ICC ගිවිසුමට එකගව කටයුතු කරන ලෙස දිමුත්ට සහ අසන්තට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උපදෙස් දෙයි

ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගයෙදී මාධ්‍ය හමුව වර්ජනය කිරීම වැනි අතපසුවීම් යළි සිදු නොකරන ලෙසත් ICC ගිවිසුමට එකගව කටයුතු කරන ලෙසත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට සහ පුහුණුකරු හා කළමනාකරු අසන්ත ද මෙල්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයතනය විසින් උපදෙස් ලබාදුන් බව වාර්තා වෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පසුගිය දා පැවැති තරගයෙන් ලද පරාජයත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායම මාධ්‍ය හමුව වර්ජනය කිරීම ජාත්‍යන්තර ජනමාධ්‍යවල මෙන්ම ක‍්‍රීඩා විචාරකයින්ගේ ද දැඩි විවේචනයට ලක් වුණා.

පරාජයෙන් කම්පනයට පත්ව සිටි ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයින්ගෙන් පවා ඒ සඳහා ලැබුණේ ඍණාත්මක ප‍්‍රතිචාරයක්. ‘‘තවත් මොනවා කියන්නද ? හැමදාම එකම බොරුව කියන්න බැහැනේ. ඒ නිසා නාව එකම තමයි හොඳ’’ රූපවාහිනිය ඉදිරිපිටට වී තරගය නැරඹු ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයින් කිව්වා.

ඒ කොහොම වුණත් මේ සිදුවීම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නම් පහසුවෙන් බැහැර නොකරන බවයි බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කළේ. ඒ වෙන කිිසිවක් නිසා නොවෙයි ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානට යන විට අයි.සී.සීය සමග තවත් ගිවිසුම් ගණනාවකට බැඳෙන නිසයි.

කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන් නම් පවසන්නේ ICC ය ලංකාවට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා ඇති බවයි.

‘අපි මේ සිදුවීමෙන් පසුව ICC ය සමග සාකච්ඡා කළා. අපි ඔවුන්ට පොරොන්දු වුණා යළි මෙවැනි සිදුවීමක් නොවන බව. ඒ නිසා මේ සිදුවීම පාදක කරගෙන අපේ කණ්ඩායමට දඬුවම් කිරීමක් සිදුවන්නේ නැහැ ’’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙක් සමග පැවසුවා.

‘අපි මේ ගැන කණ්ඩායමේ පුහුණුකරු අසන්ත ද මැල් මහතා සමග පෙරේදා දුරකතනය ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහි අපි පෙන්වා දුන්නා තරගමාලාවට සහභාගිවීම සම්බන්ධව අයි.සී.සී. යේ නීති රෙගුලාසි ගණනාවකට අප බැඳී සිටින බව. ඒ නිසා එහි සියලු කොන්දේසි හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස අපි අසන්තට දැනුම් දුන්නා’’ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත්ට මේ ගැන ඇති වගකීම සම්බන්ධයෙන් අප කළ විමසීමට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්.

‘‘අපි ඊයේ දිමුත් කරුණාරත්න සමගත් දුරකතනය ඔස්සේ සාකච්ඡා කළා. එහිදී ඔහු කීවේ එම තරගයෙන් පසුව තමන් දැඩි වෙහෙසට පත්ව සිටි බැවින් මාධ්‍ය හමුවට යාමට හැකියාවක් නොතිබූ බවයි. ඒ වගේම ඒ සඳහා ක්‍රීඩකයකු ඉදිරිපත් කිරීමට තමාට ඒ අවස්ථාවේ නොහැකි වූ බවත් දිමුත් කීවා. ඉදිරියේදි මෙම කරුණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසත්. අයි.සී.සී.යේ කොන්දේසි අනුකූලව කටයුතු කරන ලෙසත් අපි ඔහුට උපදෙස් දුන්නා’’

Recommended For You

About the Author: Editor