දිමුත්, අද අපට ‘‘හැමදා නියං එකදා වැහි වළාවේ’’ කියන්න අවස්ථාව උදාකර දෙන්න

එංගලන්තයට සහ වේල්සයට පසුගිය කාලය පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා මේ වන විට ලෝක කුසලානය සම්බන්ධයෙන් පැවැති පේ‍්‍රක්ෂක අකර්ෂණය සේම ක‍්‍රීඩකයින්ගේ උද්යෝගයත් සැලකිය යුතු පහළ ගොස් ඇති බවයි එංගලන්තයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

මහ වැසි හේතුවෙන් තීරණාත්මක තරග හතරක් සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදුවීමත්, තවත් තරග කිහිපයක පන්දුවාර ගණන සීමා කිරීමට සිදුවීමත් නිසා ලෝක කුසලානය තුළ තිිබිය යුතු සටන්කාමීත්වය, පෙරළිකාමීත්වය සැලකිය යුතු දුර්වල වී ඇති ස්වභාවයක් දැකිය හැකියි. විශේෂයෙන් ඉන්දීය – නවසීලන්ත තරගය වැස්සෙන් සේදී යාම ගැන ක‍්‍රිකට් ලෝලීන් අතර තිබෙන්නේ දැඩි කණස්සල්ලක්.

ශ‍්‍රී ලංකා – ඔස්ටේ‍්‍රලියා තරගය අද

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරගය අද ප.ව 03.00ට එංගලන්තයේ ‘ ඕවල්’’ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. එහි සිටින අපේ වාර්තාකරුවන් කියන්නේ ශ‍්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරග අතරින් හොඳම කාලගුණය අද ඕවල් ක‍්‍රීඩාගංණයට ලැබී ඇති බවයි.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ‍්‍රලියාව මේ වන විට පන්දුවට පහර දීම ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවට පහසුවෙන් ළඟාවිය නොහකි ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාමයි ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ.

96 /60ක ජය ඕස්ටේ‍්‍රලියාවට

ශ‍්‍රී ලංකා කණ්ඩායම අද මුහුණ දෙන්නේ ක‍්‍රිකට් ලෝකයේ අති දක්ෂ කණ්ඩායමකට බව නොරහසක්. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව පසුගිය කාලයේදී 96 වතාවක් එක්දින පිටියේ හමු වුණ අතර ඉන් තරග 60ක් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ශ‍්‍රී ලංකාව විසින් ජයග‍්‍රහණය කළේ ඉන් තරග 32ක් පමණයි. 04ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවට වඩා සැලකිය යුතු දුරක් පිටුපසින් සිටින බව දැකගත හැකියි.

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අවසන් වරට එක්දින තරගාවලියක් පවත්වා තිබුණේ 2016 වසරේ ශ්‍රී ලංකාවේදීයි. තරග 5කින් සමන්විත තරගාවලිය 4-1කින් ජයග‍්‍රහණය කිරීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වුණා.

ලෝක කුසලානයේ වැඩි වාසිය

මෙවර ලෝක කුසලානයේ ඕස්ටේ‍්‍රලියාව මුහුණ දුන් තරග 4/3ක්ම ජයග‍්‍රහණය කිරීම ඔස්ටේ‍්‍රලියාව සමත්ව සිටිනවා. ඒ අනුව මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක්. දළ ලකුණු වේගය 0.570ක්. පිතිකරණය, පන්දු රැුකීම වගේම පන්දු යැවීම අතිනුත් ඔස්ටේ‍්‍රලියාව ඉතාම හොඳ තැනක සිටිනවා. මෙවර ලෝක කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටීමටත් ඔවුන් සමත්ව සිටිනවා.

ලංකාවේ තත්ත්වය ගත්විට කිසිසේත් සතුටු විය නොහැකි තැනකයි සිටින්නේ. විශේෂයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ‘‘දැඩි ලකුණු අහේනියකින් ’’ පෙළෙනවා. කිසිදු පිතිකරුවෙක් මේ දක්වා සතුටු විය හැකි සාර්ථකත්වයක් පෙන්වා නැහැ. නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් වුවත් එය යථාර්ථයක්.

අනෙක් අතින් ශ‍්‍රී ලංකාව මේ දක්වා මුහුණ දුන් තරග 4/1ක් පමණයි ජයග‍්‍රහණය කර ඇත්තේ. එකක් දැවැන්ත පරාජයක් වූ අතර තරග දෙකක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. ඒ නිසා ප‍්‍රසාද ලකුණු 04ක් ලබා ගෙන මේ වන විට 05 වන ස්ථානයේ රැුඳී සිටීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණත් අපගේ දළ ලකුණු වේගය පවතින්නේ ඍණ 1.517ක් වැනි ඉතාම පහළ අගයක. ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කළ තරගය වුවත් නවක ඇෆ්ගනිස්ථානය බව අමතක නොකළ යුතුයි.

අද ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තරගයෙන් පසු ඉදිරි තරග 04 යෙදී තිබෙන්නේ මෙවර ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් වශයෙන් සැලකිය හැකි එංගලන්තයල දකුණු අප්‍රිකාවල කොදෙව් පිල සහ ඉන්දියාව අතරයි. ඒ නිසා අද තරගයෙන් ලබා ගන්නා උත්තේජනය ඉතිරි තරග 04 සඳහා තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි සිතිය හැකියි.

ඒ නිසා අප සියලූ දෙනාගේම ප‍්‍රාර්ථනය වන්නේ ‘හැමදා නියං එකදා වැහිවළාවේ’’ කිව්වා සේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අහේනිය අද ධූරීභූත වී යළි ශක්තිමත් කණ්ඩායමක් දැක ගැනීමට අපට භාග්‍යය ලැබේවා යන්නයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor