එංගලන්තෙදී ලංකාවට කුඩම්මාගේ සැලකිලි: ගැටලූ 07ක් ගැන ICCට විරෝධය පළ කළා – කළමනාකරු අසන්ත ද මෙල්

එංගලන්තයේ – වේල්සයේ පැවැත්වෙමින් තිබෙන 12 වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසාධාරණකම් සිදු වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර අසන්ත ද මෙල් මහතා පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරුණු 07කින් යුත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් බී.බී.සී සන්දේශයට අදහස් දක්වා ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා මෙසේ සඳහන් කර ඇත.

‘‘තණකොළ සහිත විකට්ටු ලබාදෙන්නේ නම් සියලූ කණ්ඩායම්වලට සමව ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාවට පමණක් එවැනි විකට්ටු ලබාදෙන්නේ ඇයි ? කියන එක අපිට ප‍්‍රශ්නයක්’’

“ඕවල් ඕස්ට්‍රේලියා තරගයටත් අපිට ලබාදීලා තියෙන්නේ තණකොළ සහිත විකට්ටුවක්. අනිත් කණ්ඩායම් වලට දුන්නේ දුඹුරු විකට්ටුවක්. මේක අසාධාරණයි. අපි මේ ගැන ICC එකට කිව්වා”

‘‘තණතීරුවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක තමයි තිබෙන්නේ’’

“අපිට බ්‍රිස්ටල් වල දීපු හෝටලේ පිහිනුම් තටාකයක් වත් නැහැ. වේගපන්දු යවන්නන් පුහුණුවීම් වලින් පස්සේ පිහිණුම් තටාකයට යන්න ඕනේ. අනිත් කණ්ඩායම් හිටපු හෝටලේ ඒ පහසුකම් තිබුණා. මේ වගේ කරුණු 7ක් ගැන අපි අපේ විරෝධය සඳහන් කළා”

‘‘ලෝක කුසලානයට තරඟ වැදී සිටින අනෙක් කණ්ඩායම් ප්‍රවාහනය සඳහා විශාල බස්රථ ලබාදී තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන්නේ කුඩා බස් රථයක්. ශ්‍රී ලංකා කණ්ඩායම හිරවී ගමන් කිරීමට සිදුවී තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා හෝටල් තුළ අස්ථානගතවී තිබෙනවා. ලෝක කුසලානය වැනි තරඟාවලියකදී ලබාදී තිබෙන මෙවැනි අඩු සැලිකිලි ගැන අපි විරෝධය පළ කරනවා’’

ICC ප‍්‍රතිචාර මෙන්න

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු කරන චෝදනා ගැන BBC ය ICC මාධ්‍ය ඒකකයේ ජේමි ෆොක්ස්ගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. එහිදී ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරක්.

‘ක‍්‍රිකට් ලෝක කුසලානය සඳහා සැලසුම් කළ ගතව ගිය සිව් වසර ඇතුළත සියලුම කණ්ඩායම් සමග ICC සමීපව කටයුතු කළා. ඒ අතරවාරයේ මතු නොවූ කිසියම් ගැටලුවක් වේ නම් එය විසඳීම පිණිස ඉදිරියටත් කටයුතු කරනවා’’

‘‘12 වැනි ලෝක ක්‍රිකට් කුසලානය ඇතුළු ICC ය මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන තණතීරු උපදේශකයන් යොදවනවා. එබැවින් ලෝක ශූරතාවලිය සඳහා යොදාගන්නා තණතීරු සම්බන්ධයෙන් ICC ය සෑහීමකට පත් වෙනවා’’

Recommended For You

About the Author: Editor