2018 දී ලොකු ළූණු වගා වගා හානි වූ ගොවියන්ට වගා වන්දි තවමත් ලැබී නෑ – නාමල් කරුණාරත්න

මිලියන 600 අතිරේක ඇස්තමෙන්තුව ලැබුණ ගමන් වන්දි ගෙවනවා – කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්

2018 වර්ෂයේ යල් කන්නයේ වර්ෂාව නිසා හානියට පත් දේශීය ලොකු ළූණු වගාව සදහා වගා හානි  වන්දි මුදල් මෙතෙක් ගොවීන්ට ලබාදීමට ආණ්ඩුව  අසමත් වීමෙන් ගොවින් දැඩි අසරණභාවයට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා (15දින ) සිගිරියේදී පැවසිය.

සිගිරිය, පලුටාව දේශීය ලොකු ළූණු වගා ගම්මානයේ ලොකු ලුණු ගොවින් සමග පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යයවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසිය. මෙම අවස්ථාවට එම සම්මේලනයේ කමිටු සාමාජික සුනිල් රණවීර, දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති ඩබ්ලිව්.එම.තිලකරත්න යන මහත්වරුන් සහ ලොකු ළූණු වගා ගොවින්ද එක්ව සිටියහ.

යල් කන්නයේ ලොකු ළූණු වගාව සදහා බැංකු ආයතන මගින් ණය ලබා ගත් හා කනකර අභරණ පවා උගසට තබමින් දේශීය ලොකු ළූණු වගාකළ ගොවීන්ගේ වගා බිම් වර්ෂාව නිසා සම්පුර්ණයෙන් විනාශවූ බවත් වගා හානි සදහා අදාල සියලුම දත්ත ප්‍රදේශයේ නිලධාරීන් මාර්ගයෙන් ලබාදී ඇතත් මෙතෙක් වන්දි ලබාදීමක්  කර නොමැති බව පෙන්වා දුන්නේය.

එසේම බැංකුවලින් ලබාගත් ණය මුදලින් වගා රක්ෂණය සදහාවූ වාරික  මුදල් අයකර කරගෙන ඇතත් ගොවීන්ට බැංකුවලින් ලබාගත් ණය මුදල හා පොලිය ගෙවන ලෙස වරින්වර ලිඛිතව දැනුම දීම හා   මෙවර වගා කන්නය සදහා ණය මුදල් නිකුත් නොකිරීමට බැංකු විසින්  කටයුතු කිරීම නිසා ගොවින් දැඩි අපහසුතවයට මුහුනදී  සිටින බවද කියා සිටියේය.

සාකච්ඡාව අතරතුර නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රුවන් චන්ද්‍ර මහතා දුරකතනයෙන් සමබන්ධ කරගනිමින් කළ විමසීමේදී කියා සිටියේ වගා හානි ගෙවිම් කටයුතු සදහා රුපියල් මිලියන 600 ක් අතිරේක ඇස්තමෙන්තුවක් මහ භාණ්ඩාගාරය වෙත යොමුකර ඇති බවත් එම මුදල ලැබුණු සැනින් වගා හානි මුදල් ලබාදෙන බවත් ය.

ලොකු ළූණු වගාව හානිවීමෙන් පසුගිය කන්නයේ හබරන ප්‍රදේශයේ ගොවියෙකු සියදිවි හානිකරගත් බව මෙහිදී කියා සිටි නාමල් කරුණාරත්න මහතා මැති ඇමතිවරුන්ට රට සවාරි යාමට, ජනධිපති, අගමැති, විපක්ෂනායක ඇතුළු පිරිසට වෙඩි නොවදින වාහන ගැනීමට මුදල් අනුමත කරගැනීම පැය කිහිපයකින් සිදු කරගන්නා බව පැවසු නාමල් කරුණාරත්න මහතා රටට බත සපයන, විදේශ විනිමය මෙරටට ගෙනඑන ගොවියාට අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකිවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

Recommended For You

About the Author: Editor