උතුරු කොරියාවේ කුසගිනි නිවන්න දකුණු කොරියාවෙන් සහල් ටොන් 50,000ක්

එක්කුස උපන් සහෝදර සහෝදරියෝ ලොකු මහත් වෙන කොට විවිධ ගැටලූ, හිත් අමනාපකම් ඇතිකර ගන්නා. අනුන්ගේ කතාවලට, ප‍්‍රයෝගවලට රැවටිලා සහෝදරකම් ද අමතක කරලා ගහමරා ගන්නවා. ඒත් ‘‘වතුරට වඩා ලේ උකුයි’’ කියන කතාව අනුව දුකේදී, විපතේදී පරණ තරහාමරහා අමතක කරනවා. හිත උණුවෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය කියන්නේ.

කොරියාව කියන්නේ අභිමානවත් ශිෂ්ටාචාරයක් තිබුණ සහ තිබෙන රටක්. පසුගිය කාලේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ කොරියානු නාට්‍යවලින් ද ඒ බව මනාව හෙළිකරලා දෙනවා.

ඒත් අවුරුදු සිය දහස් ගණනක් එකම අභිමානවත් ජාතිකයක්ව සිටි කොරියාව දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු 1950 දශකයේ මුලදී ඇමෙරිකානු – සෝවියට් ‘‘සීතල යුද්ධයේ’’ ගොදුරු බිමක් බවට පත් වුණා. මහා මිනිස් ඝාතනයක් සිදු වුණ ‘කොරියානු යුද්ධය’’ බිහි වුණා. අවසානයේ මේ අභිමනාවත් ජාතිය, රට කොමියුනිස්ට්වාදී උතුරු කොරියාව සහ ඇමෙරිකානු ගැති දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වුණා.

එදා, සිය මෑතක් වන තෙක්ම මේ සහෝදර ජාතිය අතර කිිසිම ඇයි හොඳයියක් තිබුණේ නැහැ. අරෝවෙන්ම තමයි හිටියේ. මේ නොසන්සිදෙන අරෝව කොයි මොහොතේ තෙවැනි ලෝක යුද්ධය අවුළුවයිද කියලා ලෝකයා බයෙන් තමයි හිටියේ. ඒ නිසා තමයි අදත් අපේ ගම්වල නිතර නිතර රණ්ඩු සරුවල් වෙන ගම්වලට ‘‘කොරියාව’’ වගේ කියලා කියන්නේ.

ඒත් අද මේ කොරියාවල්වල විතරක් නෙමෙයි වලව්වල ඉන්න තරුණ පරපුරේ සිහිනය වෙන්නේ කොහොම හරි කොරියාවට පැන ගන්න එක. ඒක තමයි ලෝකය වෙනස් වෙනවා කියලා කියන්නේ.

එහෙම වුණේ ඇමෙරිකානු ගැති දකුණු කොරියාව ඉතාම කෙටි කාලයකින් විද්‍යාව හා තාක්ෂණය සමග වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත් නිසයි. අද ලෝකයේ ධනවත් රාජ්‍ය අතර ඉදිරියෙන්ම දකුණු කොරියාව ඉන්නවා.

ඒත් එක්කුස ඉපදුණත් දෛවය කුරිරුකම් කරන්නා වාගේ උතුරු කොරියාව වැටුණේ නරක ආශ‍්‍රයට. කොමියුනිස්ට්වාදී ඇසුරට. බලයට පත් වුණේ ‘‘කිම්’’ පවුල. සීයා, තාත්තා, පුතා ආදි වශයෙන් සම්පූර්ණ පවුල් පාලනයක් උතුරු කොරියාවට උරුම වුණා. සමස්ත රාජ්‍යම තම සොහොයුරු දකුණු කොරියාව විනාශ කරන්න, ඇමෙරිකාව විනාශ කරන්න යොමු වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් විතරක් නෙමෙයි ජනතාවට එදා වේල කන්න පුළුවන් තත්ත්වයකුත් උතුරු කොරියාවට නැති වුණා.

අද වෙන කොට උතුරු කොරියාව කියන්නේ ලෝකයේ තිබෙන දුප්පත්ම, මර්ධනකාරීම රාජ්‍යයක්. පාලකයින් ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් උතුරු කොරියානුවන්ව හපකරලා තිබෙනවා.

මේ අතර පසුගිය වසර කිහිපය පුරා ස්වභාව ධර්මයේ නොනවතින කුරිරුකම්වලත් උතුරු කොරියාවට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා අද උතුරු කොරියාව කියන්නේ ‘‘කැඳ ටිකක් බොන්න සහල් මිටක් නැති ජනතාවක් ඉන්න රටක්.

තම සහෝදර ජනතාව වසර ගණනාවක් පුරා විඳින දුක දැක්ක දකුණු කොරියාව මේ වන විට ක‍්‍රමයෙන් මෝදු වෙමින් පවතින හොඳ හිත තවත් ශක්තිමත් කිරීමේ පියවරක් පසුගිය දා ගත්තා. ඒ නියඟයෙන් පීඩා විඳින උතුරු කොරියාවට සහල් ටොන් 50,000ක් ලබාදීමට ගත් මානුෂික තීරණයක් ගැනීමයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම සහල් තොගය ලබාදීමට කටයුතු කරන බවයි දකුණු කොරියාවේ ඒකාබද්ධ අමාත්‍ය කිම් යෙඕන් චූල් මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ. මෙය දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ලබාදිය හැකි අවම ආධාර ප‍්‍රමාණය බව ද ඔහු ප‍්‍රකාශ කළා.

දකුණු කොරියාවේ මේ තීරණයට ප‍්‍රශංසාව පළ කරන ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ සඳහන් කරන්නේ දකුණු කොරියාවේ මානුෂීය ආධාර පිළිගැනීමට මුරණ්ඩු උතුරු කොරියානු පාලනය නම්‍යශීලී වීම අනාගත සාමයකට ඵලදායී ප‍්‍රවේශයක් බවයි.

ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ මොනවා කිව්වත් අපිට නම් දැනෙන්නේ ‘‘වතුරට වඩා ලේ උකුයි’’ කියන හැඟීමයි.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor