දිවයින – සාෆි සහ අනිද්දා

‘‘කෑම මේසේ උඩ පිඟානේ ඉන්න කුකුළාටත් කතා කරන්න ඉඩ දෙන්න – ඔබ කියන රස කතාවට වඩා සපුරා වෙනස් කතාවක් ඔහු කියනු ඇත’’ ෆින්ලන්ත ජන කියමනක්

‘‘තොරතුරු මූලාශ‍්‍ර හෙළිනොකිරීම’’ ජනමාධ්‍ය කලාවේ ප‍්‍රධාන මූලධර්මයක් / රීතියක් වශයෙන් සැලකෙනවා. ජනමාධ්‍ය ආචාර ධර්ම තුළත් තොරතුරු මූූලාශ‍්‍ර හෙළිනොකිරීමේ අයිතිය පිළිගන්නවා. ඒ වගේම තමයි ලෝකයේ මාධ්‍යවේදීන් සිය දහස් ගණන් නොවෙයි දස දහස් ගණනක් තොරතුරු මූලාශ‍්‍ර හෙළි නොකිරීම නිසා අධිකරණය ඉදිරියේ ස්වේච්ඡුාවෙන් වැරදිකරුවන් බවට පත්ව දණ්ඩනයට ලක්ව තිබෙනවා. විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් පැවැති ලංකාවේත් අවස්ථා රැසක දී එය සිදුව තිබෙනවා.

සිංහල මවුවරු 4000ක් වඳ කිරීමේ කතාව

පසුගිය මැයි 21 වැනිදා ‘‘දිනපතා දිවයින’’ ප‍්‍රධාන පුවතසේ පුවත්පත වාර්තා කළ මෙම වාර්තාවෙන් මුළු රටම ඇවිළීී ගිය බව නොරහසක්. විශේෂයෙන් අඬන්න හිටිය ඇඟිල්ලෙන් ඇන්නා වාගේ සිංහල බෞද්ධ සමාජය (නිතරම භීතියෙන් ජීවත් වන ඕනෑම දෙයක් අවිචාර බුද්ධියෙන් පිළිගන්නා) මෙම පුවතින් දැඩි සේ භීතියටත් කෝපයටත් පත් වුණා.

මේ පුවත මගින් නිර්මාණය වූ ක්ෂණික දේශපාලන හා සමාජයීය අර්බුදය හමුවේ අදාළ වාර්තව ගැන රජය විසින් විධිමත් පරීක්ෂණයක් කිරීම සමාජය ද අපේක්ෂා කළ දෙයක්. ඒ අනුව මේ තත්ත්වය තුළ පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව විසින් මෙම පුවත වාර්තා කළ දිවයින මාධ්‍යවේදී ‘හේමන්ත රන්දුනු’ මහතාගෙන් සහ දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්ස් මහතාගෙන් කට උත්තර / ප‍්‍රකාශයක් ලබා ගත්තා. සී.අයි.ඞීය හමුවේ කටඋත්තර දෙමින් ඔවුන් ‘‘සිංහල මව්වරු 4000ක් වඳභාවයට පත් කිරීම’’ ගැන තමන්ට තොරතුරු ලැබුණු මූලාශ‍්‍රය හෙළිකර තිබුණා.

එහිදී හේමන්ත රන්දුනු සහ අනුර සොලමන්ස් කියා ඇත්තේ තමන්ට අදාළ ප‍්‍රවෘත්තිය ගැන තොරතුරු ලබා දුන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් බවයි සඳහන් වන්නේ.

මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ ගැටලූව

අපි දන්නා ආකාරයට දිවයින කර්තෘවරයා සේම ඔහුට පෙර සිට කර්තෘවරුන් පවා ‘‘කර්තෘ සංසද ආචාර ධර්ම පද්ධතිය පිළිගන්නවා. මාතෘතා 08ක් යටතේ එහි ජනමාධ්‍යවේදීන් විසින් ස්වේච්ඡුාවෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම දක්වා තිබෙනවා. එහි අංක 05 යටතේ ‘‘රහසිතග මූලාශ‍්‍ර’’ ගැන සඳහන් වෙනවා.

‘‘තොරතුරුවල රහසිගත මූලාශ‍්‍රය, එය අනාවරණය කිරීමේ අවසරය එම මූලයෙන්ම නොලැබෙන තාක් කල් හෙළිදරව් නොකිරීමේ සදාචාරාත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදිවෙකු වෙතම පැවරෙන්නේය’’(කර්තෘ සංසදය ආචාර ධර්ම)

මෙහිදී ආචාර ධාර්මිකව පවා අදාළ තොරතුරු මූලාශ‍්‍ර, මූලාශ‍්‍රයේ අවසරකින් තොරව හෙළි නොකිරීමේ අයිතිය ජනමාධ්‍යවේදීන්ට ලබාදී තිබෙන්නේ ජනමාධ්‍ය වෘත්තියට තොරතුරු මූලාශ‍්‍ර එතරම් වැදගත් වන නිසයි. එසේ නොමැතිනම් අපට හිමිවනු ඇත්තේ දේශපාලනඥයින්, නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ‘‘ලියනඅප්පුලා’’හෝ අසා ලියන්නන් විසින් සපයන ‘‘හුදු වාර්තාකිරීම්’’ පමණක් ජනමාධ්‍ය ලෙස සැලකීමටයි.

ආචාර ධර්ම බිඳ දැමීම

මෙහිදී දිවයින කර්තෘවරයා සහ ජනමාධ්‍යවේදියා තමන්ට තොරතුරු ලැබුණු මූලාශ‍්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළිකිරීම මෙම ලේඛකයාට අනුව පමණක් නොව බොහෝ මාධ්‍යවේදීන්ට අනුව ජනමාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ බිඳ දැමීමක්. මන්ද පුවත්පතකට තොරතරු ලබා දුන් මූලාශ‍්‍ර හෙළිකළ පසු ඒ තොරතුරු ලබා දුන් පාර්ශ්වය ඉතාම පහසුවෙන් නෛතිකව මෙන්ම ආයතනිකව ද ඇතැම් විට සමාජය හමුවේදී චූදිතයෙක් විය හැකි නිසයි. රැුකියාවෙන් දොට්ට දැමීම පමණක් නොව ගමකට නම් අතපය කඩා දැමීමකින් නොනැවතී ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවන නිසයි.

පොලිස් පොත කොපි කිරීම

දෙවැනි කාරණය වන්නේ මෙම මාධ්‍යවේදීන් බොහෝ විට ‘‘දැවැන්ත සොයා ගැනීම් / උණුසුම් පුවත්’’ ලෙස වාර්තා කරන බහුතරයක් ප‍්‍රවෘත්ති ඔවුන් විසින් දීර්ඝ කාලීන /වෘත්තීමය අත්දැකීම් මත කළ ගවේෂණාත්මක වාර්තා නොව ‘‘හුදු පොලිස් ප‍්‍රකාශ’’ බව පහසුවෙන් තහවුරු වීමයි. කුරුණෑගල වඳ කිරීම් ගැන කතාවත් දිවයින කළ ගවේෂණාත්මක සොයා බැලීමක් නොව සුපුරුදු ලෙස සිදුවන ‘‘පොලිස් පොත කියවීමක්’’ බව මින් පැහැදිලි වෙනවා. (අපරාධ ගැන පුවත්පත් වාර්තාවලින් සියයට 100ක්ම පොලිස් පොත බව මතක තියා ගන්න)

අපට ලැබෙන වාර්තා නිවැරදි නම් ‘‘සියවසේ පුවත’’ ලෙස ඇතැමුන් හඳුන්වන ‘‘කුරුණෑගල වඳ කිරීම් පුවත’’ සම්පූර්ණයෙන්ම පොලිස් පොත පෙරළා බැලීමක්. නැතිනම් ‘‘කොපි කිරීමක් / අසා ලිවීමක්. ( ලංකාවේ ගවේෂණාත්මක වාර්තාකරණය ගැන වෙනම ලිවිය යුතුයි)

‘‘එකම මූලාශ‍්‍රය’’ බවට පොලිස් වාර්තා

අපරාධමය සොයා ගැනීම් ගැන වාර්තාකරණයේදී බොහෝ ජනමාධ්‍යකරුවන් (මාධ්‍යවේදීන් නොව) ප‍්‍රධාන මූලාශ‍්‍රය කියනවාට වඩා ‘‘එකම මූලාශ‍්‍රය’’ බවට පොලිස් වාර්තා පත්කර ගන්නවා. ඒ අනුව එකම අපරාධය ගැන එකම සතියේ සියලූම පුවත්පත්වල එකම පොදු වාර්තාවක් ප‍්‍රකාශයට පත් වෙනවා. මේ අපරාධමය සිදුවීම් ගැන තොරතුරු අදාළ ජනමාධ්‍යවේදියා විසින් කළ ගවේෂණාත්මක වාර්තාකරණයක් නොවන බව එයින්ම මනාව පැහැදිලි වෙනවා. ඊට හේතුව වන්නේ අපරාධමය සිදුවීමක් එකම ආකාරයෙන් එකම සතියේ තරගකාරී මාධ්‍ය ආයතනවල ප‍්‍රකාශයට පත්වීමට කිසිසේත් නොහැකි නිසයි.

ඇත්තටම සිදුවන්නේ අදාළ පොලිස් නිලධාරියා තමන් විසින් සොයා ගත් තොරතුරු කියවන විට ‘‘අසා ලිවීම’’ කර ඊට යටින් තමන්ගේ නම යොදා ගැනීම පමණයි. ‘‘මාකඳුරේ මහේෂ් / වෙළේ සුදා’’ වැනි ඊනියා පාතාල චරිත නිර්මාණය වන්නේ මේ පොලිස්පොත පෙරළීම නිසා බව අප විසින් පැහැදිලිව වටහා ගත යුතුයි. (ගමේ කසිප්පු බෝතලයක් ඇල්ලූ විට එය මිලිලීටර් දස දහස් ගණනින් වාර්තා වන්නේ ද අදාළ වැටලීමට ගිය පොලිස් නිලධාරීන් අංක පවා ප‍්‍රාදේශීය වාර්තාවල පළ වන්නේ ද පොලිසියට කාලයක් තිස්සේ පවතින ‘‘ප‍්‍රචාරක මේනියාව’’ නිසයි.

මෙම අපරාධකරුවන් සැබෑවටම නීතියට කොටු වූ විට කිසිවක් සිදු නොවන්නේ, මහා පාතාල නායක මධූෂ් ලංකාවට පැමිණි විට ‘නිවට හිවලෙකු සේ ’’ අපට පෙනී යන්නේ මේ ඊනියා මාධ්‍ය වාර්තාවල පවතින හාස්‍යජනක වාර්තාකරණය නිසයි.

ප‍්‍රදර්ශන කාමය

පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව සමග අපි පහසුවෙන් නිරීක්ෂණය කළ දෙයක් වන්නේ ආරක්ෂක අංශ, විශේෂයෙන් පොලිසියට අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය වාර්තාකරුවන් පිරිවරා ගෙන සෝදිසි මෙහෙයුම්වලට යාමයි. ඊට පසු අදාළ පරීක්ෂණවලින් සොයාගත් හෝ අත්අඩංගුවට ගත් දේ යළි යළි කැමරා කාචයට ගැළපෙන ආකාරයට ප‍්‍රති නිර්මාණය කිරීමයි. මෙය ඒ දිනවල යුද්ධ හමුදාපතිවරයාගේ පවා උපහාසයට ලක්ව තිබුණ බව අපට අමතක කළ නොහැකියි. ‘‘මාධ්‍ය සංදර්ශන එපා’’ යැයි නීති පැනවීමට පවා පසුගිය දිනවල ආණ්ඩුවට සිදු වුණේ පොලිසිය විසින් අඛණ්ඩව සහ මුඪ ලෙස පවත්වා ගෙනගිය මේ ‘‘ප‍්‍රදර්ශන කාමය’’ නිසයි.

කුරුණෑගල ඞී.අයි.ජීට පරීක්ෂණ

‘‘ජාතීන් අතර කලබල ඇති කළ හැකි පුවතක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැනුවත් නොකොට මාධ්‍ය වෙත ලබාදීම, හිතාමතාම ජාතීන් අතර කලබල ඇති වීමට අනුබලදීම හා ඔහු විසින් නිර්මාණය කරන ලද පුවතට අදාළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒ පිළිබඳව ලැබී ඇති පැමිණිලි එකින් එක විභාග කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් යෙදවීමට සිදුවීම, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට එරෙහිව ඉදිරිපත් ඇති බව ‘‘අනිද්දා පුවත්පත’’ / 2019 ජූනි 16 මුල් පිටුවේ පුවතක් ලෙස රේඛා නිලූක්ෂි හේරත් විසින් වාර්තා කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන බවයි.

එම පුවතේ මෙසේ ද සඳහන් වෙනවා.

‘‘තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා ‘‘දිවයින’’ පුවත්පතේ ප‍්‍රධාන පුවත වශයෙන් පළකර තිබුණි. ඒ පිළිබඳව කටඋත්තර ලබාගැනීමේදී මාධ්‍යවේදී හේමන්ත රන්දුනු සහ දිවයින කර්තෘ අනුර සොලමන්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ කර තිබුණේ තමන්ට තොරතුරු දුන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙම චෝදනා ගොනු කිරීම සිදුකර ඇත’’

මේ අනුව වඳ භාවය පත් කිරීම හා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේ එක් කොටසක් පුරවැසියන් ලෙස අපට පැහැදිලිව පෙනෙන අතර කිසිදු පමාවකින් තොරව තමන් තොරතුරු ලැබුණු මූලාශ‍්‍රය හෙළි කිරීම සමග දිවයින අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාව ද දැවැන්ත දුර්භාග්‍යයකට ඇඳදමා තිබෙනවා. ඒ නිසා මේ ලියුම්කරු නැවත අවධාරණය කරන්නේ ඔහු ද මීට කලකට පෙර ‘දිවයින’’ හරහාම මුහුණ දුන් ඒ නීරස අත්දැකීම ප‍්‍රකාරව තොරතුරක් ලබාදීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බලන ලෙසයි. මන්ද ‘‘හනුමාට ඇඳ සිටින’’ මේ මාධ්‍ය තම අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත‍්‍ර මත සිට ගන්නා විට අනෙක් කිසිදු ආචාරධර්මයක් හෝ සදාචාරයක් ගැන නොසිතන නිසයි.

සාෆී හමුවීමේ රතන හිමි තැන වරදී

බෞද්ධ කාන්තාවන් 4000කට වඳ සැත්කම් කළ බව කියන වෛද්‍ය ෂියාබිදීන් සාෆි මේ වන විටත් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේයි. ඔහුව තව දුරටත් එහි රඳවා ගෙන ප‍්‍රශ්න කිරීම් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
ඒත් අතුරලියේ රතන හිමියන් පසුගිය දා ජනපතිවරයා මාර්ගයෙන් වෛද්‍ය සාෆී මුණ ගැසීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වූ බව ‘‘අනිද්දා පුවත්පත’’(2019, ජූනි 16/ පිටුව 01) ට වාර්තාවක් ලියමින් මාධ්‍යවේදී මංජුල කස්තුරිආරච්චි සඳහන් කරනවා. ‘‘සාෆි හමුවීමේ රතන හිමි තැත වරදී’’ යන ශීර්ෂ පාඨයෙන් යුත් මෙම පුවත මගින් කියන්නේ.

මෙහි පසුබිම් කතාව මංජුල කස්තුරිආරච්චි මෙසේ සඳහන් කරනවා.
‘‘පැලෝපීය නාළ අවහිර කිරීම පිළිබඳ මෙම චෝදනාව සමාජගත කළ දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුනු, කුරුණෑගල ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වීර බණ්ඩාර ආදීන් මෙම චෝදනාව නිවැරදි යැයි ඔප්පුකර ගන්නට නොහැකිව අසරණ වී ඇතැයි ද එම නිසා ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නීතිය ක‍්‍රියාත්මක විය හැකි යැයි ද, එනිසා කෙසේ හෝ අදාළ වෛද්‍යවරයා බිය ගන්නා තමන් පැලෝපීය නාළ අවහිර කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළා යැයි පාපොච්චාරණයක් ලබා ගැනීම මේ අවස්ථාවේ කළ යුතුමයැ’යි ද අතුරලියේ රතන හිමි තම විහාරස්ථානය වන සදහම් සෙවණ අසපුවේදී සමීපතමයන් ඉදිරියේ ප‍්‍රකාශ කර ඇත’’

මේ පදනම මත සිට අතුරලියේ රතන හිමි ජනපතිවරයා මගින් වෛද්‍ය සාෆි මුණ ගැසීමට උත්සාහ කළ බවයි අනිද්දා පුවත්පත කියන්නේ.

‘‘වඳ සැත්කම් කළා යැයි චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය ෂියාබ්දීන් සාෆිගෙන්, තමන් එම චෝදනාවලට අදාළ වරද කළ බවට පාපෝච්චාරණයක් කරවා ගැනීම සඳහා ඔහු හමුවීමට ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අතුරලියේ රතන හිමි දරන ලද උත්සාහය ව්‍යර්ථ වී තිබේ. එම වෛද්‍යවරයා මුණගැසීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අතුරලියේ රතන හිමියන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා අමතා එම හමුවට අවස්ථාව සලසන්නැයි ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී තිබේ’’ කියලයි මංජුල කස්තුරිආරච්චි කියන්නේ.

වඳ කතා සොයන විශේෂඥ කමිටුවත් ඇණහිටියි

මේ කතාවේම තවත් දිගුවක් තිබෙනවා. ඒ අනුව වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරගෙන යන කටයුතුවලට ඉඩදී සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විශේෂඥ කමිටුව ක‍්‍රියාත්මක නොකර සිටීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවට අධිකරණ වෛද්‍යවරුන්ගේ කමිටුවක් මගින් වෛද්‍ය සාෆි තමන් වඳභාවයට පත්කර ඇතැයි පැමිණිලි කර ඇති මව්වරුන් විද්‍යාත්මකව පරීක්ෂා කර බැලීමට ඉදිරියේදී කටයුතු සූදානම් කර ඇති බවයි ‘‘අනිද්දා’’ වාර්තා කරන්නේ.

අවසානය

මේ කෙටි සටහන අවසන් කිරීමට පෙර අපි ඔබට ආරාධනා කරන්නේ ‘‘වෛද්‍ය සාෆිගේ බිරිඳට’’ සවන් දෙන්න කියලා ‘‘ලංකා ඊ ප්‍රෙස් ’’වෙබ් අඩවියේ පළකර ඇති වෛද්‍ය සාෆිගේ වෛද්‍ය බිරිය කියන කතාවත් යළි කියවා බලන ලෙසයි.

‘‘ඇත්තම ඇත්ත කියලා දෙයක් තියෙනවද කියලා මම දන්නෑ. මම දන්න විදිහට තියෙන්නේ උගේ පැත්ත – මගේ පැත්ත – හරි පැත්ත’’ කියලා තුනක් විතරයි’’ මේ කතාව මේ ලියුම්කරුට කිව්වේ වාමාංශික ව්‍යාපාරයේ පතාකයෙක්.

‘‘කෑම මේසේ උඩ පිඟානේ ඉන්න කුකුළාටත් කතා කරන්න ඉඩ දෙන්න – ඔබ කියන රස කතාවට වඩා සපුරා වෙනස් කතාවක් ඔහු කියනු ඇත’’ ෆින්ලන්ත ජන කියමනක්

සටහන – තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor