ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය: සජීවී දර්ශන හුවමාරු කරගත් පුද්ගලයාට සිර දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වූ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ වීඩියෝව යළි හුවමාරු කර ගත් (Share) නවසීලන්ත වැසියෙකුට මාස 21ක සිර දඬුවමක් පනවා තිබේ.

ෆිල්ප්ස් ආර්ප්ස් නමැති එම පුද්ගලයා අදාළ වීඩියෝව තවත් පුද්ගලයින් 30 දෙනෙකුට යවා තිබිණි. ඒ අතර සිටි එක් පුද්ගලයෙකුගෙන් ඔහු ඉල්ලා ඇත්තේ “මරණයට පත් සංඛ්‍යාව” දක්වමින් වීඩියෝ පටය සංස්කරණය කරන ලෙසය.

ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් විනිසුරු සටීවන් ඕ’ඩ්‍රිස්කොල් ප්‍රකාශ කළේ, ෆිලිප්ස් ආර්ප්ස් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි “සානුකම්පික නොවන ආකාරයෙන්” හැසිරී ඇති බවය.

පසුගිය මාර්තු මස සිකුරාදා ආගමික කටයුතු පැවැත්වෙන අතරතුර ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයකට සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් ප්‍රහාරයෙන් පීඩාවට පත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් සමග දුක බෙදා ගනිමින්…

අඟහරුවාදා (ජූනි 18) ක්‍රයිස්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේදී ආර්ප්ස් නමැති චූදිතයා චෝදනා දෙකක් සම්බන්ධයෙන් වැරදිකරු බව පිළිගත්තේය. ඒ, විරෝධාකල්ප සහිත වීඩියෝවක් බෙදා හැරීම සඳහා තවත් පුද්ගලයින්ට යැවීම සහ එම අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම යන චෝදනාවලට අදාළවය.

අධිකරණය හමුවේ අනාවරණය වූයේ, ආර්ප්ස් නමැත්තා සංස්කරණය කළ වීඩියෝවක් බෙදා හැරීමට ද උත්සහ කර ඇති බවය. එම වීඩියෝවේ මිනී ඔළුව සහ ඇට කටු දෙක සහිත රූපයක් (වස යන්න සලකුණු කිරීම සඳහා භාවිත වන රූපය) සහ ඝාතනය කළ පුද්ගලයින් සංඛ්‍යාව සඳහන් කර තිබිණි. එම සංස්කරණය කරන ලද වීඩියෝව ඔහු “නියමයි” (“awesome”) යනුවෙන් හඳුන්වා තිබූ බව නිව් සීලන්ඩ් හැරල්ඩ් පුවත්පත වාර්තා කළේය.

විනිසුරුවරයා ආර්ප්ස්ගේ ක්‍රියාව හෙළා දකිමින් පැවසුවේ, එය “වෛරී අපරාධයක්,” බවය. ප්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසු ආර්ප්ස් විසින් වීඩියෝව බෙදා හරිනු ලැබීම “විශේෂයෙන් ම කෲරත්වයක්” බව ද විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස වැරදිකරු වූ 44 හැවිරිදි ව්‍යාපාරිකයා අප්‍රේල් මාසයේදී අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

ඔහු 2016 වසරේදී ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් මුස්ලිම් පල්ලිය අසල ඌරෙකුගේ හිසක් දමා යාම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක් වී තිබිණි. මාර්තු මාසයේදී වෙඩි ප්‍රහාරය සිදුවූ එක් ස්ථානයක් වූයේ එම පල්ලියයි.

බ්‍රෙන්ටන් ටැරන්ට් ඔහු රඳවා සිටින බන්ධනාගාරයේ සිට වීඩියෝ තිරයක පෙනී සිට අදහස් දක්වමින්, තමාට එරෙහි සියලු චෝදනාවලට නිවැරදිකරු යයි කියා සිටියේය.

ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් මුස්ලිම් දේවස්ථානයට සහ ලින්වුඩ් ඉස්ලාම් මධ්‍යස්ථානයට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට්ට එරෙහිව චෝදනා 92ක් එල්ල වී තිබේ. පසුගිය දා ඔහු එම සියලු චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු ලෙස අධිකරණය හමුවේ පැවසීය. එම චෝදනා සම්බන්ධ නඩු විභාගය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය මාර්තු 15 වන දා සිදුවූ එම ප්‍රහාරය නූතන යුගයේදී නවසීලන්තයේ සිදුවූ දරුණුතම සමූහ ඝාතනය ලෙස සැලකේ.

by BBC Sandesaya, June 18

Recommended For You

About the Author: Editor