නැව් සුක්කානම ධර්ම චක‍්‍රය ලෙස දැක්ක හසලක පොලිසියට වැඩ වරදින ලකුණු

තමන් නැවක සුක්කානමක රුව සහිත මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රුව සහිත ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඊට සාධාරණය ඉටු කරමින් වන්දි ලබා දෙන ලෙසද ඉල්ලා කොළොන්ගොඩ පුදලුගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතීඥ හරිනි ජයවර්ධන, නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ යන අයගෙ උපදෙස් මත ගොනු කර ඇති පෙත්සමේ, තමන් එක් දරු මවක බවත් කාලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව සිට පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නියක බවත් සඳහන් කර ඇත.

එමෙන්ම තමන් ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රුපයක් බවත් ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසත් ඊට වන්දි ලබා දෙන ලෙසත් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.

Recommended For You

About the Author: Editor