සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය ගැන ප්‍රචාරණ වැඩසටහන්

විදුලි සංදේශල විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව ‘‘සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහන’’ පසුගිය දා දියත් වුණා.

මේ ප්‍රචාරණ වැඩසටහනේ අරමුණ වන්නේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සහ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා සහ විදේශ රැකියා පිළිබඳ තොරතුරු ලබාදෙන සංවර්ධන නිලධාරීන් ආදී විශ්වාසනීය මූලාශ්‍ර මගින් නිසි මාර්ගෝපදේශනය ලබාගෙන දැනුවත් තීරණ ගැනීමට හා විදේශ රැකියාවලට යෑමේදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රියා පිළිවෙළ අනුගමනය කිරීමට සියලු පුරවැසියන් දිරිගැන්වීමයි.

සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහන දියත් කිරීමෙන් අනතුරුව මේ වන විට දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් හරහා එහි මූලික පණිවිඩ ජනතාව අතරට රැගෙන යමින් සිටියි. මෙහි සක්‍රීය කිරීම් දිස්ත්‍රික්ක 25 තුළ විහිදුණු ස්ථාන 200ක් ආවරණය කිරීමේ ඉලක්කය සහිතව ඇරඹුණු මේ වැඩසටහනේ මූලික අදියර ජනතාවගේ යහපත් ප්‍රතිචාර මධ්‍යයේ ඉකුත් දා සාර්ථකව අවසන් විය. මේ ක්‍රියාත්මක කිරීම් මේ වන විට ස්ථාන 25කදී ආරම්භ කර ඇත.

විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් රැගත් ප්‍රචාරක රථ කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, බේරුවල, වාද්දුව, බණ්ඩාරගම සහ හොරණ ආදී නගරවල සතිපොළ, බස්නැවතුම්පොළ, රථගාල් සහ සුපිරි වෙළෙඳ සල් ආදී මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල සංචාරයේ යෙදිණි. මෙහි දී මූලික තොරතුරු දැක්වෙන පත්‍රිකා බෙදාහරිනු ලැබූ අතර, විදේශ රැකියා සම්බන්ධයෙන් උනන්දුව දක්වන්නන්ට නිලධාරීන් සමඟ සෘජුව සම්බන්ධවී වැඩි දුර තොරතුරු ලබාගැනීමට ද අවස්ථාව ලැබිණි. ඔවුන් විසින් වැඩි වශයෙන්ම තොරතුරු විමසන ලද්දේ ජපානය හා කොරියාව වැනි රටවලට රජය මඟින් හඳුන්වාදෙන ලද සංක්‍රමණික අවස්ථා පිළිබඳවය. රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්, විදේශ රැකියා සඳහා යන්නන් වෙනුවෙන් ඇති මූල්‍ය යෝජනා ක්‍රම මෙන්ම ඒවායේ ප්‍රතිලාභ පිළිබඳව ද මෙහි දී කතිකා කෙරිණි.

Recommended For You

About the Author: Editor