ශ‍්‍රී ලංකාව මෙතැනින් කොතැනටද ?

‘‘ජයග‍්‍රාහකයාට තාත්තලා 100යි. පරාජිතයා අවජාතකයි’’

අපි ඉන්න නියම තැන ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගයේදී පෙනුනා. අපිට ලකුණු 250ක සීමාව පමණක් නොවෙයි පන්දුවාර 50වත් පසුකරන්න බැහැ. මේක අවාසනාවන්ත තත්ත්වයක්

මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගවලදී ලංකාවට කීර්තිමත් තැනක් හිමි වුණා. එහි කූඨප‍්‍රාප්තිය වන්නේ 1996දී ලෝක කුසලානය දිනා ගැනීමයි.

එහෙත් මෙවර ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් වාර්තා වන්නේ කීර්තියට වඩා අපකීර්තිමත් සිදුවීම්. ඒ අතර පසුගිය 15 වැනි ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති තරගයෙන් ලැබූ අපකීර්තිමත් පරාජය පමණක් නොවෙයි ඊට පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාව වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ගත් තීන්දුව මෙන්ම තමන්ට ලැබුණු පහසුකම් සහ තණතිලි ගැන ICC කළ පැමිණිල්ලත් තිබෙනවා.

මාධ්‍ය හමුව වර්ජනය කිරීම මෙය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල නොමද විවේචනයට ලක් වෙමින් තිබෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා. lankaepress එංගලන්ත වාර්තාකරු සඳහන් කරන්නේ ඔහු ද ඇතුළුව විදේශීය මාධ්‍යවේදීන් 50 දෙනකුට අධික පිරිසක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් හෝ වෙනත් ක‍්‍රීඩකයෙකු පැමිණ මාධ්‍ය අමතනු ඇතැයි විශ්වාසයෙන් විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිටි බවයි.

ඒ අතර ICC මාධ්‍ය භාර නිලධාරියෙක් මාධ්‍යවේදීන් හමුවට පැමිණ පවසා ඇත්තේ ‘‘ශ‍්‍රී ලංකා කණ්ඩායම මාධ්‍ය හමුවට පැමිණීම ප‍්‍රතික්ෂේප කරන බව’යි.

අයි.සී.සී නිලධාරියාගේ මේ ප‍්‍රකාශ ඇසු විගස මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඔවුන් මෙවැනි තත්ත්වයක් කිසි විටක අපේක්ෂා නොකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

‘‘මේක කිසිම විටක සිදු විය නොහැකි දෙයක්. අසාමන්‍ය සිදුවීමක්. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතහොත් ශ‍්‍රී ලංකා කණ්ඩායමක් මේ ආකාරයෙන් මාධ්‍ය හමුවට ඒම ප‍්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව තමයි මේ’’

ඒ සමග ඔහු තවත් කරුණක් පෙන්වා දෙනවා,

‘‘අන්තර් ජාතික ක‍්‍රිකට් තරගයකින් පසුව කොතරම් දැවැන්ත පරාජයක් ලැබුවත් බොහෝ විට කණ්ඩායම් දෙකම මාධ්‍ය හමුවට පැමිණෙනවා. ඒ වගේම තමයි අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන තරගාවලියක අවසානයේ දී මාධ්‍ය හමුවට සහභාගීවීමට සෑම රටක්ම ගිවිසුම් ගතව බැඳී සිටිනවා. ශ‍්‍රී ලංකාව ඒ සම්ප‍්‍රදාය පමණක් නොවෙයි ගිවිසුම පවා කඩකර තිබෙනවා’’

ඔහු පවසනවා.

මේ අතර පහසුකම් සම්බන්ධයෙන් දICC පැමිණිලි කිරීම දක්වා ශ‍්‍රී ලංකා දුර යාමත් එය මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ද ආන්දෝලනාත්මක සිදුවීමක් බවටත් පත්ව තිබීම ගැන බොහෝ දෙනකු තුළ පවතින්නේ කණස්සල්ලක්.

ඔවුන් කියන්නේ කණ්ඩායම තුළ පවතින පුද්ගලික කෝන්තර සහ නිසි කණ්ඩායම තෝරා ගැනීමට අසමත් වීම තුළ නිර්මාණය වූ අර්බුද මේ හරහා එළියට එමින් තිබෙන බවයි.

‘‘මෙය සිදු නොවිය යුතු තත්ත්වයක්. ලංකාව අද (17) වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ සිටියත් අපේ තරග වාර්තාව අතිෂයින් දුර්වලයි. අපි දිනලා තියෙන්නේ එක් තරගයක් පමණයි. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව. අනෙක් තරග දෙක වැස්සට සේදිලා ගියේ අපේ වාසනාවටයි. අපි ඉන්න නියම තැන ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගයේදී පෙනුනා. අපිට ලකුණු 250ක සීමාව පමණක් නොවෙයි පන්දුවාර 50වත් පසුකරන්න බැහැ. මේක අවාසනාවන්ත තත්ත්වයක්. මේකට ක‍්‍රිකට් පරිපාලනය ඍජුව වගකිව යුතුයි. අපි මේ කණ්ඩායම තෝරා ගන්නා විට මෙවැනි තත්ත්වයක් ඇතිවන බවට ඉඟි කළා’’

ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයෙක් අප සමග දැඩිව අවධාරණය කරමින් සඳහන් කළා. මේ සමග ලංකාවේ ප‍්‍රකට කියමනක් මේ ලියුම්කරුට මතක් වෙනවා.

‘‘ජයග‍්‍රාහකයාට පියවරු 100යි. පරාජිතයා අවජාතකයි’’

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor