ළමා විවාහ සිදුවීමට එකම හේතුව ආගම නොවෙයි – සරෝජා පෝල්රාජ්

උතුරේ මෙන්ම දකුණේ ද අඩු ආදායම්ලාභී සහ නූගත් පවුල් පසුබිම තුළත් ළමා විවාහ බහුලයි – දෙමව්පියන් සිය දරුවා වෙනත් පුද්ගලයෙකුට විකුණා දැමීම, විවාහය හරහා සිදුකර ගන්නවා -දරුවෙකුට මිනිහෙක් හෝ තවත් දරුවෙකු බලාගැනීමට නොහැකියි – ‘‘මහර්’’ ශිෂ්ඨ සමාජයකට අනුමත කළ නොහැකියි

මේ වනවිට මතුව ඇති සමාජ වටපිටාව තුළ මුස්ලිම් ආගම තුළ ළමා විවාහ සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවට අවධානය යොමුව තිබුණ ද ආගමික වටපිටාව ළමා විවාහ සිදුවීමේ එකම හේතුව නොවන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

සරෝජා පෝල්රාජ්

ඇය මේ බව සඳහන් කළේ ”ළමා විවාහ සහ බහු විවාහ එපා! දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට ක්‍රියා කරනු” යන මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් පසුගිය 13 වැනිදා සංවිධානය කර තිබූ ජනමාධ්‍ය හමුවේදීය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ සරෝජා පෝල්රාජ් මහත්මිය මෙසේ ද සඳහන් කළාය.

මේ වනවිට මතුව ඇති සමාජ වටපිටාව තුළ මුස්ලිම් ආගම තුළ ළමා විවාහ සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවට අවධානය යොමුව තිබුණ ද ආගමික වටපිටාව ළමා විවාහ සිදුවීමේ එකම හේතුව නොවෙයි. උතුරේ මෙන්ම දකුණේ ද අඩු ආදායම්ලාභී පවුල් පරිසරය තුළත් දරිද්‍රතාව සහ නූගත් පවුල් පසුබිම තුළත් ළමා විවාහ බහුලව සිදුවන බවට හඳුනාගෙන තිබෙනවා.

දුෂ්කර පළාත්වල සහ වතුකරයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ආරක්ෂාව, අධ්‍යාපනය සහ පෝෂණය සැපයීමට පවතින ආර්ථික පරිසරය තුළ නොහැකිවීමෙන් එම දෙමව්පියන් සිය දරුවා පෝෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුට විකුණා දැමීම, විවාහය හරහා සිදුකර ගන්නවා. එබැවින් ශිෂ්ඨ සමාජයකට අනුමත කළ නොහැකි මෙම තත්ත්වය නවත්වා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කොට සිය ළමා ජීවිතය ගත කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමේ විශාලතම වගකීම රජයට තිබෙනවා.

එසේම වයස අවුරුදු 18ට අඩු පිරිස දරුවන් ලෙස සලකන බවත් දරුවෙකුට පවුලක් හෝ මිනිහෙක් බලාගත නොහැකි බවත් දරුවෙකුට ආර්ථිකයක් ගොඩනැගිය නොහැකියි. දරුවෙකුට තවත් දරුවෙකු බලාගැනීමට නොහැකියි. එබැවින් ඉස්ලාම් ආගම තුළ මෙන්ම අඩු ආදායම් ලාභී නූගත් සමාජය තුළ පවතින මෙම තත්ත්වය සමාජය ඉදිරියට ගෙන යාමක් නොව නැවත මිලේච්ඡත්වය කරා ගෙනයාමක් ලෙස සැලකිය හැකියි.

එසේම 1951 විවාහ සහ දික්කසාද පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව මුස්ලිම් සමාජය තුළ විවාහ සහ දික්කසාදය සිදු වෙනවා. එසේ විවාහ වන මුස්ලිම් කාන්තාවකට සිය අත්සන හෝ නොමැති විවාහ සහතිකයකට හිමිකම්කීමට සිදු වෙනවා. එසේම දික්කසාද වීමේදී මුස්ලිම් සමාජය තුළ සිදුවන ‘‘තලාක් නීතිය’’ සහ විවාහ සහතිකය සමග නිකුත් කරන ‘‘මහර්’’ හෙවත් විවාහවීමේදී ලබාදෙන දෑවද්ද සඳහන් ලිපියක් නිකුත් කිරීම ශිෂ්ඨ සමාජයකට අනුමත කළ නොහැකියි.

මෙම තත්වය සමාජ ව්‍යසනයක් බව කිය යුතුයි. ජාතික සමගිය ගොඩනැගීමට සහ ආර්ථිකය ගොඩනැගීමට මේ රටේ පාලකයන් වහා ක්‍රියාකළ යුතුයි. අපි සියලූ දෙනාම සමාජයක් ලෙස අවදිවී මෙම ව්‍යසනයෙන් රට ගලවාගත යුතු’යැයි ද සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

Recommended For You

About the Author: Editor