්නේ උනුසුම් රතු ලේ නොව, හොඳටම සීතල වූ පිරිසිදු වතුරය. මේ කර්කශ පරිසරයේ ඔවුන් හා දිවි ගෙවන්නට එන්නට තම ගම්පලාතේ වැඩිහිටියෙක්වත් ලෙහෙසියකට මනාප වන්නේ නැත. ආවත් ඒ හිටුම බොහොම තාවකාලික වේ. අනෙක් අතට ස්වභාවික ප්‍රතිශක්තියේ බැටරිද බැසගොස්, තම මහගෙවල් වලට වී නිස්කලංකව පිනක් දහමක් කරගනිමින් සිටිනා වයෝවෘද්ධ වැඩිහිටියන්ව, දූවිලි කතරට කැන්දන් එන්නට මේ විද්වත් දුවා දරුවන්ගේ සිත එකඟ වේ යයි සිතන්නටද බැරිය.

ගොවිතැනට බැඳුනු අනෙක් පර්යේෂණයන් ගැන දෝංකාර දෙන තරමට මේ හුදකලා විද්වත් ප්‍රජාව කරන කියන දේ සමාජයට නොඇසෙන්නේ ඔවුන් නිතරම කොළඹ, පේරාදෙණිය වැනි ඇස ගැටෙන මානයේ රස්තියාදු නොවන නිසාද? තැන්පත් සිතින් රාජකාරි කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදෙමින් මේ ඔළුගෙඩි තුල සිරවී ඇති දෑ පහසුවෙන් පිටවීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් අප වගකිවයුත්තන්ට ආයාචනය කරමු. ඒවා ලොකු වැඩ නොවේ.

ආයතනයක් තුල සේවකයින්ට සුභසාධනය සලසනවා යනු, වැටුප් ගෙවනවා මෙන්ම වැදගත් මෙහෙවරකි. ඉහලින් ලැබෙන දිරිගැන්වීම් නොමැතිව තනිවම මෙයට කරගැසීමට උඩවලවේ පාලනාධිකාරියටත් හැකියාව නැත. සියල්ලටම ඉහලින් ඇති පඬුපුල් අසුන රත්වීම මෙහිදී අත්‍යවශ්‍ය සාධකයකි. එසේ නොමැත්තේ නම් ගෙවන වැටුපට සරිලන සේවයක් රටට නොලැබෙන බව අප බොහෝ සේවා ස්ථානවලදී දැක ඇති තත්වයක් බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

කුමන ගැටළු තිබුනත් උක් පර්යේෂණායතනයේ විද්වත් ප්‍රජාව පාලකයින්ට කන්දොස්කිරියාවක් නොවී එහෙත් ජාත්‍යන්තරය පවා කිති කැවෙන්නට වැඩ කරනු දැකිය හැකිය. විදෙස් රටවලට ගොස් ඔවුහු අපට හොරා සම්මානද රැගෙන එති. පලිබෝධකයින් මර්දනය කරන්නට සතුරු කෘමීන්ව යොදා ගැනීමේ පරිසර හිතවාදී ක්‍රමවේදය නොහොත් ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනය, පොතේ තිබුණු පැරණි සිද්ධාන්තයක් වුවත්, වැඩි දෙනා කතා කරන්නට පටන් ගත්තේ මෑතකදී කෘෂි විද්වතුන් විසින් එම ක්‍රමවේදය ඔස්සේ පැපොල් පිටි මකුණා, එළවලු වගාවේ දියමන්ති පිටැති සලබයා වැනි පලිබෝධකයින්ට එරෙහිව ලැබූ ජයග්‍රහණයන් සමගය. එහෙත් උක්පැණි තරමට රසවත් මේ කතාව දශක තුනක් පමණ පැරණි එකකි. එය රසකර පවසන්නට ඇය ඉන්දියාවේ ලක්නව් නගරයේ පිහිටි ඉන්දීය උක් පර්යේෂණායතනය වෙත පසුගිය පෙබරවාරියේදී ගියාය. “සීනි ආශ්‍රිත කර්මාන්තවල තිරසාර සංවර්ධනය සඳහා වූ හරිත තාක්ෂනය” යන තේමාව යටතේ එහි පැවති “ෂුගර්කොන් 2019” සමුළුවේදී ඇය හොඳම ඉදිරිපත් කිරීම් කිහිපය අතරින් දෙවැනි ස්ථානයද දිනා ගත්තාය. සමුළු තේමාව වූ හරිත තාක්‍ෂණ මූලධර්මයන්ට ගැලපෙන ලාංකික පුවතක් රැගෙන ලක්නව් ගිය ඇය, උක් පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ සුනේත්‍රා වනසිංහ යි.

“උක් වගාවට වින කරන පළිබෝධකයෝ ගොඩක් ඉන්නවා. රසායනික බෙහෙත් ගහනවා උනත් වගාවට මාස 4 ක් විතර යනතුරු කරන්න පුළුවන්. එත් ඊට පස්සේ ? වගාව ලොකු උනහම එය තුලට යන්නවත් බෑ. බෙහෙත් ගැහුවත් කඳේ ඉන්න අයට වදින්නේත් නෑ. අනෙක් අතට හතර වටේ ඉන්න සේරෝම කෘමි සතුන් මරාගෙන, පරිසරයටත් වස විස මුදාහැරලා අපි ලබන්නේ ජයක් නෙවෙයි, පරාජයක්. ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ පලිබෝධකයින්ට සතුරු තවත් කෘමීන් හරහා වැඩේ කරවාගන්න.”

ඇය කතාව ඇරඹුවේම ඉතා ප්‍රායෝගික ප්‍රවේශයකිනි. ක්ෂේත්‍රයට නොගොස්, කාර්යාල කාමරවල පුටු රත්කරන අතරතුර සතුරා නසන්නට බෙහෙත් තුන්ඩු ලියන ‘පොතේ ගුරා’ ලාට එය පොඩි කෙනිත්තිල්ලකි.

“1988-89 කාලේ රටේ පාලනයට අභියෝග ආව වගේම පත්‍ර කීඩෑවෙකුගෙන් උක් වගාවටත් ප්‍රශ්න ආව. සෙවනගල, පැලවත්ත විනාශයි. මොවුන් පත්‍රවලින් යුෂ උරා බොනවා. ඒ අතර සීනි සහිත දියරයක් පිටකරනවා. ඒ මත කලුපාට පුස් හැදෙනවා. දැන් උක් ශාකයට අවශ්‍ය ආලෝකය උරාගන්නත් බෑ. හැබැයි පයිරිල්ලා (Pyrilla) නමැති මෙම කීඩෑවාගේ බිත්තර ආහාරයට ගන්නා  ස්වාභාවික සතුරෙක්  හිටියා අපේ රටේම. ඒත් වසංගතය විශාලයි. අපේ ස්වභාවික හේවායෝ මදි බව තේරුනා, ඒ නිසා පාකිස්තානයෙන් කෘමි හමුදාවක් ගෙනාවා.”

එවකට උක් පර්යේෂණායතනයේ සේවය කල ආචාර්ය නිමල් කුමාරසිංහ සහ ආචාර්ය සෙනෙවිරත්න යන විද්වතුන්ගේ මූලිකත්වයෙන් ගෙන්වා ඇති මේ පාකිස්තානුවා එපිරිකානියා (Epiricania) නම්විය. ඌ කලුපාට, පුංචි, කම්මැලි සලබයෙකි. උක් ගසේ කොල මත පොකුරු වශයෙන් බිත්තර දැමූ පසු ඉන් පිටවෙන සුදු පැහැ කීටයා පයිරිල්ලාගේ මාරක සාධකය වේ. සුහුඹුල් පයිරිල්ලා මත පමණක් නොව උගේ පැටවා නොහොත් ශිෂුවා මතද ඇලවීගෙන මෙම කීටයා උන්ගේ දේහ තරල උරා බොයි.  වැඩේ සාර්ථකය. කෘමිනාශක පරිසරයට මුදා නොහැර කීඩෑ හානියෙන් උක්වගාව බේරා ගත්තේ එලෙසිනි.

ඇයගේ කතාවේ මීළඟ පරිච්ඡේදය දිගහැරෙන්නේ තවත් දශක දෙකකට පමණ පසු සිදුවීමකින්ය. ඒ 2012 වසරයි. උතුරේ යුද්ධය නිමාවී තිබිණ. කන්තලේ සීනි කම්හලක් ආරම්භ කළයුතුයයි තීරණය කර තිබිණ. වගාව ස්ථාපනය කිරීම සඳහා හෙක්ටයාර් 40 ක පමණ උක් තවානක් 2013 වසර තුලදී ස්ථාපනය කරන ලද අතර පයිරිල්ලා කීඩෑවා විසින් මෙම ලපටි උක් වගාවත් ගොදුරුකර ගැනීම ඇරඹීමත් සමග උඩවලවේ විද්වතුන්ගේ ඉහ මොළ රත්විය. දේශීයව වෙසෙන බිත්තර කා දමන්නා සිටියත් පාකිස්තානු ආගන්තුකයා නම් සිටියේ නැත. වසර 20 ක් තිස්සේ වගාව නොතිබුණු නිසාත්, තම පෝෂණයට පයිරිල්ලා කීඩෑවා නොසිටි නිසාත් ආගන්තුකයා වඳවී යන්නට ඇත. උක් පර්යේෂණායතනයේ විද්වත් කණ්ඩායමට පමණක් නොව එහි පාලනාධිකාරියටත් හතර වටෙන්ම බලපෑම් එල්ලවූයේ කෘමිනාශකයක් යොදා හෙක්ටයාර් 40 ක් විශාල පැල තවාන බේරා දෙන ලෙසයි.

සුනේත්‍රා ඇතුළු කීට විද්‍යා නඩය වෙතින් ඊට මනාපය පල නොවුනි. අහල පහල සිටින සියලු කෘමි සතුන් වඳවී යා හැකි මෙම දැවැන්ත බෙහෙත් ගැසීම නොකළ යුතු යයිද, මීට විසි වසරකට පෙර සෙවනගලදී ජයගත් අයුරින් කෘමියෙකුම යොදවාගෙන මෙය පාලනය කලයුතු යයිද ඔවුන් වෙතින් අවධාරණය වූ නිසා පාලනාධිකාරියේ ආශීර්වාදයද අවසන් මොහොතේ ඔවුනට හිමිවුණි.

වහ වහා ක්‍රියාත්මක වූ සුනේත්‍රා, ගයනි චංචලා ඇතුළු බෝග ආරක්ෂණ අංශයේ පර්යේෂකයින් කණ්ඩායම සෙවනගල පැත්තට ගොස් විසි වසරකට පෙර ගෙනවිත් දැමූ පාකිස්තානුවා (එපිරිකානියා) සිටී දැයි සොයා බලද්දී දුටුවේ, උක් ලැහැබේ තැන තැන පත්‍ර මත ඌ බිත්තර හෙලා ඇති බවයි. එසේනම් ආගන්තුකයා තවමත් අප අතරය. වියලි ගම්මිරිස් ඇටයක තරමේ විශාලත්වයක් ඇති කළු පැහැති එපිරිකානියා හෙලූ බිත්තර හමුවීම යනු සටන අඩක් ජය ගැනීමකි. මෙහි විසූ කාලය අනුව නම් එපිරිකානියා තව දුරටත් ආගන්තුක පාකිස්තානු සලබයෙක් වන්නේ නැත. දශක දෙකක කාලය තුල උගේ පරම්පරා කොපමණ ගණනක් මෙහි ඉපිද, මියෙන්නට ඇතිද? පරිසරයත් සමග මනාව සමතුලිතව ඇති මොහු දැන් ශ්‍රී ලාංකික ‘පුරවැසියෙකි’.

හොරෙන්ම පැමිණ බිජු ලා තිබුනත්, සුහුඹුල් සලබයා උක් ලැහැබ තුල සුලභව දක්නට නොලැබුණි. කුඩා සතෙක් නිසා සොයමින් එකතු කරන්නටද නොහැකිය. පර්යේෂකයින් තීරණය කෙරුවේ බිත්තර කැදලි එකතුකර රැගෙන යාමටයි. එහිදී ඔවුන් මුහුණදුන් මීළඟ අභියෝගය වූයේ ඉතාමත් මටසිලුටු වූ මෙම බිත්තර කැදලි ජීවී තත්වයෙන් මෙතරම් දුරක් රැගෙන යන්නේ කෙසේද යන්නය. වහ වහා වායු සමනය කල වාහනයක් සූදානම් කෙරින. ප්‍රවේසමෙන් බිත්තර ගොමු සහිත උක් පත්‍ර කැබලි කපාගෙන පත්‍ර රෝල්වීම වැලැක්වීම සඳහා ඒවා ස්ටේප්ලර් කටු යොදා කාඩ්බෝඩ් කැබලි මත සවිකරන ලද අතර, තෙත වැලි බඳුන් වල පත්‍ර කැබලි සිටුවාගෙන හැකි විගසින් කන්තලේ බලා පියෑඹීය. සලබයා දමන ලද මෙම බිත්තර පුපුරා පැටවුන් එන්නට ගතවන්නේ දින දෙක තුනක් නිසා මෙම මෙහෙයුම අනිවාර්යයෙන්ම පටන්ගත් දිනම අවසන් කල යුතු වනවා පමණක් නොව, බිත්තර වල ජීවයද ආරක්ෂා කරගත යුතු නිසා මෙය වචනයේ පරිසමාප්තියෙන්ම භාරධූර කර්තවයකි.

රැගෙන ගිය පත්‍ර කැබලි, බිත්තර කැදල්ල ඇතුල් පැත්තට සිටින සේ එදිනම, ස්ටේප්ලර් කටු මගින්ම කන්තලේ උක් පැල මත සවි කෙරුණු අතර, පිටවූ එපිරිකානියා කීටයින්ට, පයිරිල්ලා යුෂයෙන් නම් අඩුවක් නොවන්නට ඇත. 2013 දී මුලින්මත්, නැවත 2015 දීත් එපිරිකානියා කීටයින්ව මෙසේ හඳුන්වා දීම සිදු කර තිබේ. දැන් දෙදෙනාම එහි වෙසේ. වසංගතයක් නැත. උක් වගාවට හානියක්ද නැත. පරිසරයට වසවිස මුදාහරීමක්ද නැත. සොබාදහමේ සංසිද්ධියක් විදු ඇසින් විමසා, සාර්ථක පලිබෝධ මර්දනයක් සිදුකල සුනේත්‍රා – ගයනි චංචලා කල කී දෑ ඉන්දියාවට මහත් පුදුමයක් වන්නට ඇත්තේ ඔවුන් අප තරම් ජෛව පලිබෝධ පාලනය ගැන විශ්වාසය නොතබා කටයුතු කරන බැවිනි. ඉදිරිපත් වූ පත්‍රිකා අතරින් අනු ශූරතාවය දිනන්නට මේ දෙපල සමත් වූයේ ඒ නිසා විය හැකිය.

මෙරට තහනම් කර ඇති පලිබෝධනාශක ඉන්දියාවේ පදික වේදිකාවලත් විකුනන්නේය. සාක්ෂරතාවය අතින් දුර්වල වගාකරුවාට ඇතැම්විට උපදෙස් කියවා ගන්නටවත් බැරිය. ඒ අතින් අප ඉතා ආරක්ෂාකාරී කෘෂිකර්මාන්තයක නිරත වන්නෙමු. පසුගිය වකවානුව තුලදී ඉස්මතුවූ පලිබෝධ නැගිටීම් හමුවේ කෘෂිකර්ම බලධාරීන් පලිබෝධනාශක නිර්දේශ කෙරුවේ, බේරෙන්නටම බැරි තැන මිස, හානියේ සෙවනැලි දකිද්දී නොවේ.

අලුතින් එනවායයි කියූ සීනි කම්හල වෙනුවෙන් හෙක්ටයාර් 40 ක පැල තවානක් කන්තලේ සිටුවා එය  පයිරිල්ලා කීඩෑවාට ගොදුරුවූ පසු, වෙනත් පලාතකින් සතුරු කෘමියෙක් එහි ගෙනවිත්, කීඩෑවා මර්දනය කර සය වසරක් ගතවීද සීනි කම්හල නම් තවම පැමිණ නැත. උක් වවන්නට හිත හදාගෙන සිටි පළාතේ මිනිස්සු දැන් වෙනත් වගා වලටත් යොමුවෙලාය. කවුන්සිලේ තව පුටුවක් වැඩි උනත් ‘සීනි ඇමති’ ආයිත් පැමිණ හෝ කම්හල අරඹනු ඇතැයි සමහරු සිහින පවා දකිති. කඳන් විදින පණුවන්, කූඩිත්තන්, කීඩෑවන්, මයිටාවන්, පිටි මකුණන් හා කොරපොතු කෘමීන් ආදී වශයෙන් උක්යායේ වෙසෙනා පලිබෝධකයින් සැමටම එරෙහිවෙන සතුරු කෘමි කණ්ඩායම් හඳුනාගෙන, පර්යේෂණ මඬුල්ලද මගබලා ගෙන සිටී. වසර කීපයකට පෙර සැලසුම් හදා තිබුනේ නම් 2020 වනවිට අප 40% කින් සීනි වලින් ස්වයංපෝෂිත වීමටය. උඩවලවේ වෙසෙනා විද්වත් නඩය හෙළනා රන් දහඩියට මීට වඩා අරුතක් දෙන්නට කීර්තිශ්‍රී රජතුමාවත් ආපසු එනවානම් හොඳයයි සිතෙන්නේ කරුණු කාරනා ඒ තරමටම පමා වෙන බැවිනි. අන්දරේ නම් නාවත් කම් නැත. එදාට වඩා අන්දරේලා දැන් සිටිනා බැවිනි.  

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor